මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි! -
ඉන්ද්‍රජිත් සුබසිංහ

Saturday, November 10, 2012

මාරයා තවත් මුහුණකින්...

ඉකුත් ලිපියේ සටහන් කළා මාරයා කුළුමීමකු ලෙසින් සමාධිය තුළ සිටින භික්‍ෂුව ඉදිරියට පැමිණි ආකාරය. මෙම සටහන් කියවා ඔබ සෙවිය යුත්තේ මේ අත්දැකීම ලද භික්‍ෂුව නොව, එම අත්දැකීම උරුමකර දුන් ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ඔබ භික්‍ෂුව සොයන්නේ නම් ඒ ඔබ සොයන්නේ මාරයාමය. මන්ද සෙවීම යනු මාර ධර්මයකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීම රූපයේ ස්‌වභාවයයි. රූපය අනිත්‍යභාවයට පත්වේ නම් එහි ඔබට සෙවීමට දෙයක්‌ නැත. ඔබ කළ යුත්තේ රූපයත් රූපය ඇසුරෙන් සකස්‌ වෙන 'සොයන්න'යෑයි කියන සිතත් අවබෝධ කරගැනීමය. එසේ අවබෝධ කර ගැනීමේදී ඔබ ද පරාජය කරන්නේ මාරයාම ය. එම භික්‍ෂුවගේ භික්‍ෂූ ජීවිතය තුළදී මීට පෙර අවස්‌ථා දෙකක කලු පැහැති ගොනෙක්‌, රතුපැහැති ගොනෙක්‌ වශයෙන් ද මාරයා භික්‍ෂුව ඉදිරියට සමාධිය තුළදී වියරු ස්‌වභාවයෙන් පැමිණියේය. මෙම ගොනුන්ගේ ස්‌වභාවය හරියට විදේශීය ගොන් පොර තරගවලදී තරගවදින ගොනුන්සේ පෘෂ්ඨිමත් ජවසම්පන්න වියරු ගතියක්‌ විය. මේ කරුණු භික්‍ෂුව ඔබට සඳහන් කරන්නේ ඔබ තුළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවෙන බාධක බැඳීම්වලට එරෙහිව ඔබට වීර්ය ඇති කරගැනීමේ අරුත පැහැදිලි කරදෙන්ටය. මාරයාගේ ඉහත ස්‌වභාවයන් ගැන අපි පුqදුමවිය යුතු නැත. අපි පුදුම වියයුත්තේ මෙවැනි ධර්මයට එරෙහිව වියරුවෙන් මාරයාට අපි කැමැත්තෙන්ම වසඟවීම ගැනයි. මාරයාගේ වගකීම වන්නේ යමෙක්‌ ධර්මය අවබෝධය කරා යයි ද ඔහුව එම ගමනින් ඉවත් කිරීමයි. යමෙක්‌ ධර්මය අවබෝධකර ගනියි ද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්‌ථාව අහිමි කිරීමයි. මේවා ජන්ම ගතිය. ඔබට මේවා වෙනස්‌ කළ නොහැක. කළ හැක්‌කේ ඔබ මේ මාර්ගයෙන් වෙනස්‌වීමය. 

ඉහත සටහනින් ඔබට වැටහෙනවා ඇති මාරයා යනු සංකල්පයක්‌ යෑයි කියන මතය මොන තරම් අවිද්‍යාවෙන් පිරුණු එකක්‌ ද කියලා. මාරයා යනු මේ ලෝකයේ ක්‍රියාත්මක චරිතයකි. මොහු දෙවියෙකි. මොහුගේ සේනාව ද දෙවියෝ ය. මොවුන් ඔබට පියවි ඇසෙන් දැකිය නොහැකිය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණව සමාධියෙන් පරිපූර්ණව ප්‍රඥාව දෙසට ගමන් කිරීමේ දී උතුම් සමාධියෙන් පමණක්‌ දැක ගත හැක්‌කකි. පරිපූර්ණ වූ සමාධියේ ඇසෙන් මාරයා සහ පිරිවර ඔබට ද මුණගැසෙනු ඇත. ඔබ අවංකව මාරයාට එරෙහිව ප්‍රඥාව අවබෝධය කරා යන්නේ නම් පමණක්‌..

මෙම සිද්ධියෙදී වසවර්ති දිව්‍යපුත්‍රයා කුළුහරක්‌ වේශයක්‌ මවාගෙන තම ආධිපත්‍යය රැකගැනීමට පෙන්වීමට පැමිණෙන්නේය. වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ කාමය තුළ ඇලීගැලී ඉන්න දෙවියෙක්‌. ඔහුට හිරිඔතප් කියන දෙයක්‌ නැහැ. ඔය දේම නේද සමහර මනුෂ්‍යයන් කරන්නේ. බොහෝම සුපිරි පංතියේ මනුෂ්‍යයෝ තම බලය, සැපය, ආධිපත්‍ය රැකගැනීම සඳහා මොන මොන වේශයන් මවාගන්නවාද? මිනීමැරීමට, වංචාකාරී ක්‍රියාවන් කිරීමට පැවිදි වේශයන් ගත් අය අතීතයේ නොසිටිය ද, වර්තමානයේ නැති ද? අහිංසක තරුණියන් මුලා කරගැනීමට ධර්මය නොදන්නාකම නිසාම මොන මොන ආකාරයේ වේශයන් මවාගන්නා අය සමාජයේ සිටිනවාද? කාමයන්ගෙන් අන්ධ වුණ තැනදී දෙවියෝ මනුෂ්‍යයෝ කියලා වෙනසක්‌ නැහැ. මේ ආකාරයට හේතුඵල ධර්මයන්ට අනුව මේ ධර්මය ගලපාගන්න උත්සහගන්න. එසේ නොවුනහොත් නොයෙක්‌ මතවාදයන් ඇති වේවි. එය ඔබට දුක පිණිසම තමයි හේතුවෙන්නේ. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගන්න. කුමක්‌ නිසාද? මේ වියරු ලෝක ස්‌වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට. 

භවයකරා දිවෙන කාලසටහන් ඔබ හකුලාදමන්න. භවය අයිති මාරයාට. එහෙයින් ලැබුණු ජීවිතයෙන් ධර්ම මාර්ගයේ උපරිම දුරක්‌ යන්න. මහාකරුණා සමාපත්ති ගුණයෙන් යුතුව පිරිනිවී යන මොහොත දක්‌වාම ලෝකයාට දුකෙන් මිදෙන මාර්ගයම මහාකරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, වචනයෙන් කිව නොහැකි, අකුරකින් ලිවිය නොහැකි මහාසයුර වැනි අපිරිමිත ගුණ කදම්බයත්, පංචකාමයටම ලොල්වූ නීච මාරයාගේ ගුණමකුභාවයත්, පිංවත් ඔබව දුකටම හෙළීම සඳහා මාරයාගේ පවිටු ක්‍රියාවනුත් සතියෙන් සිහියෙන් යුතුව දකින්න. එවිට ඔබට දැනේවි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන ගුණකන්දක්‌ ද, මොන ගුණ සයුරක්‌ ද කියලා. ඔබ දක්‍ෂනම් මෙම අර්ථවත් අවබෝධයම ප්‍රමාණවත්, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ සතර අපායෙන් මිදීමට අවශ්‍ය එක සුදුසුකමක්‌. මාරයාගේ පවිටුභාවය ගැන හිතලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. 

භික්‍ෂුව මේ සටහන ද්වේෂය සහ මාරයා ගැන සඳහන් කිරීමටයි සටහන් කළේ. මාරයා ගැන ඉහත සඳහන් කළා. ද්වේෂය ගැන මේ කරුණු පිංවත් ඔබට සඳහන් කළේ බස්‌රථයක වඩින විට මහත්මයෙක්‌ සඳහන් කළ අදහසක්‌ නිසා. භික්‍ෂුව කතරගම ප්‍රදේශයට වඩින්න කොළඹ ප්‍රධාන බස්‌නැවතුමෙන් කතරගම බසයට ගොඩවුණා. රත්මලාන ප්‍රදේශයේදී සුදු සරමක්‌ හා සුදු කමිසයක්‌ ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක්‌ බසයට නැග බසයේ ඉතිරිවී තිබූ එකම ආසනය වූ භික්‍ෂුව අසලම ආසනයේ වාඩිවුණා. මේ මහත්මයා භික්‍ෂුව ළඟ වාඩි වුණ වේලාවේ පටන්ම පාපුවරුව දෙස බලාගෙනමයි සිටියේ. මුහුණ ඉදිරිපසට කරගෙන සිටියේම නැහැ. භික්‍ෂුවට මුහුණ හංගාගෙන වගේ අහකබලාගෙනම සිටියා. බස්‌රථය තේ පානය සඳහා අතරමග නතර කළා. මගීන් බසයෙන් බැස්‌සට පස්‌සේ මේ අහක බලාගෙන සිටි මහත්මයා භික්‍ෂුවගෙන් අහනවා හාමුදුරුවනේ ගිලන්පස එකක්‌ ගෙනත් දෙන්නද කියලා. ඔහු කතා කරන විටම ඔහුගේ මුවින් අරක්‌කු ගඳ හොඳින් වහනය වුණා. ඒ වෙලාවේ තමයි භික්‍ෂුව දැනගත්තේ මෙතෙක්‌ වෙලා මේ මනුෂ්‍යයා අහකබලාගෙන සිටියේ ඇයි ද කියලා. අරක්‌කු ගඳ භික්‍ෂුවට දැනෙයි කියලා තමයි මොහු මුහුණ සඟවාගෙන මෙතෙක්‌ ඉඳලා තිබෙන්නේ. භික්‍ෂුව කීවා 'ගිලන්පස අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයෝ' කියලා. නමුත් මේ මහත්මයා බස්‌රථයෙන් බැහැලා ගිහිල්ලා සිසිල්බීම බෝතලයක්‌ ගෙනත් පූජා කළා. භික්‍ෂුව පිංදීල එය වැළඳුවා. තේ පානය අවසන් කරලා නැවතත් බසය ගමන් ආරම්භ කළා. ඒත් මේ මහත්මයා අහක බලාගෙන සිටියේ. එකවරම මොහු භික්‍ෂුව දෙසට හැරී බොහෝම ගෞරවයෙන් 'මම ටිකක්‌ බීලා නිසයි මේ විදියට ඔබ වහන්සේට පිටුපාල වාඩිවෙලා ඉන්නේ' කියලා බොහෝම බැගෑපත්ව කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව විමසුවා මොකද මේ උදේ පාන්දරම අරක්‌කු බීල කියලා. එවිට මේ මහත්මයා 'හාමුදුරුවනේ මම මාතර ප්‍රදේශයේ පදිංචි අයෙක්‌. මගේ රැකියාව කට්‌ටඬිකම්, ගුරුකම් කරන එක. මම රත්මලානට ඊයේ පැමිණියා කෙනෙකුට වැඩක්‌ කරලා දෙන්න. දැන් වැඩේ ඉවරවෙලා ගෙදර යන ගමන්. හාමුදුරුවනේ මම පුරුද්දක්‌ වශයෙන් වැඩක්‌ භාරගන්නකොටම මගේ ගණුදෙනුකරුට මම කියනවා වැඩේ ඉවර වුණාම මට බොන්න අරක්‌කු අවශ්‍යයි කියලා. ඒ නිසා ගුරුකම් වැඩේ ඉවර වුණ ගමන් ගාස්‌තුවත් අරක්‌කුත් දෙකම ලැබෙනවා' කීවා. භික්‍ෂුව මොහුගෙන් ඇහුවා 'මහත්තයෝ ඔය ගුරුකම්වලින් ප්‍රතිඵලයක්‌ තිබෙනවද?' කියලා. මොහු බොහෝම උජාරුවෙන් ඔහුගේ දක්‍ෂකම් ප්‍රකාශ කළා. 'හාමුදුරුවනේ මට අවශ්‍යනම් මනුෂ්‍යයෙක්‌ව ජීවිතක්‍ෂයට පත්කරන්න අවශ්‍ය ගුරුකම් මා ළඟ තිබෙනවා. ඒවා මම කරලත් තිබෙනවා කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට කීවා 'මහත්තයෝ ඔය රැකියාව මහා පව්කාර වැඩක්‌නේ' කියලා. ඒ අවස්‌ථාවේ මේ මනුෂ්‍යයා කියනවා හාමුදුරුවනේ මම ගුරුකම් කරලා මනුෂ්‍යයෙක්‌ නැති කරන්නේ තවත් මනුෂ්‍යයෙකුට කරන උපකාරයක්‌ වශයෙන්ය කියලා. බලන්න මේ මනුෂ්‍යයා අදහස්‌ කරන්නේ මනුෂ්‍යයෙක්‌ විනාශකර දමන්නේ තවත් මනුෂ්‍යයෙකුට උපකාරයක්‌ වශයෙන්ය කියලා. මොහු මේ ගැන උදම් අනනවා. බලන්න මේ මනුෂ්‍යයා මනුෂ්‍ය ඝාතනයක්‌ සිද්ධකරන්න තරම් ද්වේෂයක්‌ සිත තුළ සකස්‌කරගෙන, එම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවක්‌ හැටියටත් දකිනවා. මොහු කට්‌ටඬි ක්‍රියාවන් හරහා මනුෂ්‍යයෙක්‌ව විනාශ කරන්නේ, දුකට පත්කරන්නේ, පිළිගන්නේ රැකියාවක්‌ වශයෙන්, ආත්ම තෘප්තියක්‌ ලබාගැනීමක්‌ වශයෙන්. මේ කටයුත්තේදී මොහු පමණක්‌ නොවේ, මොහුගේ සේවාදායකයාද ඉහත ක්‍රියාවන් සිදුකරන්නේ පළිගැනීමක්‌ වශයෙන්, තමාගේ ආත්ම තෘප්තිය සඳහා. එතකොට බලන්න ඉහත ගුරුකම් වැඩ සිදුකරන අප්‍රමාණ පිරිස්‌ සහ ඔවුනගේ සේවාදායකයන් ධර්මානුකූලව කුසල්, අකුසල් ද්වේෂය සහ මෛත්‍රිය ගලපා ගැනීමට නොහැකිවීම නිසා මොනතරම් අකුසල් මේ ජීවිත තුළින් සිදුකරගන්නවාද? අන්‍යයන්ගේ ජීවිතවලට ද අකුසල් අයිතිකර දෙනවා ද? ද්වේශයත් මෛත්‍රියත් හඳුනාගැනීමට නොදන්නා මිනිසුන් කුසල් අකුසල් කෙසේනම් හදුනාගන්න ද? නමුත් මේ ගැන හිතන විට භික්‍ෂුවට දැනෙන්නේ අනේ මොනතරම් පහසුවෙන් මේ දෙක හඳුනාගන්න පුළුවන්ද කියලා. මේ බස්‌ රථයේ භික්‍ෂුව ළඟ අසුන්ගෙන පැමිණි අදාළ මහත්මයා තුළ සංඝයා කෙරෙහි ගෞරවයක්‌ තිබෙනවා. ඒ නිසාමයි අරක්‌කු ගඳ හාමුදුරුවන්ට දැනෙයි කියලා මුහුණ වම් පැත්තට හරවාගෙන සිටියේ ගිලන්පසක්‌ අවශ්‍ය ද කියලා විමසුවා. හාමුදුරුවෝ අවශ්‍ය නැහැයි කියත්දිත් ඔහු සිසිල් බීම බෝතලයක්‌ බොහෝම ගෞරවයෙන් පුජා කළා. පිංදෙනවිට දෑත් එක්‌කර සාදු කිව්වා. බලන්නකෝ කොච්චරනම් තෙරුවන් කෙරෙහි ගෞරවයක්‌ද ඔහු තුළ තිබුණේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මොහු තුළින් අනුනට විනාශය අත්කොට දෙන නිසා එම පව්වලින් ගැලවෙන්න සංඝයාට ගෞරවය දක්‌වනවාය කියලා. 

ඉහත කරුණු සියල්ල කැටි කොට ගනිද්දී පිංවත් ඔබට මෙහෙම චරිතයක්‌ පෙනෙනවා. රැකියාවක්‌ වශයෙන් ගුරුකම්, කට්‌ටඬිකම් කරනවා. ඒවා කිරීමේදී සේවාදායකයාට ඇති මෛත්‍රිය නිසා ඔහුගේ විරුද්ධවාදියාව විනාශ කරනවා. රෝගිS කරනවා. මරණීය දුකට පත්කරනවා. එවැනි ෙච්තනා සකස්‌ කර ගන්නවා. එම ෙච්තනාම සේවාදායකයා තුළත් ඇති කරනවා. දෙවැනුව, එම පුද්ගලයාම, තමන්ගේ මෛත්‍රියට ලක්‌වූ සේවාදායකයා අතින්ම අරක්‌කු ඉල්ලාගෙන පානය කරනවා. තෙවැනුව එම පුද්ගලයාම බස්‌ රථයේදී හාමුදුරුවන්ට අරක්‌කු ගඳ දැනෙයි කියලා, හාමුදුරුවන්ට අපහසුවක්‌ දැනෙයි කියලා මුහුණ සඟවාගෙන සිටිනවා. ගිලන්පස අවශ්‍යද කියලා බොහොම ගෞරවයෙන් විමසනවා. අවශ්‍ය නැතැයි කියද්දිත් බොහොම ගෞරවයෙන් ගිලන්පස පූජා කරනවා. පිං දෙනකොට දෑත් එක්‌කර සාදුකාර දී අනුමෝදන් වෙනවා. මොහුම සුදු සරමක්‌, සුදු කමිසයක්‌ පැළඳ උපාසක ලීලාවෙන් ජීවත්වෙනවා. දැන් බලන්න මෙම චරිතය තුළ සකස්‌වුණා වූ සිත් මොන තරම් විවිධද. එකිනෙකට පරස්‌පරද, මේ පරස්‌පරතාව සකස්‌ වෙන්නේ අවිද්‍යාව නිසාමයි. රූප විඳීමට ඇති තෘෂ්ණාව නිසාම, හොඳ නරක තේරුණත් මොහු හොඳ නරක සොයන්නේ අඳුරේ. ඒ නිසා මොහු හොඳ කියලා නරක අතට ගන්නා අතරම නරක කියලා අතට ගන්නා හොඳ ද නරක ගොඩටම දමාගන්නවා. ඒ නිසා අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නා වූ සිතට ද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මාරයා කියලා දේශනා කරනවා. 

පිංවත් ඔබ ඉහත ගුරුකම් මහත්මයාගේ ක්‍රියාකාරකම් තුළ දැක්‌කේ එකිනෙකට පරස්‌පර ක්‍රියාවන්නේ.... ඒ කිසිවක අර්ථයක්‌ නැහැ. සියල්ල මුලාව තුළමයි තිබෙන්නේ. මේ මාර ක්‍රියාකාරකම් මොහුට නිරයට හැර වෙන කොහෙට නම් පාර පෙන්වන්නද? දුකට පාර පෙන්වන සිතට ද 'මාරයා' කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද මේ නිසාමය. එසේනම් දුකට පාර පෙන්වන සිත සකස්‌වීමට හේතු වූයේ රූපයක්‌මය. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් හේතුවෙන් දුකට පාර පෙන්වන සිත සකස්‌වන නිසා රූපයද මාරයා යෑයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළහ. මේවා සංකල්ප නොව, ඇසට පෙනෙන්නා වූ, සත්වයා නිරතුරුවම අත්විඳින්නා වූ ලෝක ස්‌වභාවයන්ය. පැහැදිළිව ලෙහෙසියෙන් කුසල් යනු මොනවා ද, අකුසල් යනු මොනවා ද, ද්වේෂය මෛත්‍රියේ වෙනස යනු කුමක්‌ ද යන්න හඳුනාගැනීමට මෙතරම් සද්ධර්මය ඇසෙන රටේ අවකාශ තිබුණ ද ඔබව පරස්‌පර මතවාදයන් තුළ කොටුකර තබන්නේ මාරයාගේ ග්‍රහණය තුළ සකස්‌වෙන සිත නිසාමය. මෙහිදී සිත යනු ඵසේස, වේදනා, සංඥා, සංස්‌කාර, විඥාන වශයෙන් ඔබ දැනගත යුතුය. මේ පස්‌දෙනාම මාරයාගේ ග්‍රහණයට නතුව ක්‍රියාත්මක වනුයේ ඔබ රූපයේ යථා ස්‌වභාවය හඳුනානොගන්නා නිසාමය. රූපය අවබෝධකර ගත්තා යනු මාරයා අවබෝධයෙන් හඳුනාගත්තා යනුය. මෙතැනදී රූපයත් සිතත් මාරයාගේ අවබෝධයෙන් හෙළිකරගැනීමට පිංවත් ඔබට හැකිය. මේ තැනට පැමිණීමට පෙරාතුව පිංවත් ඔබ මේ උතුම් ධර්මය අවබෝධයෙන් දේශනාකර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. ධර්ම රත්නය සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. මාරපාර්ශ්වික ධර්මයන් අවබෝධයෙන් හඳුනාගැනීම සඳහා තෙරුවන්ගේ මාර්ගෝපදේශකත්වය හැර අන්කුමන සරණක්‌ ද පිහිටක්‌ ද යන විශ්වාසය තුළින් සතර අපායෙන් ඔබව මිදීම වලක්‌වන තෙරුවන් කෙරෙහි ඇති විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘතයන් කෙරෙහි ඇති විශ්වාසය කියන මාර බැඳීම් අවබෝධයෙන් මුළිනුපුටා ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Wednesday, November 7, 2012

මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය

මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක්‌ පමණයි. මාරයා කියලා කෙනෙක්‌ නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්‌, අරක්‌කුයි..... ඔය වගේ අවිද්‍යාව නිසා සකස්‌වෙන ප්‍රාථමික අදහස්‌ සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස්‌ ඇතිවන සිතටත් එම සිත සකස්‌වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස්‌ අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි. 

ප්‍රකාශකයා ඔබ වුවත් එම ප්‍රකාශය ඔබට සංස්‌කරණය කර දෙන්නේ මාරයාගේ පෞද්ගලික සහකාරියන් තුන්දෙනාය. ඒ තන්හා, රතී, රාගා යන මාර දූවරුන් තුන්දෙනාය. මේ තිදෙනා දිව්‍යාංගනාවන්ය. නිරතුරුවම කැමති වේශයක්‌ මාවාගැනීමේ හැකියාව ඇත. ස්‌වභාවයෙන්ම ප්‍රභාෂ්වරය. සියුමැලිය. රිද්මය, ලාලිත්‍යය එම දිව්‍ය ශරීරයේ ස්‌වභාවයයි. ඉදුණු ජම්බෝල ගෙඩියක මදය යම්සේ රෝස පැහැතිද, සුසිනිදු මල් පෙත්තක්‌සේ මටසිළුටු, රෝස පැහැති ශරීරයකි. මේ දිව්‍ය මාර රූමතියන්ගේ කාර්යභාරය මාරයාගේ ග්‍රහණය තුළ සිටින ඔබ තුළ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නැමති අකුසල් ඇතිකිරීමය. මේ මාරධර්ම තුන ඔබ තුළ ඇතිවන්න, වර්ධනය වන්න වර්ධනය වන්න ඔබට දැනෙන්නේ මහත් ආශ්වාදයකි. මේ මාරධර්ම නිසා ඔබ දිට්‌ඨිකාන්තාරයක අතරමංවී සිටියත් ඔබට දැනෙන්නේ ඔබ දිව්‍ය විමානයක සුරසැප විඳින බවකි. ඔබ ලබන මේ අවිද්‍යාවේ සැපය ඔබට ලබාදෙන්නේ මේ මාරදූවරුන් තිදෙනාය. සුරූපී මාර දූතියන්ගේ ඇඟිලි තුඩුවල පහසින් ඔබ මෝහනයට පත්වී ඇත. ඔබ එම පහසට ඇති ලොල්භාවය නිසා මාරදූතියෝ සංස්‌කරණය කර දෙන ඕනෑම අවිද්‍යාසහගත ප්‍රකාශයක්‌ තළු මරමරා ප්‍රකාශ කිරීමට කැමතිය. වර්තමානයේ ඇසෙන 'මාරයා කියල කෙනෙක්‌ ලෝකයේ නැහැ. මාරයා සංකල්පයක්‌' වැනි අදහස්‌ මාරදූතියන්ගේ ග්‍රහණයට නතුවීම නිසාම ප්‍රකාශවන අදහස්‌ය. මාර දූතියන් විසින් සංස්‌කරණය කර දෙන එම අවිද්‍යාසහගත ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කිරීම වෙනුවෙන් පිංවත් ඔබට ලැබෙන ගෙවීම තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියයි. පිංවත් ඔබ මෙම තුන් කාරණයෙන් පොහොසතෙක්‌ කිරීම මාර දූතියන්ගේ අරමුණයි. පොහොසත් වෙන්න ඔබට නිරයේ අති දීර්ඝ කාලයක්‌ පදිංචි වීමේ වරප්‍රසාදය කිසිදු අඩුවකින් තොරව ලැබෙනු ඇත. 

එහෙයින් පිංවත් ඔබ කුමන අදහස්‌ සමාජයෙන් ඇසුණද එය නිතරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගළපා බලන්න පුරුදුවෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට පටහැනිව එම අදහස දුක පිණිසම හේතුවෙන කරුණක්‌ බව අවබෝධ කරගෙන බැහැර කරන්න. තර්ක කරන්න, ගැටෙන්න යන්න එපා. එවිට ඔබත් නොදැනුවත්ම වැටෙන්නේ එම ගොඩටමය. තව තව නිහඩ වෙන්න. නිහඬතාවය තුළින් දිට්‌ඨි කාන්තාරයක්‌වූ මේ සිත ගැන අවබෝධය ලබන්න. ඔබ ලබන අවබෝධය සක්‌කාය දිට්‌ඨිය සිඳලීම සදහාම මෙහෙයවන්න. ලෝකයට ලෝකයේ ස්‌වභාවයෙන් සිටීමට ඉඩහැර ඔබ ලෝකයෙන් මිදෙන ස්‌වභාවයට පැමිණෙන්න. පිරිස මගහැර ඔබ තනිවන්න. තනිවූ සිතට නොඇලෙන්න. ඇලීමට තරම් නිත්‍යවූ සිතක්‌ නැති බව අනිත්‍යවූ සිත දෙස බලමින් තේරුම්ගන්න. මෙවිට ඔබව තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නමැති මාර දූතියන්ගේ සියුමැලි ඇඟිලි තුඩුවලින් කුල්මත් කරනු ඇත. කිතිකවනු ඇත. සුරතල් කරනු ඇත. පිංවත් ඔබ ගන්නාවූ උත්සාහය තන්හාව, මාන්නය, දිට්‌ඨිය නැමති දුකට අයිති ධර්මතාවයන්ගෙන් කිලිටිවීමට නොහැකි වනසේ දිවි දෙවැනි කොට වීර්යය වඩන්න. ලෝකයට, ලෝකයාට යන්නට හැර ඔබ නවතින්න. යමෙක්‌ නැවතුනා යනු සිත හඳුනාගත්තා යනුය. 

සමාජය තුළ මාරයා ගැන මොන මතවාද තිබුණද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකර දේශනා කළ වදාළ ධර්මයේ සඳහන් මාරයා ගැන දක්‌වන ලද අර්ථයන් ඔබට වර්තමානයේදීද ඒ උතුම් ධර්ම මාර්ගයේ අවංකභාවයෙන්, වීර්යයයෙන් යුතුව ගමන් කළහොත් අත්දැකීමට හැකිය. ඔබ එවැනි අත්දැකීමක්‌ ලබද්දී ඔබ තුළ ජනිතවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැඩි වීර්යයෙන් යුතුව මාර පරාජය සිදුකර අවබෝධකර වදාළ අති උත්තම ශ්‍රී සද්ධර්මයේ ශක්‌තියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළ නොවන්නට ලෝකයා කෙසේ නම් මේ පාපකාරී, මිසදුටු, අධර්මය ආහාරය ප්‍රීතිය කර ගත් මාරයා හඳුනාගන්ටද? මාරයාට ගොදුරුවීම හැර අන් මොන පිළිසරණක්‌ද? ලොව්තුරා බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේට ධර්මය ගරුකරන තුන්ලෝකයාගේම උත්මතම නමස්‌කාරය වේවාෘ මේ විෂම මාරධර්මය අවබෝධකර පරාජයකර දේශනා කළාට.

මෙවන් උතුම් ධර්මයක්‌ සරණයන්නට අපි මොනතරම් භාග්‍යවන්තද? ශාසන පරිහානිය යනු, අබුද්ධෝත්පාද කාලයක්‌ යනු සත්වයාට මොනතරම් අඳුරු බියකරු විෂම කාලපරිච්ෙච්දයක්‌ වේවිද? ධර්මය ගොදුරුකර ගැනීමට බලාසිටින අධර්මයේ මාර සේනාව ලෝකයේ තනි බලය සියතට ගැනීමට පෙරාතුව ඔබට මුණගැසුණ ධර්මයෙන් ඔබ සනාථවෙන්න. දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ ලබන ඊළඟ උපත මාර්ග ඵලලාභී දෙවියෙක්‌ම වෙන්න.

දැන් භික්‍ෂුව මෙහි සදහන්a කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිප්‍රදාව තුළ එනම් තුන් සිවුරත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් එක්‌තරා භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙද්දී අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්‍ෂුව රාත්‍රි 11.00 ට පමණ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක්‌ රංචුවක්‌ පැමිණියහ. මෙම වියරු කුළුහරක්‌ රංචුව භික්‍ෂුවට මීටර් 25ක්‌ පමණ ඉදිරියෙන් ක්‌ෂණයකින් පහළවී භික්‍ෂුqවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්‌ම ඉතාමත් ජව සම්පන්න හැඩිදැඩි සතුන්ය. මෙසේ වේගයෙන් පිඹිමින් භික්‍ෂුව ඉදිරියට දිව එමින් භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ තිබියදී මේ වියරු කුළුහරක්‌ රංචුව දකුණු පැත්තට හැරී පලා ගියහ. මෙම රංචුවේ අවසාන මීහරකාත් භික්‍ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්‌ෂණයකින්ම භික්‍ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළුහරකෙක්‌ පහළ විය. ඒ කුළු හරකෙක්‌ නොව හරක්‌ රජෙකි. උස අඩි පහක්‌ පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළුහරකෙකි. මොහුට අං පිහිටියේ නැත. මෙම කුළු හරකාගේ සම වෙල්වට්‌ සමකි. එම සතාගේ සම දිලිසෙන ග්‍රීස්‌වල ඇති කළු පැහැයක්‌ ගෙන තිබිණි. මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිවුරක්‌සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්‌කඩ සිවුරක්‌සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක්‌ පමණ වට රවුමකින් යුත් වළල්ලක්‌ දමා තිබිණි. එය මාපට ඇඟිල්ලක්‌ තරම් මහතය. දැන් ඔබ මොහොතක්‌ සිතන්න. නාසයට රිදී වළල්ලක්‌ දැමූ දහස්‌කඩ චීවරයක්‌ බදු වෙල්වට්‌ සමක්‌ සහිත මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ ස්‌වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්‌වභාවයේ ප්‍රතාපවත් මේ කුළුහරකා භික්‍ෂුවට මීටර් 25 ක්‌ ඉදිරියෙන් පහළ වූ තැනදීම වේගයෙන් හිස වරක්‌ කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්‍ෂුව දෙස බලා සිටියා. ඔබ දැකලා ඇති මල්ලව පොර තරගවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙනකොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක්‌ ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බියගන්වන්න. ඉහත කුළුහරකාද පහළවූ නිමේෂයේම ගාම්භිර ලෙස නාසයේ රිදී වළල්ලක්‌ පැළඳි, හිස කරකවා තේජස්‌බව තව දැඩිකර ගෙන සමාධියෙන් පසුවෙන භික්‍ෂුව දෙසට වියරු බැල්මක්‌ හෙළා නාසයේ කුහර දෙකෙන් දුවිලි පැහැ දුමක්‌ පිටකරමින් වියරුවෙන් මෙන් භික්‍ෂුව ඉදිරියට හඹා පැමිණියේය. 

හරියටම භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ ඉදිරියෙන් මෙම කුළුහරක්‌ රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්‍ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිමවූ පසුව භික්‍ෂුව සමාධියෙන් අවදි විය. භික්‍ෂුවගේ මුහුණට සිහින් සිනාවක්‌ නැගිණි. සිහින් සිනාවත් සමග මේ සිතුවිල්ල භික්‍ෂුවතුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්‍ෂුව ඉදිරියේ කුළුහරකෙක්‌ වීමට තරම් දීන වූවා නේද යන සිතුවිල්ල භික්‍ෂුවට පහළ විය. භික්‍ෂුව බියගැන්වීම සදහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේදී භික්‍ෂුව බියගැන් වීමට මාරයාට අවශ්‍ය විය. මාර දිව්‍යපුත්‍රයාගේ නිවටභාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බිය ගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්‍ෂුව බියගැන්වූවේ සමහරවිට භික්‍ෂුව අවබෝධ කළ යම් ධර්මයක්‌වේද එම ධර්මය ලෝකයාට දේශනාකිරීම වැලැක්‌වීමටය. බියගැන්වීමටය. එම අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටියේ ලොකු ප්‍රපාතයක්‌ අසලම තිබූණු කදු බෑවුමක කුටියකය. භික්‍ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්‍ෂුව භාග බිත්ති බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකියෑයි සිතුවාද විය හැකියි. එසේ වූවානම් මේ සටහන ඔබ අතට පත්නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූවේ එහි අනෙක්‌ පැත්තය. භික්‍ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක්‌ කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්‍ෂුවගේ සමාධිමත් ස්‌වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්‌තිය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව ධර්මයේ ආශ්චර්යයයි. ඔබද දක්‍ෂනම් මෙම ආශ්චර්ය ඔබගේත් උරුමයයි. උතුම් සමාධිය තුළදී බිය යනු ශූන්‍ය දෙයක්‌ යන ධර්මතාවයේ සත්‍යයයි. විචාර විතර්කයන්ගෙන් තොර සන්සිදුණු සිතේ උපේක්‍ෂාසහගත ස්‌වභාවය ඔබව ඇලීම් ගැටීම්වලින් මුදවාලනවාය යන ධර්මයයි. මෙම කථාවේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලය අයිති වසවර්ති දිව්‍යපුත්‍රයාය. මොහු ධර්මයට අකමැතිය. පංචකාමයටම නැඹුරු දිව්‍ය රජෙකි. සමාධිමත් භික්‍ෂුව ඉදිරියට මුලින්ම වියරුවෙන් දිවඑන කුළුහරක්‌ රංචුව මාර සේනාවයි. වසවර්ති දිව්‍යපුත්‍රයා මුලින්ම භික්‍ෂුව බියගැන්වීමට එව්වේ මාර සේනාවයි. මේ අයද දෙවිවරුය. ඔවුනට අවශ්‍ය ආකාරයේ වේශයක්‌ මවාගැනීමට හැකිය. භික්‍ෂුව බියගැන්වීමේ මේ මෙහෙයුමට ඔවුන් කුළුහරක්‌ වේශයෙන් පැමිණියහ. සමාධිමත් භික්‍ෂුවට මීටර් පහක්‌ තබා ඔවුන් දකුණට හැරී පලාගියේ සමාධිය තුළ සකස්‌වෙන නික්‌ලේශී ධර්ම ශක්‌තියට ළංවීමට ඔවුනට නොහැකි නිසාය. තම මාර සේනාව භික්‍ෂුව අබියසට පැමිණ පලායනවිට එම කටයුත්ත වසවර්ති මාරපුත්‍රයා භාරගත්හ. දෙවනුව පහළවූ තේජස්‌ සහිත ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පරිපූර්ණ දිලිසෙන ස්‌වභාවයේ ලොම් සහිත කුඵහරක්‌ රජු වසවර්ති දිව්‍යපුත්‍රයාය. මාර සේනාවට නොහැකිවූ තැන මාරයා ඉදිරිපත් විය. මේ තේජස්‌ සහිත කුළුහරක්‌ වේශය ගත් කුළුහරකා දකිනවිටම මොහු දිව්‍ය ඕජාවෙන් පරිපූර්ණ අයකු බව අවබෝධ වේ. දහස්‌කඩ සිවුරක්‌සේ කැටයම් වූ ඔහුගේ සමේ ප්‍රභාෂ්වර ස්‌වභාවය දෙවියකුට හැර වෙනකාට තිබෙන්නද? භික්‍ෂුවක්‌ සතු පරිපූර්ණ ශිලයේත් සමාධියේත් මෙම මාර පිරිවර සහ මාරයාට මුහුණදෙන අතර මොවුන් මාරයා සහ මාරපිරිවර බව හදුනාගන්නේ ප්‍රඥාව විසින්මය. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් එකතුවුණ තැනදී ඇතිවන අයෝමය ශක්‌තිය තුන් ලෝකයම තම ආධිපත්‍යය තුළ රඳවාගෙන තිබෙන මාරයාටද අභියෝග කළහැකි බවට, මාරයා පරාජය කළ හැකි බවට මීට වඩා උදාහරණ කුමකටද? ඔබ මේ දකින්නේ ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ධර්මයේ අකාලික ගුණයයි. ඔබ මෙම සටහන කියවා මුල්තැන දිය යුත්තේ මාරයාට නොව ධර්මයේ සන්දිට්‌ඨික ගුණයටය.

Sunday, October 21, 2012

හිංසාවේ ආදීනව තවදුරටත්..

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක්‌ 75 ක පමණ රංචුවක්‌ තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්‍ෂුවට පෙනෙන්නේ මාරසේනාවක්‌ හැටියට. නමුත් මේ මීහරක්‌ රංචුවේ හිමිකරු මේ සතුන් දකින්නේ සෞභාග්‍යයේ උල්පතක්‌ හැටියට. මේ සතුන්ගෙන් කිරි දොවන්නෙ නැහැ. පැටවුනට කිරිබොන්න දෙනවා. වේගයෙන් පැටියා ලොකුවීමට. මේ අය වැඩෙන්නේ මස්‌ සඳහාමයි. මේ සතුන් රැළ නිසා කීදෙනෙක්‌ නම් අපාගතවෙනවාද? පරම්පරා කීයක්‌ අපාගත වෙන්න ඇතිද? තව පරම්පරා කීයක්‌ අපාගත කරයිද? පරිස්‌සමින්¾ තිරිසන් ලෝකය ඔබව සතර අපායට ඇද දමන මාරදූතයන්මයි. 

ඒ වගේමයි සමාජයේදී ඔබ දැකලා ඇති සමහර පිංවත් සත්ව කරුණාව තිබෙන මනුෂ්‍යයො සිටිනවා. සතුනට හරිම ආදරෙයි. ගොනෙක්‌ කරත්තයෙ බැඳල තමයි ජීවත්වෙන්නේ. සතා කරන්නේ බර අදින එකයි. සවසට ගෙදර ගිහිල්ල සතාගේ දණහිසේ තෙල්ගාන මනුෂ්‍යයෝ ඉන්නවා. බරපටවාගෙන කන්දක්‌ නගිනවිට තමාගේ ශක්‌තිය යොදලා කරත්තේ තල්ලු කරල සහයෝගය දෙන මනුෂ්‍යයෝ ඉන්නවා. තමන් බෙදාගන්න බත්පිඟානෙන් බත් කටක්‌ සතාට දෙන මනුෂ්‍යයෝ ඉන්නවා. එවැනි අයටත් සත්ව හිංසාව අදාළයි. ඒත් ඔවුන් තුළ කරුණාව, මෛත්‍රිය සහගත ක්‍රියාකාරකම් නිසා ඒවා විපාකදීමේ ස්‌වභාවය බරපතළ නැහැ. කෙසේ වෙතත් සතුන්ගෙන් ඈත්වී ජීවත්වන එක ඔබට හුඟාක්‌ යහපත්.

මනුෂ්‍යයා අතින් පමණක්‌ නොවෙයි සත්ව හිංසාව සිදුවෙන්නේ. තිරිසන් සතා අතින් තිරිසන් සතාව හිංසාවට ලක්‌වෙනවා. ප්‍රේතයා විසින් ප්‍රේතයාව හිංසාවට ලක්‌කරනවා. යක්‍ෂයින් විසින් අමණුෂ්‍යයින්ව හිංසාවට ලක්‌කරනවා. දෙවියන් විසින්ද දෙවියන්ව මානසික හිංසාවට ලක්‌කරනවා. රාගය, ද්වේෂය, මෝහය ප්‍රහීන නොකළ සත්වයා අතින් අනෙකා හිංසාවට ලක්‌වීම අරුමයක්‌ නොවේ. අමුනුෂ්‍යයින් අතින් හිංසනය සිදුවන අවස්‌ථාවක්‌ ඔබගේ අවබෝධය සදහා මෙහි සටහන් කරනවා.

භික්‍ෂුවක්‌ උතුරුමැද පළාතේ ආරණ්‍යයක වැඩසිටින අවස්‌ථාවක රාත්‍රී දහයට පමණ සමාධියෙන් පසුවෙන විටක භික්‍ෂුවට පෙනෙනවා කුටියේ පසුපස කෙළවරේ සුදු සායක්‌ සුදු හැට්‌ටයක්‌ හැඳි ප්‍රාථමික මට්‌ටමේ දිව්‍යස්‌වභාවයක්‌. වයස අවුරුදු 45 වගේ වයස්‌ මට්‌ටමක කාන්තා ස්‌වභාවයක්‌ ඇයට තිබුණා. සමහරවිටක ඇය පරදත්තරූපජීවී ප්‍රේතයෙක්‌ වීමටද හැකියි. කොහොමහරි ඇය පින්වත් තැනත්තියක්‌. හැබයි ඇගේ සම නම් තලඑලළු පැහැයක්‌ තිබුණේ. එයින් අනුමාන කරන්න පුළුවන් ඇය ක්‍රෝධ සහිත චරිතයක්‌ බව. ඇය කුටිය කෙළවරට වෙලා බොහෝම සන්සුන් ඉරියව්වෙන් භික්‍ෂුව දෙස බලාසිටිනවා. ඇය භික්‍ෂුව දෙස බලමින් යම් ආස්‌වාදයක්‌ ලබනවා. ඔබ දැකලා ඇති තරුණ, මධ්‍යම, මහළු වයසේ උපාසක මහත්වරු ඉන්නවා දායිකාවන් ඉන්නවා ස්‌වාමීන් වහන්සේලාගේ ඉරියව් චර්යාවන් ප්‍රියකරන, කැමති කරන, ඒවා දැකලා යම් අහිංසක ආශ්වාදයක්‌ ලබන. වින්දනයක්‌ ලබන. ඇය මෙවැනි ස්‌වභාවයේ උපාදානයක්‌ සකස්‌ කරගෙන මියගිය මැදිවියේ උපාසිකාවක්‌ වෙන්න පුළුවන් ගිය ජීවිතයේදී. මේ ජීවිතයේදී ප්‍රාථමික දිව්‍ය හෝ ඉහළ ප්‍රේත ජීවිතයක්‌ ලබලා ආරණ්‍යය තුළම ජීවත්වෙමින් ස්‌වාමීන්වහන්සේලා උපාදානය කරගෙන සිටිනවා. භික්‍ෂුව වැඩසිටිය කුටිය කෙලවරට වී බලාසිටි සුදු ඇඳුම ඇදගත් මේ තැනැත්තිය බෝහෝම සංවරයි. රාගය ද්වේශය පෙනෙන්නට නැහැ ඇයගේ ස්‌වභාවයේ. මේ විදියට ඇය භික්‍ෂුව දෙස නිවිසැනසිල්ලේ බලාසිටිනවිට තවත් ප්‍රේතයෙක්‌ ඇයට බොහෝම සමීපව ඇය ඉදිරියෙන් ගමන් කළා. ඒ ප්‍රේතයා කෙට්‌ටු හීන්දෑරි ප්‍රේතයෙක්‌. මේ ප්‍රේතයා අර ප්‍රේත කාන්තාව ඉදිරියෙන් ගමන් කරනවිටම අර සුදු ඇඳුම් ඇඳගෙන භික්‍ෂුව දෙස බලා සිටි ප්‍රේතියගේ අවදානය බිඳුණා. ඇය ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වුණා. ඔබ දැකලා තිබෙනවාද නිවෙස්‌වල ස්‌වාමිපුරුෂයා අතින් බරපතළ වැරැද්දක්‌ වුණාම බිරිඳට කේන්ති යනවා. එහෙම කේන්ති ගියාහම බිරිඳ අත්දෙක මිටි මොලවලා වේගයෙන් ස්‌වාමිපුරුෂයාගේ පපු පෙදෙසට පහර දෙනවා. කාන්තාවෝ හුඟක්‌ වෙලාවට තව කෙනෙකුට ක්‍ෂණික ආවේගයකදී පහර දෙන්නෙ ඔය ඉරියව්වෙන්. මෙන්න මේ ඉරියව්වෙන්ම අර ප්‍රේතිය තමාගේ ඉදිරියෙන් ගමන් කළ තමාගේ අවධානය කැඩුව ප්‍රේතයාට පහර දුන්නා. තමන් කැමති ආශ්වාදයට බාධා කළ සැනින් කේන්තිය සකස්‌ වුණා. ඒ ආවේගයෙන්ම ප්‍රේතයාට නොසෑහෙන්න ගැහුවා. එතැනින් මේ දෙදෙනාම නොපෙනී ගියා. හැබැයි ඉතින් සුදු ඇඳුම ඇඳගෙන සිටිය ප්‍රේතියගෙන් ප්‍රේතයා නොසෑහෙන්න ගුටිකෑවා. මේ දෙදෙනාම ප්‍රේතයෑයි හැඳින්වුවද පෙර ජීවිතයේ ආරණ්‍ය, පන්සල් ඇසුරේ සිටි උපාසක උපාසිකාවන්. නමුත් තමන් කළ පිංකම් වලට වඩා තමන් ප්‍රියකළ වෙනත් දේවල් කෙරෙහි චන්දරාගය සකස්‌ කරගත් නිසා ආරණ්‍යය පන්සල් ආශ්‍රිතව ජීවත්වන ඉහළ තලයේ ප්‍රේත කොටසක්‌ බවට පත්වුණා වෙන්න පුළුවන්. 

පිංවත් ඔබලා මේ සතර අපායේ චරිත හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම හොඳින් මෙම අමනුෂ්‍ය චරිත ගැන අවධානය යොමු කළොත්, හේතුඵල ධර්මයන් ගලපා බැලුවොත් පිංවත් ඔබ තුළ යම් අඩුපාඩු තියෙනවානම් ඒවා නිවැරැදි කරගන්න පුළුවන්. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ස්‌වාමීන් වහන්සේලා පන්සලේ වේවා, ආරණ්‍යය වේවා තමන්ගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරන ධර්ම ප්‍රතිපදාව නිසාම උන්වහන්සේලා බොහෝම ප්‍රිය මනාපයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කරන ඕනෑම ගෞරවණීය ස්‌වාමීන් වහන්සේනමක්‌ව දැකීමම ප්‍රියයි. ඇවතුම් පැවතුම් සංවරයි. දෙවිවරුවගේ පැහැපත් ප්‍රභාශ්වර ස්‌වාමීන්වහන්සේලා වර්තමාන සමාජයේ වැඩසිටිනවා. එම ස්‌වභාවය කුසල් විපාකයන් නිසා ඇතිවන්නක්‌. එම නිසා පිංවත් දාකය දායිකවන් නිරතුරුවම උත්සහවන්ත වෙන්න ඕනේ එම ස්‌වාමින් වහන්සේලාගේ ශීල, සමාධි ප්‍රඥා ගුණයන්ට ගරුකරන්න කැමතිවන්න. එම ගුණයන් සිහිකරන්න. එසේ නැතිව එම පිංවත් ස්‌වාමීන්වහන්සේලාගේ රූපය කෙරෙහි, කටහඬ කෙරෙහි, ප්‍රසන්නභාවය කෙරෙහි චන්ද රාගයක්‌ ඇතිකරගතහොත් එය දුක පිණිසයි හේතුවෙන්නේ. පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ හමුවට ඔබ යායුත්තේ ධර්මයක්‌ අසා දැනගෙන සතුටුවෙන්න. පන්සලට යන්නේ දාන, ශීල, භාවනා මාර්ගයේ ගමන් කර සතුටුවෙන්න. එසේ නොමැතිව වෙනත් රූපයන්, ශබ්දයන්, ගන්ධයන්, ස්‌පර්ෂයන් කෙරෙහි චන්දරාගයක්‌ සකස්‌ කරගන්න ඔබේ සිතට ඉඩදෙන්න එපා. එහෙම උනොත් එය හරියට අසනීපයකට බෙහෙත් ගන්න රෝහලට ගිහිල්ලා තිබුණ අසනීපයට වඩා භයානක රෝගයක්‌ හදාගෙන ගෙදර පැමිණි කෙනෙක්‌ බවට පත්වෙනවා. ඉහත ප්‍රේතයත් ප්‍රේතියත් පෙර ජීවිතයේදී පන්සලට ආරණ්‍යයට ගිහිල්ල අවශ්‍ය දෙය කෙරෙහි නොව අනවශ්‍ය අවදානම් සහිත දෙය කෙරෙහි චන්දරාගය සකස්‌ කරගත් දෙදෙනෙක්‌. ඒ කැමත්ත නිසාම මේ ජීවිතයේදී භික්‍ෂුන්වහන්සේලා දෙස බලාසිටිමින් ආශ්වාදය ලබනවා. මෙම කථාව භික්‍ෂුව ඔබට මතක්‌ කළේ අමනුෂ්‍ය ලෝකයේ සත්ව හිංසනය ගැන ඔබව දැනුවත් කරන්න. ප්‍රේතලෝකයේ ජීවිතවල රාගය ද්වේශය මෝහය අධික නිසා හිංසනයත් අධික බව සිහිතබා ගත යුතුයි. ඇය සුදු ඇඳුමක්‌ ඇඳගෙන සිටියත් ඔබ සිහිකරන්න. ඉහත ප්‍රේතියගේ සිතේ සැඟවී තිබුණ ද්වේශය. ඒ ද්වේශය වේගවත් වන්නේ රාගය නිසා. මේ කරුණු දෙකම සකස්‌ වෙන්නේ මෝහය නිසාමයි. රාගයේ හා ද්වේශයේ තීව්‍ර බව තමයි ඇයගේ වේගවත් පහරදීම තුළ දර්ශණයවූයේ. නිවරැදි දෙය නිවරැදි ආකාරයට ගලපාගතහොත් අත්වන ඉරණම ගැන ඔබතුළ බියක්‌ සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අමූලිකාසද්ධාව වශයෙන් දේශණා කරන්නේ ඉහත ස්‌වභාවයයි. මේ ස්‌වභාවය වර්තමාන සමාජයේ බහුල වශයෙන් පවතින්න පුළුවන්. අනිත්‍ය සංඥා නොමැති බව නිසාමයි රූපය කෙරෙහි මෙවැනි චන්දරාගය සකස්‌ වෙන්නේ. මෙය ගිහි පැවිදි පිංවත් හැමෝම දෙවරක්‌ සිතිය යුතු ප්‍රශ්නයක්‌ බවට පත්කරගතහොත් එය යහපත පිණිසමයි හේතු වෙන්නේ. අද වැනි සංකීර්ණ සමාජයක අනිත්‍ය සංඥා වැඩෙනවා කියන එකත් දුර්ලභ දෙයක්‌. ලෝකය සකස්‌ වෙන්නේ රූපයට වටිනාකම් වැඩිකරමින්මයි. සැපයට තව නමක්‌ කියන්න කීවොත් ලෝකයාගේ පිළිතුර ''රූපයක්‌මයි''. රූපයේ නිරෝධය තුළයි සැපය තිබෙන්නේ කියලා ලැබෙන පිළිතුර දුර්ලභ දෙයක්‌. 

දැන් නැවතත් මාතෘකාව සත්ව හිංසාව දෙසට හැරෙමු. සත්ව හිංසාව ගැන කථාකරන විට අකුසල් බලවත්ව සකස්‌ වෙන්නේ මනුෂ්‍යයා මනුෂ්‍යයාට කරන හිංසාවන්ට. මනුෂ්‍ය ජීවිතයක්‌ මොන අඩුපාඩුකම් යටතේ වුවද යමෙක්‌ ලබන්නේ පෙර ජීවිතයේ කරගන්නා ලද පිංකම් නිසාමය. විශේෂයෙන් අදවැනි බුද්ධෝද්පාද කාලයක බෞද්ධයෙක්‌ ලෙස ලබන මනුෂ්‍ය ජීවිතය ආශ්චර්යමත් දෙයක්‌මයි. මේ මනුෂ්‍ය ජීවිතය යමෙක්‌ ලබන්නේ අති විශාල සතර අපාය අභිබවා ගිහින්. ඔහු සතර අපායට නොවැටුනේ සතර අපායේ උපතකට අදාළව සකස්‌ වෙන ලෝභය, ද්වේශය, මෝහය යම් ප්‍රමාණයකට අවම වීම නිසාමය. ඒ නිසා මනුෂ්‍යයෙකුට හිංසා කිරීම තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක්‌ සිද්ධවෙනවා. මොකද ඔබ හිංසනයට ලක්‌කරන්නේ සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවාගැනීමට ශක්‌තිය තිබූ පෙර පිනැති මනුෂ්‍යයෙකුට වීමයි. සමාජයේ මොන අංශයකින් බැලුවත් මනුෂ්‍යයා මනුෂ්‍යයාට හිංසා කිරීමේ වර්ධනයක්‌මයි පෙනෙන්නේ. අවිද්‍යාව නිසා සකස්‌වෙන 'ලෝකය සැපයි' කියන මතය අයිති කරගැනීමට යාම නිසාමයි ඔබ අතින් මනුෂ්‍ය හිංසනය සිදුවෙන්නේ. හිංසනය කියන්නේ ආදායම් මාර්ගයක්‌. රැකියාවක්‌. උසස්‌වීමක්‌. ඉතිරියක්‌. හීනමානයක්‌. තාවකාලික ආරක්‍ෂාවක්‌. කොටින්ම ඔබේ පැවත්ම උදෙසා අන්‍යයන් හිංසනයට ලක්‌කරනවා. 

වර්තමානයේ උපත ලබන මනුෂ්‍යයාගේ අකුසල් ස්‌වභාවය වැඩි නිසාමදෝ හිංසා කිරීමත් හිංසාවට ලක්‌වීමත් ජීවිතයේ කොටසක්‌ බවට පත්වෙලා. මෙතනදී හිංසනය ලෙස ගැනෙන්නේ පහරදීම තුවාල සිදුකිරීම වැනි කායික හිංසනයන් පමණක්‌ නොවේ. මානසිකව හිංසාවට පත්කිරීමත් ඔබට බලවත් අකුසල් පිණිස හේතුවෙනවා. රටේ පොදු ප්‍රවාහන සේවය උදාහරණයට ගන්න. එක දිනකට කොන්දොස්‌තර මහතා රියදුරු මහතා අතින් මොනතරම් මනුෂ්‍ය හිංසාවක්‌ සිදුවෙනවාද? අධිකව මගීන් පැටවීම නිසා, අධික වේගය, හීන වේගය, මගීන්ට බැනවැදීම්.... ඇයි මෙහෙම වෙන්නේ? වැඩිපුර ආදායම් ලබන්න. හවසට පිංවත් බස්‌ මුදලාලිව සතුටුකරන්න. තමනුත් වැඩිපුර කීයක්‌ හරි තමාගේ පැවත්ම, දරුපැටවුනගේ පැවත්ම සඳහා ගෙදර අරගෙන යන්න. තමාගේ සතුට උදෙසා අනුන්ව පීඩනයට ලක්‌කරනවා. මේවා එකිනෙකට බැඳිල තිබෙන්නේ මාර බන්ධනයෙන්. බස්‌ හිමිකරුට ඔබ ආදායම දුන්නොත් තමයි ඔබගේ රැකියාව ආරක්‍ෂා වෙන්නේ. හැම ක්‍ෂේත්‍රයකම ස්‌වභාවය ඔහොමයි. හිරගෙදරක්‌, පාසලක්‌, විශ්වවිද්‍යාලයක්‌, රෝහලක්‌, ආරක්‍ෂක අංශ, පරිපාලන අංශ, ගෘහසේවකයින්...මේ හැම තැනකම ඉහත ස්‌වභාවය තියෙනවා. මේවා නිවරැදි කරන්න, අවම කරන්න පුළුවන් දේවල් නොවේ. මේවායේ වර්ධනයක්‌මයි දිනෙන් දින සිද්ධවෙන්නේ. මෙතැනදි පිංවත් ඔබ දකින්න ඕනේ, අයෙක්‌ අකුසල් කර්ම විපාකයක්‌ ගෙවන විට තව කෙනෙක්‌ අකුසල් කර්ම සකස්‌ කරගන්න ආකාරය. වර්තමානයේ හිංසනයට ලක්‌වෙන්නේ පෙර ජීවිත වලදී අන්‍යයන්ව හිංසනයට ලක්‌කළ පිරිස්‌මයි. එම නිසා ඔබ මේවා නිවරැදි කරන්න යන්න එපා. ඒවා නිශ්ඵල දේවල්. හිංසාව ගැන සඳහන් මේ සති කිහිපයේ පළවූ සටහන් මාලාවේ මුලදි සඳහන් කළා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුභමානවකයාට දේශණා කරනවා සුභ යමෙක්‌ මේ මනුෂ්‍ය ජීවිතයේදී රෝගීව ඉපදේනම්, නිරතුරුව රෝගවලට ගොදුරු වෙමින් ජීවත්වෙයිනම් ඊට හේතුව පෙර ජීවිතයේදී සත්ව හිංසාව සිදු කිරීමය කියලා. බලන්න වර්තමානයේ මනුෂ්‍යයෝ හැමෝම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිල, වසංගත රෝග පැතිරෙනවා. මේ අපි දකින්නේ අප පෙර ජීවිතවලදී කරන ලද සත්ව හිංසාවේ ඵලයත් හේතුවත් තමයි . මනුෂ්‍යයා අතින් සත්ව හිංසාව වැඩිවෙන්න වැඩිවෙන්න අනාගත ලෝකයේ රෝග සහ රෝගීන් තව තව බහුල වෙනවා. මේවා ලෝක ධර්මයන්. වලක්‌වන්න බැහැ. දක්‍ෂයාට තිබෙන්නේ අවබෝධය තුළින් ලෝකයෙන් මිදීමට උත්සහ කිරීමයි. 

පිංවත් ඔබ රෝගීභාවයන්ගෙන් තොර නිරෝගී ජීවිතයක්‌ ගතකරන අයෙක්‌ නම්, සංසාරික පුරුද්ද නිසාම ඔබ මේ ජීවිතයේදීත් සත්ව හිංසාවට අකමැති කෙනෙක්‌. ඔබ මනුෂ්‍යයෙකු තබා තිරිසන් සතෙකුටවත් හිංසා කිරීමට නොපෙළඹෙන කෙනෙක්‌. එහෙම අය ඕනේ තරම් සමාජයේ සිටිනවා. ජාති ආගම් බේදයකින් තොරව නිරෝගීභාවය නිසාම ඔබ ඒ ලබන කායික මානසික තෘප්තිය හේතු ඵලධර්මයන් සමග හොඳින් ගලපලා එම උතුම් ගුණයන් තව තව ශක්‌තිමත් කරගෙන අනුනට හිංසා නොකර ශීලයෙන් පරිපූර්ණ පිංවත් මනුෂ්‍යයෙක්‌ වන්න ඔබත් නිරතුරුවම උත්සහවන්ත වන්න. ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙත්ම ඉහත ලෝකස්‌වභාවයන් හඳුනාගත හැකි සමාධියක්‌ ඔබ තුළ ඇති වේවි. ඔබ කලබල විය යුතු නැහැ එම තැනට එන්නට. මන්ද ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙත්දී ඉන්ද්‍රිය සංවරය ඉබේම ඇතිවෙන නිසා ලෝකයාට නොදැනීම ඔබ ලෝකය ගැන සිතන්නට පටන් ගනිවී. ඔබ හිතනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ සමාජයේ පවතින දෘෂ්ඨියට යට නොවී මේවා ගැන හිතන්නට. මේ වගේ ප්‍රශ්ණයක්‌ තමයි සත්ව කරුණාවේ නාමයෙන් සමාජයේ තිබෙන මාංශ නිර්මාංශ ප්‍රශ්ණය. මේ ප්‍රශ්ණයේදී හේතුඵල ධර්මයන් නිවරැදිව ගලපා නොගත් පිංවතුන් තිරිසන් සතුනට කරුණාව දක්‌වමින් මනුෂ්‍යයා කෙරෙහි ව්‍යපාදය සකස්‌කර ගන්නවා. පිංවත් දායක පිරිස්‌ විසින් සංඝයා උදෙසා කැප ආකාරයට දානයට මාංශයක්‌ පූජා කළත් එය ප්‍රත්‍යවේක්‍ෂ කොට වළඳන ස්‌වාමීන් වහන්සේලාවත් සමහර පිංවතුන්ලා විවේචනයන් එල්ල කරනවා අපිට ඇහෙනවා. එම නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාළ ධර්මයන්ට පටහැනි ආකාරයේ ක්‍රියාවන්ට පෙලඹෙන්න එපා. එහෙම උනොත් ඔබ ධර්මයේ නාමයෙන් අධර්මය ක්‍රියාත්මක කරන කෙනෙක්‌ වෙන්න පුළුවන්a. මෙය හරිම අභාග්‍යයක්‌. මේ පුංචි ජීවිත කාලයේදී ඔබ අප හැමෝම හිතන්න ඕනේ අපි දන්න දේ හුඟාක්‌ අඩුබව. එවිට අපිට පුළුවන් ලෝකයේ සියල්ල අවබෝධයෙන් අභිබවාගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය නිහතමානීව නිවරැදිව ජීවිතයට ගලපා ගන්න. එහෙමනම් ඔබ තනිතනිවම සත්ව හිංසාවෙන් වැලකෙන්න. එවිට එහි ඵලය වන නිරෝගීබව අත්විඳින්නේ ඔබමය. ලෝකයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යයේ ස්‌වභාවය වේගයයි. මේ වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන ලෝකය ඔබ අවබෝධකර ගැනීමට නම් ඔබ වේගයෙන් තොර විය යුතුයි. ඔබද වේගවත් වුවහොත් ලෝකය ඔබට සංකීර්ණ වෙයි. ඔබ මෙහෙම හිතන්නකෝ... වේගයෙන් ක්‍රියාත්මකවන යන්ත්‍රයක්‌ ක්‍රියාත්මකවන ස්‌වභාවය ඔබට නිරීක්‍ෂණය කිරීමට අවශ්‍යනම් ඔබ නිසෝලමනේ එම යන්ත්‍රය දෙස බලාසිටිය යුතුය. එවිට ඔබට දැනගන්නට පුළුවන් යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය. එහි තිබෙන දෝෂ. නමුත් ඔබ කලබල වුණොත් ඔබට එම කටයුත්ත කරගන්න පුළුවන් වෙන්නෙ නැහැ. සමහරවිට ඔබගේ කලබලකාරී ස්‌වභාවය නිසා ඔබට අනතුරක්‌ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ලෝකය නැමති නාමරූප දෙක දෙස, මේවා අනිත්‍යභාවයට පත්වෙන වේගය දෙස, ඔබද විවේකීව බලාසිටින්න. ඔබ ඔබ දෙස බලා සිටිය ස්‌වභාවයෙන්ම අන්‍යයන් දෙසත් බලන්න. සතා සිව්පාවා දෙසත් බලන්න. සතරමහාධාතුවෙන් සැදුන රූපයත්, රූපය ඇසුරු කොට සකස්‌ වෙන නාමධර්මයනුත් දකින්න. ඔබට වෙනසක්‌ පෙනෙනවාද? ඔබය අනුන්ය, තිරිසන් සතාය කියලා තිබෙනවා පුංචි වෙනසක්‌. එම වෙනස තමයි ෙච්තනාව හේතුවෙන් සකස්‌ වුණ විඤ්ඤාණයේ වෙනස. ඔබ තුළ සකස්‌වෙන එක සිතක්‌ ධර්මානුකූලව ගලපාගැනීමට අදක්‍ෂවීම නිසාමයි මේ වෙනස සකස්‌ වෙන්නේ. මෙන්න මේ පුංචි වෙනස තමයි සුගතිය, දුගතිය කියලා සත්වයාව වර්ග කරන්නේ. මේ වෙනස සකස්‌ වෙන්න හේතුවුනේ ශිල්වත්භාවයත්, දුස්‌ශීලභාවයත් නිසාමය. මේ ධර්මතාවය නුවනින් තේරුම්ගෙන ශිල්පද ආරක්‍ෂා කරගන්න. සතර අපායෙන් මිදුන පිංවතෙක්‌ බවට ඔබ පත්වීමට නම් ඒ අවශ්‍ය ධර්මතාවයන් සපුරාගන්න. 

නිරෝගීබව අත්‍යඅවශ්‍ය දෙයක්‌. රෝගීවූවොත් කොහොමද මේ ජීවිතේදීවත් ශිල්පද ආරක්‍ෂා කර ගන්නේ. ඒ නිසා පිංවත් ඔබ අනුන් ගැන නොසිතා තමතමන් සතර අපායේ දුක දකිමින් සතර අපායෙන් මිදීම අරමුණු කරමින්, එතෙක්‌ නිරෝගී ජීවිතයක්‌ ලබමින් සැනසීම පිණිස සත්ව හිංසාවෙන් වලකින්න. සශ්‍රික සෞභාග්‍යවත් නිරෝගී මිනිසෙකු, දෙවියෙකු ලබන කායික මානසික සැපය අනිත්‍ය වූවද එම සැපය ශිල්පදයක්‌ තුළ සැඟවී තිබූ දෙයක්‌ බව සිහිකරමින් ශීලයෙන් පරිපූර්ණ වෙන්න. දුස්‌ශීලභාවය තුළ සැඟවුන දුගතියේ අඳුරු දුක විනිවිද ශීලයේ අලෝකය ලබන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

ගොනා පසු පස නඟුල එන්නා සේ....

සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, මෝස්‌තරයක්‌ හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක්‌ සිටිනවා. බොහෝම ඉහළ ශේ්‍රණියේ සමහරක්‌ බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්‌සේ බලුපැටියට සතියක්‌ වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්‌තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා දමනවා. ඌරු ගොවිපොළවල්වල ඊරිය පැටව් ගැසුවම පස්‌සේ ඌරු පැටවුන්ගේ දත් ගලවා දමනවා. ඊරියගේ තනපුඩු ආසාදනය වෙන නිසා. මේවා මහාපරිමානයෙන් සිද්ධවෙන්නාවූ සත්ව හිංසාවන්. මෙතනදී හිංසාවට ලක්‌වෙන්නේ කුඩා වයසේ සතුන්. මේ තිරිසන් සතුන් කුඩා වයසේම හිංසාවට ලක්‌වෙන්නේත් එම සතුන්ගේ කර්ම විපාකයක්‌ නිසා. කෙනෙක්‌ අකුසල් විපාකයන් අත්විඳින විට තව කෙනෙක්‌ අකුසල කර්මයන්

රැස්‌කරනවා. මේක තමයි මාරයාගේ ආර්ථීක විද්‍යාව. ඉල්ලුම, සැපයුම බොහෝම සමතුලිතව සිදුවෙනවා. මෙවැනි ළදරු වයසේ සතුනට හිංසා කරන උදවිය මරණින් මතු මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් ළදරු කාලයේදීම රෝගීන් බවට පත්වෙනවා. උපතින්ම ළදරු ශරීරයේ අඟපසඟ, ඉන්ද්‍රිsයන් අඩුයි, විකෘතියි. කුසල් වගේම අකුසල්ද විපාකදීමේදී බොහෝම සාධාරණවයි ඒවා සිද්ධවෙන්නේ. මේක අසාධාරණයි කියලා ඇෆිල් (අභියාචනා) කරන්න අවශ්‍ය නැහැ. ඒ තරමට ලෝකධර්මය සාධාරණයි. හැබැයි ඔබ ධර්මය නොදන්නා නිසා හැම වෙලාවේම මෙම තීන්දු අසාධාරණ හැටියටයි දකින්නේ. දෙවියන් අප දිහා බලන්නෙ නැහැ. ධර්මයේ පිළිසරණක්‌ අපිට නැහැ කියලයි ඔබ දකින්නේ. ධර්මය කියන්නෙ කුමක්‌ද? අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ස්‌වභාවය. මේ ස්‌වභාවයට පුළුවන්ද ඔබට පිළිසරණ වෙන්න. මෙතැන නිත්‍ය වූ, සැපවූ, ආත්මවූ ස්‌වභාවයක්‌ තිබෙනවාද. ධර්මයට බැහැ ඔබට පිළිසරණ වෙන්න. ඔබ ධර්මය පිළිසරණ කොට ගන්න. කොහොමද ඔබ ධර්මය පිළිසරණ කර ගන්නේ. ධර්මයේ ස්‌වභාවය වූ අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ස්‌වභාවය අවබෝධකොට ගැනීම උදෙසා ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයට අවතීරණ වෙන්න. මෙතැනදියි සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමේ චතුරාර්ය සත්‍ය ධර්මයම නුවනින් දකින්නේ. එහෙම නුවනින් දකින කෙනා දුකට ශාපකරන්නේ නැහැ. දෙවියන්ට දොස්‌තබන්නේ නැහැ. ධර්මයට නිගරුකරන්නේ නැහැ. දුකත්, දුකට හේතුවත්, දුකින් මිදීමත් අරමුණු කොට ගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයම සිය එකම මාර්ගය කොට ගන්නවා. දුකට එකම හේතුව අලියාවත්, බලුපැටියාවත්, රෝගී දරුවාවත් නොව තෘෂ්ණාවම බව අවබෝධකර ගන්නවා. 

සත්ව හිංසාව ගැන කථා කරන විට ගෘහ ආශ්‍රිතව ඇති දැඩිවෙන ගවයන්, බල්ලන්, බළලුන්, පක්‍ෂීන් වැනි සතුනුත් ගෘහය තුළ ජීවත්වෙන කෘමීන් වැනි සතුන් මනුෂ්‍යයන් අතින් අනන්තවත් පීඩාවට ලක්‌වෙනවා. තිරිසන් සතෙක්‌ යනු සතර අපායේ සාමාජිකයෙක්‌. ඒ කියන්නේ මාරයාගේ වසඟයේ ජීවත්වන්නෙක්‌. පිංවත් ඔබ තුළ අකුසල් මූලයන් රෝපනය කිරීමට මාරයා මෙම තිරිසන් සතුන්ව තමයි උපයෝගී කරගන්නේ. තිරිසන් සතා යනු මාරයාගේ සුරතලායි. පිංවත් ඔබව සතර අපායට බිලිබාගැනීම සඳහා මාර බිලි කටුවට අමුණන ඇම වන්නේ තිරිසන් සත්වයායි. එහෙයින් ගින්දරෙන් යම් සේද ඔබ පරිස්‌සම් වන්නේ, තිරිසන් සතුන්ගෙන් ඔබ ඊටද වඩා පරිස්‌සම් වෙන්න ඕනේ. 

ගින්දරට පිච්චුනත් පිච්චිච්ච වේදනාව පමණයි. සතුනට හිංසා කළොත් සතර අපායේම දුක ඔබට උරුම වෙනවා. මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් රෝගී පුද්ගලයෙක්‌ වශයෙනුයි ඔබට ජීවත්වෙන්න ලැබෙන්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගයේ ඔබ ගමන් කළොත් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රීයෙන් පරිපූර්ණ මනුෂ්‍යයෙක්‌ බවට ඔබ පත්වුවහොත් ඔබට හැකියාව තිබෙනවා තිරිසන් සතාව උපයොගී කරගෙන කුසල් මූලයන් වැඩෙන ස්‌වභාවයට ඔබේ ජීවිතය ගෙන යන්න. ඔබේ ගෙදර දොරකඩට බල්ලෙක්‌ එනවා. දෙමාපියන් දරුවට කියනවා පුතේ ඔය බල්ලව හිරිහැර නොකර එලවලදමන්න කියලා. එතනදී ඔබ තුළ මෛත්‍රී සිතිවිල්ලකුත් ඇතිවෙලා. එහෙමත් නැතිනම් ඔබ කියනවා පුතේ ඔය බල්ලට කෑම ටිකක්‌ කන්න දීල කෑම කෑවට පස්‌සේ හිරිහැර නොකර එලවලා දමන්න කියළා. එතනදි මෛත්‍රී සිතුවිල්ලක්‌ වගේම ත්‍යාග සිතුවිල්ලකුත් ඇති වුණා. සතුන් සම්බන්ධව ක්‍රියාත්මකවීමට පෙරාතුව ඔබ ඉවසිලිමත් වෙන්න සත්ව හිංසාවට හිරිඔතප් දෙක ඇතිකරගන්න. 

සත්ව හිංසාව කියන දෙය පිංවත් ඔබ හිතනවාට වඩා බොහෝම සියුම් දෙයක්‌. මේ සියුම් බව මනුෂ්‍යයාට තේරුම් ගන්න බැරි නිසාමයි රෝගීභාවයෙන් තොර මනුෂ්‍යයෙක්‌ වර්තමාන ලෝකයේ සොයාගැනීමට විරල. නිරෝගී පිංවතුන්ලා සමාජයේ ඉන්නවා. ඒ අය අත්විඳින්නේ සංසාරයේ තමන්ම කරගත්ත කුසල් විපාකයන්a. සත්ව හිංසාව නිසා සත්වයාට විඳින්නට සිදුවන කර්ම විපාකයන්ගේ සියුම්භාවය ඉතාමත් මැනවින් ප්‍රකට වෙන කථාවක්‌ භික්‍ෂුව දැන් ඔබගේ අවබෝධය සඳහා මෙහි සටහන් කරනවා. මේ කථාව කියවලා ඔබම තීරණය කරන්න කරන්න සත්ව හිංසාව යනු මොනතරම් සියුම්ව ඔබ අතින් සිදුවිය හැක්‌කක්‌ද ඒවායේ අකුසල විපාකයන් මොනතරම් සියුම් ගුප්ත ආකාරයට ඔබට විපාක පිණිස සකස්‌වෙනවාද කියලා. මේ කථාව කියවලා ඔබ සත්වහිංසාවන් සිදුකිරීමෙන් අත්විඳින්නට වන අකුසල් විපාකයන් හොඳින් හඳුනාගෙන ඔබද මින් මතුවට සතුන් ඇතිකරනවා නම් එම සතුනට හිංසාවක්‌ පීඩාවක්‌ ඇති නොවන ආකාරයට එය කරන්න. සතුන්ගෙන් හරිහම්බ කරගන්න. ආදායම් ලබාගන්න. සතුන්ව හොඳින් පෝෂණය කරමින්, මෛත්‍රිය කරුණාව දක්‌වමින්ම.

ධර්මයට බොහොම ලැදි මැදිවියේ විවාහක යුවලක්‌ ජීවත්වෙනවා. මේ දෙපළට දරුවන් නැහැ. ඒ නිසා බොහොම නිදහස්‌ ජීවිතයක්‌ තමයි ගතකරන්නේ. ප්‍රධාන නගරයක ව්‍යාපාරික ස්‌ථානයක්‌ පවත්වාගෙන යමින් ආදායම් ලබනවා. මේ ව්‍යාපාරික ස්‌ථානය පවත්වාගෙන යන්නේ බිරිඳ විසින්. සැමියා අත්‍යවශ්‍ය අවස්‌ථාවකදී තමයි ව්‍යාපාර කටයුතු වලට හවුල් වෙන්නේ. ඒ කියන්නේ ඇය සහජයෙන්ම ව්‍යාපාරික හැකියාව තිබෙන කාන්තාවක්‌. 

නමුත් මේ පිංවත් කාන්තාවගේ ජීවිතයට බලපාන එක්‌තරා ප්‍රශ්නයක්‌ තිබෙනවා. එය ගුප්ත ස්‌වභාවයේ ප්‍රශ්නයක්‌. ඇය සමහරක්‌ අවස්‌ථාවල තැතිගත් අයුරක්‌ පෙන්වනවා. සමහර අවස්‌ථාවල ඇයගේ පසුපස අමනුෂ්‍ය බලවේගයක්‌ තිබෙන බව ඇය පවසනවා. මේ හේතුවෙන් ඇය පීඩා විඳිනවා. ව්‍යාපාරය කරන අවස්‌ථාවේ බොහෝම හොඳින් කටයුතු කරන ඇය ගෙදර පැමිණිවෙලේ පටන් කේන්ති ගන්නවා. සැමියා පන්සලකට යැමට, භික්‍ෂුවක්‌ හමුවීමට යන්න හදනවිට ඇය අකමැති වෙනවා. බියවෙනවා. බිරිඳගේ මෙම ස්‌වභාවය හොඳින් දන්න ස්‌වාමිපුරුෂයා ඇයත් සමඟ බොහෝම අවබෝධයෙනුයි කටයුතු කරන්නේ. ඇය සිතනවා තමන්ගේ මියගිය පියා ඇය කෙරෙහි ආදරයෙන් ඇය පසුපස සිටින බව. මේ හේතුව නිසාම ඇය පීඩනයට පත්වෙලා. සමහර අවස්‌ථාවල තැතිගත්, ගුප්ත ස්‌වභාවයක්‌ ඇය තුළින් දර්ශනය වෙනවා. නමුත් ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. ශිල්පද ආරක්‍ෂා කරගැනීමට උත්සහගන්නවා. පොත පත කියවීමෙන් ධර්මය ගැන හොඳ දැනීමක්‌ තිබෙනවා. මේ ගුණාංගයන් තිබුණත් ඉහත ප්‍රශ්නයෙන් ඇය පීඩා විඳිනවා. මෙම දෙපළ ඉදිරි කාලයේදී සිය ගෙවල් ව්‍යාපාර විකුණා දමා අනගාරිකව ජීවත්වීමටද බලාපොරොත්තුවෙන් පසුවනවා. මේ පසුබිමේ සිදුවීම් හොඳින් ගලපා බලනකොට බොහොම ශ්‍රද්ධාසම්පන්න යුවලක්‌ ලෙසයි මේ දෙපල පෙනෙන්නේ.

නමුත් ඇයට ස්‌ථීරව සිතාගන්න බැරි පීඩනයක්‌ ඇය තුළ තිබෙනවා. ඒ පීඩනය නිසා ඇය මානසිකව සමහර අවස්‌ථාවල දුකට පත්වෙනවා. ඇය මේ පීඩනයට පත්වෙන්නේ ඇය පසුපස අමනුෂ්‍ය බලවේගයක්‌ සිටින නිසාවත්, ඇයගේ ශරීරය තුළ අමනුෂ්‍ය බලවේගයක්‌ සිටින නිසාවත් නොවේ. ඇයගේ දුර්වල මනෝභාවය නිසයි. ඇය දක්‍ෂ නැහැ මම තෙරුවන් සරණ ගිය, ශීලයක හික්‌මෙන, නිරතුරුව දන්දෙන අයෙක්‌ හැටියට දකින්න. එම දැක්‌ම විශ්වාසයක්‌ බවට පෙරළාගන්න. මේ විශ්වාසය තුළින් ඇය ශක්‌තිමත් මනොභාවයක්‌ ගොඩනගාගත් සැනින් ඇයට හැකියාව තිබෙනවා මෙ දුර්වලතාවයෙන් අත්මිදෙන්න. ඇයට මේ නිවැරදි මනෝභාවය සකස්‌කර ගැනීමට මඟ අහුරන්නේ පෙර ජීවිතයේදී ඇය විසින් කරන ලද කර්ම විපාකයක්‌.

එක්‌තරා භික්‍ෂුවක්‌ මේ සිද්ධියට අදාළ කාන්තාවගේ පෙර ජීවිතය සමාධියෙන් අරමුණුකර බලනවා. උතුම් සමාධිය තුළදී ඇයගේ පෙර ජීවිතයත්, වර්තමාන කර්ම විපාකයට අදාළ පෙර ජීවිතයේදී කරන ලද කර්මයත් භික්‍ෂුවට දර්ශනය වෙනවා. 

භික්‍ෂුවට දර්ශනය වෙන්නේ මීහරක්‌ කිහිපදෙනෙක්‌ සහ කාන්තාවක්‌. එම කාන්තාවගේ හඬ මේ විදිහට ඇසෙනවා. 

'මගේ වැඩ කරපු සල්ලි දෙන්න'

ඔතැනින් දර්ශනය නිමයි. 

දැන් භික්‍ෂුව මෙම දර්ශනය ඇයගේ පෙර ජීවිතයට ගලපනවා, ඇය පෙර ජීවිතයේ කවරෙක්‌ද? ඇය කළ අකුසල් විපාකය කුමක්‌ද යන්න දැනගැනීමට. මෙන්න මේ ගැලපීම ඔබට ගොඩාක්‌ වටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් දේශනා කොටවදාළ 'කර්මය ඔබ දායාදකොට පවතීය' යන ධර්මය නැවත නැවත ශ්‍රද්ධාවෙන් යුතුව ආවර්ජනය කිරීමට.

පෙර ජීවිතයේදී ඇය මනුෂ්‍ය කන්තාවක්‌. ඇයගේ ආදායම් මාර්ගය වූයේ මීහරකුන්ව කුඹුරු වැඩ සඳහා කුළියට දීම. ඒ කුඹුරු වැඩට යෙදවූ මීහරකුන්ගේ ගාස්‌තුව තමයි කුඹුරු හිමිකරුගෙන් ඉල්ලන්නේ. දැන් මෙම සිද්ධිය පැති කිහිපයකින් බලමු.

පළමු කරුණ පෙර ජීවිතයේදී ද ඇය ව්‍යාපාරික කාන්තාවක්‌. පෙර ජීවිතය කියන්නේ මීට අවුරුදු 50 කට පෙරාතුව. අඩසියවසකට පෙරාතුව වර්තමානය වගේ විවිධ ව්‍යාපාර තිබුණේ නැහැ. වර්තමාන සමාජයේ තිබෙන සංකීර්ණභාවය තිබුණේ නැහැ. ප්‍රධාන ව්‍යාපාරය, ආදයම් මාර්ගය තමයි කෘෂිකර්මය. එය අතීතයේ ගෞරවණීය ව්‍යාපාරයක්‌. පෙර ජීවිතයෙදී මෙම කාන්තාව මීහරකුන්ව කෘෂිකර්ම කටයුතු වලට දීමෙන් ආදයම ලැබුවා. මේ ජීවිතයේදීත් ඇයට පෙර සංසාරික පුරුද්ද නිසාම නවීන තාක්‍ෂණික ආම්පන්න විකිණීමේ ව්‍යාපාරයක්‌ තනියම කරගෙන යැමට ශක්‌තිය ලැබුණා. සමාජයේදී ඔබ දැකලා ඇති සමහර කාන්තාවෝ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේදී ඉතාමත් දක්‍ෂ ආකාරයට කටයුතු කරනවා. මේවා පිංවතුනි සංසාරික පුරුදු. එවැනි පුරුදු නැති අය කඩේකට ගිහින් බඩුවක්‌ ගන්නෙත් බොහොම ලැඡ්ජාවෙන්. ඔබලාගේ ජීවන ක්‍රියාකාරකම් සමග මේවා ඔබවිසින්ම ගලපාගන්න ඕනා. 

දෙවැනි කාරණය තමයි ඇය පෙර ජීවිතයේදී කළ ව්‍යාපාරය නිසා ඇතිකරගත් අකුසලයේ ස්‌වභාවය. ඇය මීහරකුන්ව කුඹුරු වැඩට යොදවා ආදායම ලබාගත්තත් ඇය සත්ත්ව ඝාතනයට නම් යොමුවෙලා නැහැ. ඒක අතීතයේ මනුෂ්‍යයා තුළ තිබූ සත්ව කරුණාව. වර්තමානයේ මීහරකුන්ව කුඹුරු වැඩට යොදාගන්නවා ඉතාම අඩුයි. නමුත් මෙයට වසර 50කට පෙර සමාජයේ කෘෂිකර්මයේ ප්‍රධානම බලවේගය තමයි මීහරකා. කුඹුර, පස පෙරලන මොහොතේ පටන් අස්‌වැන්න කමතේ පාගන මොහොත දක්‌වාම මීහරකා තමයි ගොවිතැනට උදව්වෙන්නේ. මෙම සතුනගෙන් මිනිස්‌සු වැඩ ගන්නේ හුඟක්‌ම අකාරුණික විදිහට. උදේ ඉඳලා සවස්‌වෙනකම් නගු=ලක මීහරක්‌ දෙදෙනෙක්‌ බැඳලා ගන්න වැඩ ප්‍රමාණය කොපමණක්‌ද? හරියට යන්ත්‍රයක්‌ වගේ. ගොවි මහත්තයා ආහාර ගන්න වෙලාවට පමණයි මීහරකාට නිදහසක්‌ ලැබෙන්නේ. ඒත් නගුලෙන් එම සතාව ලිහන්නේ නැහැ. නගුල කරේ තියාගෙනම මීහරකා විවේක ගන්නවා. මහ පොළොවේ පස පෙරළාගෙන, කඩාබිඳදමාගෙන යන්න මොන තරම් ජවයකින් මීහරකා විසින් නගුල අදින්න ඕනේද? පොඩ්ඩ බැරිවුණොත් වැදෙන කෝටු පහර, එහි ශබ්දය භික්‍ෂුවට මේ සටහන ලියන මොහොතේත් දැනෙනවා. 'අනේ මට සනීප නැහැ. මගේ දණිස්‌ රිදෙනවා. මගේ හිස කකියනවා. දැන් අවුරශ්මිය වැඩියි. මට බඩගිනියි. පිපාසයි.......' මී හරකට පුළුවන් ද මොනතරම් වුවමනා වුණත් මේවා කියන්න. දවස පුරාවට තම ශරීර ශක්‌තියෙන් නගුල ඇදලා පොළොවේ පස පෙරළලා සවස්‌ වරුවේ ඕවිටේ තණකොල ටික කාලා නිදාගන්නවා. හෙට උදයේ නැවතත් සුපුරුදු රාජකාරියමයි...

මීහරක්‌ හිමියා ආදායම ලබනවා. 

අපි හිතනවා මේක ධාර්මික රැකියාවක්‌ කියලා. ඔබම හිතන්න, මනුෂ්‍යයෝ දෙදෙනෙක්‌ නගුලක බැඳලා කුඹුරට දැම්මොත් පස පෙරළන්න එම දෙදෙනා විඳින්නා වූ මානසික, කායික හිංසනය ගණනය කළ හැකිද? මේ අනුසාරයෙන් මී හරකා අත්විඳින්නා වූ හිංසනය ඔබම තීරණය කරන්න. මෙන්න මේ සත්ව හිංසාව නිසා මීහරකා ගෙල මත තබා බැඳි නගුල මී හරකා පසුපසින් ගමන් කරන්නේ මොනතරමක්‌ ද එම සතාව කායිකව, මානසිකව හිංසාවට ලක්‌කළේ කොපමණක්‌ ද ඒ තරමටම එම හරක්‌ අයිතිකාර කාන්තාවට ආදායම ලැබුණි. ඇය එම සත්ව හිංසනයෙන් ඉපයෙන ආදායමෙන් සතුටු වූවාය. එහි කර්ම විපාකය හැටියට කාන්තාවක්‌ ලෙසට උපත ලැබූ මෙම ජීවිතයේදී ඇය අමනුෂ්‍යයෙක්‌ යෑයි සිතා සිටින මානසිකත්වය ඇය පසුපස පැමිණෙමින් ඇයට අකුසල් විපාක විඳීමට සලස්‌වනවා. බලන්න ලෝක ධර්මය මොනතරම් සාධාරණද කියලා. මීහරකාගේ ගෙලේ බැඳි නගුල එම සතා පසුපස පැමිණෙමින් එම සතුන්ව කායික, මානසික හිංසාවට ලක්‌කළේ යම්සේද, එහි කර්ම විපාකය හැටියට මේ මනුෂ්‍ය ජීවිතයේදී අදාළ කාන්තාවට තමා විසින්ම මනසින් අරමුණු කරගත්තා වූ අමනුෂ්‍ය හැඟීමක්‌ ඇය පසුපස පැමිණෙමින් ඇයව කායිකව, මානසිකව පීඩාවට පත්කරනවා. දැන් ඔබට තේරෙනවා ඇති සත්ව හිංසාව කියන අකුසලය මොන තරම් සියුම් ආකාරයෙන් ඔබ අතින් සිදුවිය හැකිද කියලා. ඒ වගේම එම සත්ව හිංසාවන්ගේ අකුසල් ස්‌වභාවය එම හිංසනයේ ස්‌වභාවයට අනුරූපී ආකාරයටමයි විපාක දීමට සලස්‌වන්නේ කියලා.

Wednesday, October 3, 2012

දානය මහත්ඵල මහානිසංශ වීමට

ඔබව දන්දීමෙන් වළක්‌වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක්‌ වේවා ඔහු ඔබගේ ඥාතියෙක්‌ හෝ හිතවතෙක්‌ නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න. එවැනි අයගෙන් දුරස්‌වන්න. යමෙක්‌ තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන,දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ළඟම ඥාතියා කරගන්න. සිදුකරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික සම්මා දිට්‌ටියට අනුව සිදුකරගන්න. ඔබ නිරතුරුවම තැන්පත් කළ දෙය නොව පරිත්‍යාග කළ දෙය ගැන මෙනෙහි කරන්න. විශාඛා උපාසිකාව වරක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් වර අටක්‌ ඉල්ලා සිටිනවා. ඒ අනුව දිවි ඇති තුරා සංඝයා හට වැසි සළුදෙන්නට, ආගන්තුක බත් දෙන්නට, ගමික බත් දෙන්නට, ගිලන් භික්‍ෂුවට බත් දෙන්නට, ගිලානෝපස්‌ථායක බත් දෙන්නට, ගිලන් බෙහෙත් දෙන්නට, නිති කැඳ දෙන්නට, මෙහෙණ සඟනට දියසළු දෙන්නට කැමත්තෙමියි විශාඛාව එම වර අට ඉල්ලා සිටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් විශාඛා උපසිකාවගේ මේ ඉල්ලීමට කැමත්ත දෙනවා. බලන්න විශාඛා උපාසිකාව උතුම් සෝවාන් ඵලයට පත් උපාසිකාවක්‌. පිංවත් ඔබත් එම අවබෝධයට පැමිණීමට නම් ඔබ කාවද අනුගමනය කළ යුත්තේ? ආදර්ශයට ගත යුත්තේ? විශාඛා උපාසිකාව ගැන අනේපිඬු සිටුතුමා ගැන නකුලමතා, නකුල පිතා ගැන නිරතුරුවම ඔබ සිතන්න, මනසින් දකින්න. එම උතුමන් දානයට ලබාදුන් වටිනාකම් කොතෙක්‌ද කියලා.

විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක්‌ සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක්‌ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්‌වත්... අවුරුද්දට වතාවක්‌..... ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්‌ද? වැසිසළුවක්‌ පූජාකරන කෙනෙක්‌ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්‌ථානයන් සිදුකරන කෙනෙක්‌ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්‌ටුකරල අහන්න. පිළිතුර 'ඔව්' වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ඔබ තවමත් ප්‍රමාද බව දකින්න. අප්‍රමාදී වීමට ඔබ උත්සාහ ගන්න. බැංකුපොතේ ඔබ රැස්‌කොට තබන දෙය අනුන්ගේ කෙටි ලාමක කෙටි සැපයන් උදෙසා බවත්, රැස්‌ නොකොට දන්දෙන දෙය ඔබට ආශ්චර්යමත් සැපයක්‌ උදෙසාම බවත් දකින්න. සශ්‍රික දේවානුස්‌සතිය වඩන්න. ඉහත පිංකම් නිතිපතා, සතිපතා, මාස්‌පතා ඔබගේ ආදායමට ගැළපෙන ආකාරයට කිරීමට උත්සාහ ගන්න. ලැබෙන සෑම අවස්‌ථාවක්‌ම අපතේ නොහරින්න. අනුන්ගේ ශීලය, සමාධිය ගැන නොසොයන්න. සෑම විටම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිස වශයෙන්ම දකින්න. මේවා පිං උල්පත් බව දකින්න. උල්පතේ ගැඹුර නොගැඹුර උස්‌පහත් බව නොසොයා ඔබගේ සංසාරික දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය ජලය ගැන පමණක්‌ සිතන්න. ඔබගේ දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට ජලය ලැබෙනවා නම් උල්පත ගැන සෙවීම මෝහය නිසාම සිදුවන්නකි. දෘෂ්ටීන්ගෙන් මිදී හේතුඵල ධර්මයන්ට විවෘත වන්න. අතීතයේ වැඩ සිටියා වු අනන්ත වූ ගුණයෙන් ඥානයෙන් යුත් භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සමූහයම අරමුණු කරගන්න. 

මසකට එක වතාවක්‌ එළඹෙන පසළොස්‌වක පෝය දිනය ඔබ ඔබගේත්, ඔබගේ පවුලේත් පිංකම් දිනය බවට පත්කරගන්න. පන්සල වේවා, ඔබගේ නිවස වේවා, එදින සතර අපායෙන් එතෙරවීමම අරමුණුකොට දාන, ශීල, භාවනා කටයුතු සිදුකරගන්න. දරුවන් බිරිඳ දැසි දස්‌සන්වත් හවුල්කරගන්න. ඒ අය අකමැති නම් ඔබ තනිවම මේ ව්‍යායාමයේ නිරතවන්න. සතර අපාය යනු කුමක්‌ද? එහි සත්වයා විඳින දුක කුමක්‌ද? එහි ආයුෂ මොනතරම් දීර්ඝද? සතර අපායට වැටුණ කෙනාට එයින් මිදීම මොනතරම් අපහසුද.......? මේවා සකච්ඡා කරන්න. ඔබ ලැ-ජාවෙන්න එපා. මාන්නයට පත්වෙන්නත් එපා 'අනේ අපි ආයෙත් තිරිසනෙක්‌, ප්‍රේතයෙක්‌, නිරිසතෙක්‌ වෙන්නේ නැහැ' කියලා. එහෙම කියන සිතමයි ඔබව සතර අපායට ඇදදමන්න අවශ්‍ය පාර කපන්නේ. අනේ මම තවම සතර අපායෙන් මිදිල නැතැයි කියලා දකින්න නිහතමානී වෙන්න. සැබවින්ම ඔබ සතර අපායෙන් මිදිලා නොමැතිනම් සක්‌කාය දිට්‌ටිය ඉහ වහා ගිය, සතියෙන් නැතිනම් මාසයෙන් මාර්ගඵල ලාභීන් බවට පත්කරන ක්‍රමවේදයන් සිහිබුද්ධියෙන් හඳුනාගනිමින් මඟහරින්න. හේතුඵල ධර්මයන් ගළපමින් ඔබ, ඔබ ගැනම විමසා බලන්න. මෝහයෙන් මිදෙන්න. අවබෝධය යනු අනුන් දෙන දෙයක්‌ නොව තමා තමා තුළින්ම දැනුවත්භාවයෙන් ලබන්නක්‌ බව හොඳින් සිහිතබා ගන්න. පසළොස්‌වක පොහොය දවසේ ඔබ පවුලේ සියලුදෙනාම, එසේත් නැතිනම් පන්සලේ සිල්සමාදන් වෙන සියලුදෙනාම සතර අපායේ බියකරුභාවයත් එයින් මිදීමේ මාර්ගයත් සාකච්ජා කළොත්, ඒ ගැන අවධානය යොමුකළොත් ඔබට පුළුවන් මාසේ ඉතිරි දවස්‌ විසිනවයේම එම ශක්‌තිය තුළ, මාර්ගය තුළ ජීවත්වෙන්න. 

මේ සටහන පුරාවට සතර අපායෙන් මිදීම සඳහා ඔබට ත්‍යාගානුස්‌සතිය වැඩීම ගැනයි සඳහන් කරන්නේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා හෝ දුගී මගී යාචක, බලූ කපුටු එසේත් නැතිනම් දෙවියන්, අමනුෂ්‍යයින් මේ කවුරුන් විෂයෙහි වේවා ලෝභකම අතහැරීම උදෙසාම දන්දෙන්න. තෘෂ්ණාව ක්‌ෂය කිරීම උදෙසාම දන්දෙන්න. දන්දීමට කාලසටහන් සාදා නොගන්න. පාරේ ගමනක්‌ යන විට පිණ්‌ඩපාතේ වඩින භික්‍ෂුවක්‌ දැක්‌කොත් සද්ධාවෙන් යමක්‌ පූජාකරන්න. දුර ගමනක්‌ ඔබ යන විට බසයේදී මඟ තොටේදී හමුවන භික්‍ෂුවකට අවශ්‍ය බිස්‌කට්‌ එකක්‌, ගිලන්පස එකක්‌ ගැන විමසීමට සිතක්‌ ඇතිකරගන්න. අනුන් කරනවාද නොකරනවාද යන්න ඔබ නොසිතන්න. ලැබෙන පුංචි අවස්‌ථාවකින් පවා උපරිම ත්‍යාගානුස්‌සතිය වැඩීමේ අවස්‌ථාව ලබාගැනීමට දක්‍ෂවෙන්න. දන්දෙන්නේ අනුන් සඳහා නොව, අනුන්ගේ කුස පිරවීම සඳහා නොව, තමාගේම සැපය සඳහාය යන්න සිතන්න. ඔබ ප්‍රාර්ථනා කරන්න, වීර්යයෙන් අවස්‌ථාව උදාකරගන්න. කළ පිංකම්, දුන් දානයන් නැවත නැවත දෙන්න, නැවත නැවත මෙනෙහි කරන්න. මට දානය පූජාකර ගැනීම සඳහා තව තව ස්‌වාමීන් වහන්සේලා මුණ ගැසේවා. උපාසක උපාසිකාවන් මුණ ගැසේවා. තව තව පන්සල් ආරණ්‍ය විහාරාංග ඉදිවේවා. තව තව පිංකම් සිදුවේවා. කියා ප්‍රාර්ථනා කරන්න. කුමක්‌ සඳහාද? ඒවා උදෙසා පරිත්‍යාගයන් සිදුකර ත්‍යාගානුස්‌සතිය වැඩීම පිණිස. මේ සැම ඔබ ඔබේ සතුට කරගන්න. මේ සැම යනු දේවානුස්‌සතිය හැර වෙන කුමක්‌ද? දන් දීම තුළින් ඔබ ඇතිකරගන්නා අතහැරීමේ ශක්‌තිය සක්‌කායදිට්‌ටිය ක්‍ෂය කිරීමේ මාර්ගයම මිස වෙන කුමක්‌ද? බිරිඳගෙන්, සැමියාගෙන්, දූ පුතුන්ගෙන්, වස්‌තුව දේපලවලින් ඔබ ලබන බැඳීම, සක්‌කායදිට්‌ටිය තව තව ඝනභාවයට පත්කිරීම සඳහාම බව ඔබම දකින්න. 

සතර අපායෙන් මිදීම උදෙසා ගිහි බැඳීම්වලට යටත්ව ජීවත්වන ගිහි පිංවතුන් උදෙසා දානයේ ඇති වටිනාකම සටහන් කිරීමයි මේ ලිපියේ අරමුණ වුණේ. ගිහි ජීවිතය තුළදී හොඳින් දන් දුන්නත් එම දානමය පිංකම් ලොව්තුරා සම්මාසම්බුද්ධ දේශනාවන්ට අනුකූලව ගළපා ගැනීමට අදක්‍ෂ නම් පරලොව දුකට පත්වීම වැළැක්‌විය නොහැක.

ඒ ගැන උදාහරණයක්‌ වශයෙන් වැදගත් මහත්මයෙකුගේ කථාවක්‌ දැන් මෙහි සටහන් තබනවා. මෙම කථා ප්‍රවෘත්තිය ඔබට වැදගත් වේවි. පහත කථාවෙන් කියවෙන්නේ ඔබ අදක්‍ෂනම් දන් දුන්නා, පිංකම් සිදුකරගත්තාය කියලා ඊළඟ ප්‍රතිසන්ධිය සුගතියක්‌ වෙනවාමයෑයි ඔබට සහතිකයක්‌ ලැබෙන්නෙ නැතිය කියන කාරණයයි . 

එක මහත්තයෙක්‌ සිටියා. ඔහු දක්‍ෂ ව්‍යාපාරිකයෙක්‌. බොහෝම පුංචි තැනකින් පටන් ගත්තේ. අවසානයේදී කෝටිපතියෙක්‌ වුණා. ඉඩකඩම්, ව්‍යපාර ඔහු සතුවුණා. බොහෝම හොඳ බිරිඳක්‌ දරු මුණුපුරන් සිටියා. කවදාකවත් සිල් සමාදන් වෙන්න පන්සලකට ගියේ නැහැ. නමුත් හොඳින් සිල් පද ආරාක්‍ෂා කරගෙන ජීවත් වුණා. තමා විසින් සදාගත්තාවූ කාලසටහනකට අනුව හොඳින් වියදම් කර භික්‍ෂුන්වහන්සේලාට, උපාසක උපාසිකාවන්ට දන් දුන්නා. එම කාලසටහනෙන් පිට දන් දෙන්න ගියේ නැහැ. කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය බොහෝම අඩුවෙනුයි ඔහුට ලැබුණේ. එහෙම අඩු වුණත් හොඳින් දන් දුන්නා. පන්සල් ආරණ්‍ය සඳහා මුදල් පරිත්‍යාග කළා. අවශ්‍ය විහාරාංග ඉදිකළා. මොහු තමන්ගේ ව්‍යපාරයට ඉඩකඩම්වලට ගොඩාක්‌ බැඳිලයි සිටියේ. මොකද මේ හැම දෙයක්‌ම අසාධාරණයෙන් නොව තමන්ගේම දහදිය මහන්සියෙන්මයි හම්බකරගත්තේ. මේ පිංවත් මහත්මයා හැමෝටම ප්‍රිය කාටවත් කරදරයක්‌ නැති හුදකලා වැදගත් ජීවිතයක්‌ ගත කරලා වයස අවුරුදු හැත්තෑවේ සීමාවට පැමිණීමට පෙර මිය ගියා. දුක්‌විඳලා, රෝග පිඩාදියට ලක්‌වෙලා නොවේ. ඔහුට හිමිවුණේ ක්‍ෂණික මරණයක්‌. මේ මරණය ගැන ඔහුගේ බිරිඳට, දරුවන්ට, ඥාතීන්ට, හිතමිතුරන්ට කිසිම විදිහක බියක්‌ තිබුණෙ නැහැ. කුහුඹියෙකුටවත් වරදක්‌ නොකළ මොහුට සුගතියේ දොර හැර, වෙන දොරක්‌ නොඇරෙන බව පාංශකූලයට පැමිණි ගෞවරණීය සංඝරත්නය අනුශාසනා කළා. ඉහත සියලුදෙනාම තමන් ධර්මය දන්නා ආකාරයට හේතුඵල ගළපමින් මියගිය පිංවත් මහත්මයාව සුගතියටම නම් කළා. මියගිය පිංවතාට පිං පිණිස හත් දවසේ, තුන්මාසේ අවුරුද්දේ සාංඝික දානමය පිංකම් බොහෝම සශ්‍රික ආකාරයට පුජාකළා. තව තව පිංකම් සිදුකරනු ලැබුවා. අපේ මිය ගිය ඥාතියා දෙවියෙක්‌ය කියන සංඥාව හැර වෙන සංඥාවක්‌ කිසිවෙකුට තිබුණේ නැහැ. 

මෙහෙම කාලයක්‌ ගියාට පස්‌සේ දිනක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට මේ මියගිය පිංවත් මහත්මයාව අරමුණුවෙනවා. ඒ අරමුණු වෙන්නේ ප්‍රේත ලෝකයෙදි. මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටියදී තිබූ ශරීර ප්‍රමාණය සහිතවමයි. මනුෂ්‍ය ජීවිතයේ සිටියදී ඔහු ප්‍රිය කළ ඇඳුමක්‌ තිබුණා. විශේෂ ගමනකදී පළඳින එම ඇඳුම් කට්‌ටලය සහිතවයි මොහු හිටියේ. මෙම මියගිය මහත්තයාට අයිතිව තිබුණා කෝටි පහක පමණ ඉඩමක්‌. මේ ඉඩමේ මොහු එහාට මෙහාට ඇවිදිනවා. මොහු ඇවිදින්නේ බොහොම දුක්‌මුසු විලාසයකින්. ටිකක්‌ කුදු ගැහිලා, හිස පහතට හෙලාගෙන, අත් දෙක පහළට දමාගෙන 'අනේ මේවට මොකද වුණෙ' කියන්න වගේ හැඟීමක්‌, ඉරියව්වක්‌ සහිතව තමයි ඇවිදින්නේ. 

ශරීරය දුර්වල නැහැ. ඇඳුම බොහොම පිරිසිදුයි. නමුත් සිත දුකට පත්වෙලා. තෘෂ්ණාව නිසාම. මොහු ඉන්න ඉරියව්වෙන් පෙනෙන්නේ, මොහු තුළ බියක්‌ තියෙනවා මේ දේපළ නැතිවෙයි, විනාශවෙයි, වෙන කාටහරි අයිතිවෙයි කියලා. බලන්න පෙර ආත්මයේදි කොච්චර දන් දුන්න, මොන තරම් පිං කරගත්ත මනුෂ්‍යයෙක්‌ද, මොනතරම් සිල්වත් ජීවිතයක්‌ ගතකරපු මනුෂ්‍යයෙක්‌ද. ඒත් ඒවායින් ඔහු ප්‍රයෝජනයක්‌ ගත්තද? 

මියයන වෙලාවේ මේ පිංවත් මනුෂ්‍යයා තමා දුන්න දානයක්‌, තමාගේ සිල්වත් ජීවිතය, ඒ ජීවිතය තුළින් කළ පිංකම් සිහියට නගාගත්තා නම්, ඒ පිංකම් අරමුණු කරගත්තා නම්, ඒ පිංකම් සිදුකරගැනීමට මාර්ගය දේශනා කර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ ගුණයන් සිහියට ගත්තා නම්, එසේ කිරීමට දක්‍ෂභාවය ඔහු තුළ තිබුණා නම්, ඇතිකරගත් කැමත්තට අනුව. මොහු සශ්‍රීක දිව්‍ය තලයක, මහේශාඛ්‍ය දෙවියෙක්‌ වශයෙන්මයි, එසේත් නැතිනම් සශ්‍රීක මනුෂ්‍ය ජීවිතයක්‌මයි නැවතත් ලබන්නේ. නමුත් මේ අවාසනාවන්ත මනුෂ්‍යයා සද්ධර්ම ශ්‍රවණය අඩුවෙන් කළ නිසාත්, කල්‍යාණ මිත්‍ර සේවනය හිඟ වු නිසාත් මියයන මොහොතේ තමන් කළ පිංකම්, ගත කළ සිල්වත් ජීවිතය යටපත්වී මතකයට පැමිණියේ ඉඩකඩම් දේපල. දේපල කෙරෙහි තිsබූ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා සැනසීමට හේතුවන දේවල් නොව වැනසීමට හේතුවෙන ධර්මතාවයත් තමයි මතුවෙලා පැමිණියේ. ඒ නිසාම මොහු ප්‍රේත ජීවිතයකට වැටුණා. නමුත් බලන්න දේපල කෙරෙහි ඇතිකරගත් දැඩි ජන්ද රාගය නිසා ප්‍රේත ජීවිතයකට වැටුණත් මොහු මනුෂ්‍ය ජීවිතයේදී දුන්න දානයන්ගේ ආනිසංස එම ප්‍රේත ජීවිතයේදීත් මොහුට සැප විපාකයන් ලබාදුන්නා. ප්‍රේත ජීවිතයේදීත් මොහුට හොඳ පිරිසිදු වස්‌ත්‍ර ලැබිලා තිබෙනවා. හොඳ නිරෝගි ස්‌වභාවයේ ශරීරයක්‌ ලැබිලා තිබෙනවා. ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාව නිසා ඔහුගේ සිතට නම් දැනෙන්නේ දැඩි පීඩාවක්‌, දුකක්‌. ඒ නිසා මොහුගේ ඉරියව්වල තිබෙන්නේ දැඩි අතෘප්තිමත් ස්‌වභාවයක්‌. එම පිංවත් ව්‍යාපාරික මහත්මයා මනුෂ්‍යයෙක්‌ වශයෙන් ජීවත්ව සිටියදී සමාජය ඔහුව හැඳින්වූයේ සිල්වත් මනුෂ්‍යයෙක්‌ හැටියටයි. දානපතියෙක්‌ හැටියටයි. වෙහෙස මහන්සි වී ධනය ඉපයු ව්‍යපාරිකයෙක්‌ හැටියටයි. නමුත් ඔහුගේ බාහිර ස්‌වරූපය, ඇවතුම් පැවතුම් තුළින් ලෝකයා ඔහුව එසේ හඳුනාගත්තත් ඔහුගේ සිත වැඩී තිබුණේ ඉන් ඔබ්බට ගිය දිශාවකට. ඒ තමයි දේපල කෙරෙහි තිබූ අසීමිත ජන්ද රාගය. එයට අදාලව ප්‍රතිසන්ධිය සකස්‌ වුණා. සුගතියක සැප විඳීමට අවශ්‍ය පරිසරය ඔහු ජීවිතය තුළින් ගොඩනගාගෙන තිබුණත්, සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර සේවනය, බහුශ්‍රැතභාවය නොමැති වීම හේතුවෙන්ම සැපක්‌ ලෙස අල්ලා ගත්තේ දුකක්‌මයි. 

දැන් මේ අමනුෂ්‍ය ලෝකයේ ප්‍රේතයෙක්‌ ලෙස ජීවත්වන මොහු පරදත්තරුප ජීවි ස්‌වභාවයට අයත් ප්‍රේතයෙක්‌. ඔහුට අවශ්‍ය නම් පුළුවන් පිං ලබාගන්න. නමුත් මොහු පිං ගන්නේ නැහැ. මොකද උපාදානය කරගත් දෙය කෙරෙහි තිබෙන දැඩි තෘෂ්ණාව නිසා. මෙවැනි අයෙක්‌ අරමුණු කර ඔබ මෝනතරම් සශ්‍රික ආකාරයට සාංඝිකදානමය පිංකම් සිදුකළත් මේ ප්‍රේත සත්වයා පිං ගන්නේ නැහැ. ඔබ අනුමොදන් කරන පින සුදුසු වෙනත් අමනුෂ්‍යයෙක්‌ වෙතොත් ඔවුන් එය අනුමෝදන්වේවි. එසේ නොවුන හොත් ඔබලාට සැප පිණිස එම පිං හේතුවේවි. 

මෙවැනි උපාදානය බලවත්කොට ගත් පරදත්තරූප ජීවි සත්ව කොටස්‌ වලටද එම උපාදානය බිඳ පින් අනුමෝදන් කිරීමට ඔබට හැකියාව තිබෙනවා ඔබද දක්‍ෂ නම්. මොකද ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු වඩපු ගුණධර්ම තිබෙනවා ඒ අය තුළ යටපත් වෙලා. ඔබ දක්‍ෂ වෙන්න ඕනෙ ඒවා මතුකර ගන්න පුළුවන් ආකාරයට පිංකම් සිදුකරන්න. ඒ අයට අනිත්‍ය සංඥාවක්‌ වැටහෙන ආකාරයට පිංකම් සිදුකරන්න. භික්‍ෂුව මේ ටික සඳහන් කළේ මියගිය අයගේ ස්‌වභාවයන් අපි අපේ කරගත යුතුනිසා නොවේ. මියගිය අයකු= ගැන සිත සිතා ජීවත්විය යුතු නිසාද නොවේ. එවැනි විෂයන් ඔබ අදාළ කරගත යුතු නැහැ. නමුත් ඔබ මේ ධර්ම මාර්ගයේ නිවරැදිව ගමන් නොකළොත් ඔබට මුණ ගැසෙන අනතුරු ගැන අවබෝධය ලබාදීමටයි මෙම කරුණු සටහන් තැබුවේ. ඒ වගේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබලාට දේශනාකරනවා මියගිය ඥාතීන් උදෙසා ජීවත්ව සිටින ඔබ පිංපෙත් අනුමෝදන් කිරීම යුතුකමක්‌ය කියලා. මේ කථාව ඔබ කියවන විට ඔබට වැටහෙන්න ඇති ඔබ දන්දිය යුත්තේ තන්හාව, මාන්නය, දිට්‌ටිය නොවැඩෙන ආකාරයට, ඒවා ක්‍ෂයවෙන ආකාරයට බව. දන්දීම තුළින් ඉහත අකුසල ධර්මයන් වැඩෙනවා නම් එම දානය අර්ථවත් වෙන්නෙ නැහැ. නමුත් එය අපතේ නොයන බව ඔබ ඉහත කථාව අනුසාරයෙන් ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. 

ගිහි ජීවිත ගතකරන පිංවත් ඔබලා මූලිකත්වය දෙන්නේ තමාගේ ව්‍යාපාරයට, ගේදොර වතුපිටිවලට, දරුවන්ට, බිරිඳට. ඒවාට නිසි තැන දෙන්න. නමුත් ඔබ ප්‍රධානත්වය දෙන්න අවශ්‍ය සතර අපායෙන් මිදෙමි කියන අරමුණට. තිරිසන් ප්‍රේත ජීවිතයක්‌ ලැබුණත් ඔබට දරුවෙක්‌ බිරිඳක්‌ ලැබෙයි. එහෙත් ධර්මය දැකීමේ අයිතිය ඔබට එහිදී අහිමිවෙනවා. ධර්මය දැකීමේ වරම ඔබට ලැබෙන්නේ මේ ජීවිතයේදීමයි. ධර්මය දැකීම යනු සතර අපායෙන් එතෙර වීමයි.

Monday, September 24, 2012

සමාධියෙන් දුටු අකුසල් කන්දක්‌

ආරාණ්‍යවාසී භික්‍ෂුවක්‌ සවස දෙකට පමණ සමාධියෙන් පසුවෙනකොට සද්ධන්ත අමනුෂ්‍යයෙක්‌ දර්ශනය විය. මේ අමනුෂ්‍යයා භික්‍ෂුවට දර්ශනය වූයේ ඔහුගේ ඉඟටියෙන් පහළ කොටස පමණි. ඒ කියන්නේ කකුල් දෙක පමණකි. කකුල් දෙකේ උස අඩි විස්‌සක්‌ පමණ ඇති. කකුල් දෙක ශක්‌තිමත් මිනිසකුගේ ස්‌වභාවයෙන් යුත් අතර ඇල්සේෂන් බල්ලකුගේ ඇඟේ ඇති දිග රෝමයන් සේ දැඩි කළු පැහැති රෝමවලින් කකුල් දෙක පිරී තිබිණි. මහා බියකරු රූපයකි. මෙම අමනුෂ්‍යයාගේ ඉඟටියෙන් පහළ කොටස දර්ශනය නොවුයේ ඇයි ද? යන්න භික්‍ෂුව නොදනී. මෙවැනි අතිශය බියකරු අමනුෂ්‍යයන් අකුසල් කඳු වගේය. අතීතයේ කරන ලද පාපකර්මවල බලවත් බව නිසා මොහුට මේ බියකරු බව, සද්ධන්ත බව ලැබී ඇත. මොහු නැවත නැවත කරන ලද අකුසල හේතුවෙන් මෙම බියකරු බව සද්දන්ත බව වැඩිවනු ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. 

මේ ආරණ්‍ය බිම්වල කරක්‌ ගසමින් ආරණ්‍යයත් එහි වැඩ සිටින භික්‍ෂූන්වත් පීඩනයට පත්කිරීම, විකෘති මනෝභාවයන් ඇතිකිරීම, ධර්ම ශක්‌තියෙන් හීන භික්‍ෂූන්, කැපකරුවන් ග්‍රහණයට ගැනීමෙන් ඔවුන් හරහා ආරණ්‍යය අපිරිසිදු අවුල් සහගත ස්‌වභාවයන්ට පත්කිරීම මෙම අමනුෂ්‍යයන්ගේ කැමැත්තය. මෙම අමනුෂ්‍යයාගේ දේහ විලාශය දුටුවිට මොහුගෙන් ගැලවීමට ශක්‌තිමත් ශීලයකින් හික්‌මීම ඇතිකරගත් භික්‍ෂුවකට මිස ඉන් පහළ අයකුට නම් නොහැකිය. මෙවැනි විශම බලවේගවල බලපෑම නිසා එක්‌කෝ ලෙඩ රෝග, මානසික දුර්වලතා, කලකිරීම් ද චංචල මනෝභාවයන් නිසා ගැටෙන ස්‌වභාවයන්, අපිරිසිදුකම වැනි මේවා සිදුවීම පුදුමයක්‌ නොවේ. පුදුමය වන්නේ මෙසේ සිදුනොවුණා නම්ය. මොකද මේ නිරිසතා එතරම්ම බියකරුය. මේ මිත්‍යදෘෂ්ඨික බලවේග ශාසනය රැකෙනවාට විරුද්ධය. වර්තමානයේ ශාසනයේ ඇති සංඝරත්නයේ අඩුව නිසා සුදුසු නුසුදුසු පිsරිසද මහණ පැවිදි වෙයි. පැවිද්දට සුදුසු පිංවත් පිරිසද පැවිදිවීමෙන් පසුව අතහැරීම පසෙක තබා රැස්‌ කිරීමට පෙළඹේ. ශීල, සමාධි භික්‍ෂු දැනුම මාන්නය වපුරාගනී. මේවා මේ විෂම බලවේගවලට මහා ශක්‌තියකි. මෙම විෂම බලවේග ආරණ්‍යම ඉලක්‌ක කරගන්නේ සැබෑ සම්බුද්ධ ප්‍රතිපදාව මරා දැමීමටය. 

මෙම සටහන තැබුවේ ඔබට නොපෙනෙන ලෝකයේ බියකරු ජීවිතයක ස්‌වභාවය දැනගැනීමටය. ඒ තුළින් ඔබට පාඩමක්‌ ඉගෙන ගැනීමටය. මේ සද්ධන්ත අමනුෂ්‍යයා කවදාහරි දවසක ඔබ සේම මිනිසකු ලෙස මනුලොව ජීවත් වූවෙකි. එම ජීවිතයේදී වැඩූ අකුසල් නිසා මෙම ආත්මය ලැබී ඇත. මෙම ආත්මය තුළදීම මොහු රැස්‌කරන්නේ බියකරු අකුසල්මය. මොහු කුසල් හඳුනන්නේ නැත. මේ ආකාරයෙන් භික්‍ෂූන්ව දුකට පීඩනයට හෙළීමෙන්, සංඝභේද ඇති කිරීමට පරිසරය සකස්‌ කිරීමෙන් මොහු අතින් ආනන්තරීය පාපකර්මය ද සිදුවිය හැකිය. දැන් හිතන්න මෙම අමනුෂ්‍යයාට සංසාරය මොනතරම් දුරවෙයිද විෂම වෙයිද කියලා. ඒ වගේම මෙවැනි අසරණයන්ට අනුකම්පා කරලා මෙය කියවලා පිංවත් භික්‍ෂුන් වහන්සේලා ද අවබෝධකර ගන්න ඕනේ භික්‍ෂූත්වය තුළ ශීල, සමාධි, දැනුම මාන්නයෙන් තොරව සැබෑ අතහැරීමේ භික්‍ෂු ප්‍රතිපදාව තුළ හික්‌මෙන්න. එසේ නොවුණහොත් එක පැත්තකින් එම බිහිසුණු අමනුෂ්‍ය බලවේගවලට තවතවත් අකුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ලබා දෙන අතර ඔබද දුර්වල පිංවත් භික්‍ෂුවක්‌ ලෙස කවදාහරි දවසක මේ බියකරු අමනුෂ්‍යයාගේ පිරිවර සමාජිකයෙක්‌ වීමටද ඉඩකඩ නැතිවා නොවේය යන්න ඔබ සිහිකළ යුතුය.

ඔබේ කුටිය අවට පරිසරය, ආරණ්‍ය පරිසරය, චීවරය, අඳනය, ශරීරය, වැසිකිළිය, නියපොතුටික පවා පිරිසිදුව තබාගන්න. අවුල්වෙන්න දෙන්න එපා. පරණවූ දෙය, නරක්‌වූ දෙය, අනවශ්‍ය දෙය රැස්‌කොට තබන්න එපා. විනාශකර දමන්න. අපිරිසිදු සතුන් ඇති කිරීමෙන් වළකින්න. බුදු පහන, බුදු කුටිය අපිරිසිදු වෙන්න දෙන්න එපා. අඳුරු වෙන්න දෙන්න එපා. මේවා අපිරිසිදුයි කියන්නේ සිත අපිරිසිදු නිසාය. අන්තවාදී නොවී, සැබෑලෙස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ සුන්දර භික්‍ෂුවක්‌ වීමට අවශ්‍ය ගුණධර්ම ඔබ තුළද වගාකරගෙන ඔබ සැනසෙනවා සේම විෂම අමනුෂ්‍ය බලවේගවලටද උපකාරවී ඔවුන්ගේ අකුසල් වැඩි නොකිරීමට ඔබ දක්‍ෂවෙන්න.

මේ ගමනේදී නිවීමේ මග අවහිර කිරීමට මාර බලවේග, බියකරු අමනුෂ්‍ය බලවේග ශීල්වත් වේෂයෙන්ද, අසරණ වේෂයෙන්ද, ගුරු ගෝල වේෂයෙන්ද, ඔහුගේ ගැලවුම් කරු වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. දැනුම පාණ්‌ඩිත්‍ය වේෂයෙන්ද, ලාභ සත්කාර වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. මේවා නිවන් මග බාලකරන සියුම් ධර්මතාවන්ය. මෙම බලවේග කෙරෙහි නොඇලී පෙරට යැම සංකීර්ණය. මොකද ඉහළ බලවේග පසුපස පෙර සදහන් කළ පරිදි සද්ධන්ත විෂම මිත්‍ය, දෘෂ්ඨික අමනුෂ්‍ය බලපෑම් දැඩිලෙස තිබෙන නිසාය. මොන පැත්තෙන් බැලුවත් මාර බලවේග අපට දැල එලා ඇත. මෙසේ මාර බලවේගවලට ඔබ අසුවන්නේ තවමත් ඔබ මාරසිත් අනිත්‍ය වශයෙන් දැක අතහැරීමට අදක්‍ෂ නිසාය. මෙය සටහන් කරන භික්‍ෂුව මෙම සද්ධන්ත අමනුෂ්‍යයාගේ අඩ රුව දුටු මොහොතේදීම, එම සිත අතහැරදැමීය. දුටුවේ රූපයකි. එහි ස්‌වභාවය අනිත්‍යය. එපමණකින්ම එය අවසන්ය. ඔබට පාඩමක්‌ ඉගෙන ගැනීමට පමණක්‌ සිද්ධිය සටහන් තබන ලදි. මෙවැනි විෂම, බියකරු, සද්ධන්ත අමුනුෂ්‍යයන්ගෙන් ගහණ, නොපෙනෙන ලෝකයේ වියරු ස්‌වභාවය දැක, ඔබ අනුනට මෛත්‍රිය කරුණාව දැක්‌වීමට පෙර මුලින්ම තමන්ට කරුණාව දක්‌වන්න. සැබෑ පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථාකමී වෙන්න. ඔබ මෙහිදී අත්මාර්ථකාමී විය යුත්තේ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකුගේ උපදෙස්‌ මත මිස අවිචාරයෙන් නොවේ. මොකද මාර බලවේග ඔබේ ආත්මාර්ථකාමී බවද තවත් ඇලීමකට ගැටීමකට යොමුකොට ඔබව අසරණ කරන නිසාය. ඉහත ස්‌වභාවයන් ඔබ නිවන් මග වැඩීමේදී අවබෝධ නොකරගතහොත් ඔබ ද, ඔහු ද නැවත නැවත ඉපදෙනු මැරෙනු ඇත.

ගස්‌ නගින දෙවියකු වී කුමට.....?

භික්‍ෂුවට පසුගිය කාලවකවානුවේදී අවස්‌ථා කිහිපයකදීම පිංවතුන් තම නිවසේ, විහාරස්‌ථානයේ පැවති පිංකම්වලදී ලබාගත් ඡයාරූපවල දිව්‍ය ආලෝකයන් තිබෙන බව ප්‍රකාශ කළා. එම ඡයාරූප ගෙනත් පෙන්වුවා. ඇත්තටම ඒවා දිව්‍ය ආලෝක ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. යම් පිංවතෙක්‌ එම ආලෝක නියත වශයෙන්ම දිව්‍ය ආලෝකයක්‌ය කියලා හිතලා ඒ තුළින් සතුටට පත්වෙනවා නම් තව තව පිංකම් කරගැනීමට, සිදු කරගැනීමට යොමු වෙනවා නම් තෙරුවන් කෙරෙහි වඩ වඩාත් ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් නියත වශයෙන්ම ඒවා දිව්‍ය ආලෝකයන් යෑයි සිතුවට කමක්‌ නැහැ. 

දායක ගෙදරක පසුගිය වසරක කඨින පිංකමක්‌ තිබුණා. එදා දවස එම ගෙදර බුදුමැදුරක්‌ වගේ. කඨින වස්‌ත්‍රය සෙසු පූජා ද්‍රව්‍ය සමග බොහෝම ලස්‌සනට තැන්පත් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් පිංකම සංවිධානය කරලා තිබෙන්නේ. එදා රාත්‍රියේ කඨින පෙරහැර පටන් ගැනීමට පෙර ස්‌වාමීන් වහන්සේලා එම නිවසට වැඩම කරලා පිරිත් සඡ්ජායනයක්‌ පවත්වලා තිබෙනවා. මේ අවස්‌ථාවේ ගන්න සෑම ඡයාරූපයකම දිව්‍ය ආලෝකයන් තිබෙන බවත් එම දායක පිරිස ප්‍රකාශ කළා. මේ දිව්‍ය ආලෝකය දෙස බැලුවහම පිංවතුනට ඉගෙන ගන්න වටිනා පාඩමක්‌ තිබෙනවා. එම පාඩම පිංවතුන්ලාට ගොඩාක්‌ වටින නිසා මෙහි සටහන් තබනවා. අපි පන්සලක්‌ උදාහරණයට ගතහොත් පන්සලට අයත් සතර පේරුවක්‌ තිබෙනවා. මේ සතර පේරුවේ දායක පිරිස්‌වල සිව්පසයෙන් තමයි පන්සල පෝෂණය වෙන්නේ. සතර පේරුවේ වයෝවෘද්ධ උපාසක මෑණිවරු පියවරු බොහෝ වේලාවට පන්සල උපාධානය කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ අයගේ ජීවිතයම පන්සල තමයි. පසළොස්‌වක පෝය දවසට සිල් සමාදන් වෙන්න යනවා. නිරතුරුවම පිංකම් සිදුකරනවා. සෑම දවසකම සවසට බෝධි පූජාවට පන්සලට යනවා. පන්සල ජීවිතයෙන් කොටසක්‌ වෙලා. ඉහත සදහන් ආකාරයට පන්සල සමග දැඩි උපාදානයක්‌ සකස්‌ කරගත් පිංවතුන්ලා මියයන මොහොතේ තමන් ජීවිතයෙන් කොටසක්‌ බවට පත්කරගත් පන්සල කෙරෙහි ඡන්ද රාගයක්‌ සකස්‌වීම නිසා එම පන්සල් භූමියේම අල්පේශාඛ්‍ය දිව්‍ය ස්‌වභාවයන් බවට පත්වෙලා පන්සල් වත්තේ කිරි ගසක්‌ උපාදානයකරගෙන ජීවත්වෙනවා. නුග ගසක, බෙලි ගසක, රුක්‌අත්තන ගසක, බුදු මැදුරක ආලෝකවත් දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වශයෙන් ජීවත් වෙනවා. 

බලන්න ජීවිත කාලය තුළදීම පන්සල මගේ කරගෙන පිංකම් කරලා එම පිනෙන් අවසානයේදී ගසකට නැගගත් දෙවියෙක්‌ බවට පත්වෙනවා. පිංකම් කරල කරලා අවසානයේදී අපිට වෙන්නේ ආලෝකයක්‌ විහිදාගෙන ගසට නැගලා ඉන්නනම් ඒක හරිම අවාසනාවක්‌. මේ අය ඉහත ආකාරයේ ආලෝකමත් දෙවියෙක්‌ වෙලා පෙර ජීවිතයේදී මනුෂ්‍යයෝ වශයෙන් පන්සලේ පිංකම් කරලා සතුටු වුණා වගේ දැන් අනුන් කරන පිංකම් දෙස බලලා සතුටුවෙනවා. කඨින පෙරහැරක්‌ තිබෙන වෙලාවට මේ අයත් ඒ අවස්‌ථාවට එනවා. නිවසක පිරිත් පිංකමක්‌ සිද්ධවෙන වෙලාවට මේ අයත් එම අවස්‌ථාවට එනවා. නිවසක පිරිත් පිංකමක්‌, සාංඝිකදානමය පිංකමක්‌ තිබෙන අවස්‌ථාවල නිවස පිරිසිදුනම් එම දිව්‍ය ස්‌වභාවයෙන් එම පිංකම් අවස්‌ථාවට පැමිණිලා සතුටට පත්වෙනවා. පිංකම අහවර වුනාහම නැවත පන්සල් වත්තේ කිරිගහට යනවා. දැන් මේ දිව්‍ය ආලෝක වශයෙන් ඔබලාගේ පිංකම් පොළවලදී දකින්නේ කවුද? පිටස්‌තර කවුරුවත් නොවේ. ඔබේම පන්සලේ හැම කටයුත්තකදීම කැපවීමෙන් කටයුතු කළ මියගිය උපාසක උපාසිකාවන්මයි. ඔබලාගේ මියගිය වැඩිහිටි ඥාතීන්මයි. මේ දිව්‍ය ස්‌වභාවයන් මොනතරම් පිංකම් දැකල සතුටු වුවත් මේ අයට මේ දිව්‍ය ස්‌වභාවයෙන් ඔබ්බට යන්න දියුණුවට පත්වෙන්න තිබෙන අවස්‌ථාව අඩුයි. මොකද මේ අය පන්සල උපාදානට කරගෙන ඉන්නේ. ඒ උපාදානය නිත්‍යවූ සැපයක්‌ හැටියට ඒ අය අරගෙන තිබෙන්නේ. ඒ නිසා ආමිසය පැත්තම දකිමින් වඩමින් සිටිනවා. ඇයි පෙර මනුෂ්‍ය ජීවිතයේදී පන්සල මගේ කරගැනීම හේතුවෙන් ආමිසයෙන් ඔබ්බට නොගිය නිසා. 

මෙහෙම දිව්‍ය ස්‌වභාවයෙන් පිංකම් දැකලා සතුටුවෙනවා වගේම පන්සලේ තමන් අකමැති දෙයක්‌ සිද්ධවෙනවා දකිනකොට ගැටෙන ස්‌වභාවයට පත්වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතයේදී පන්සලේ එයා කැමති කළ දෙයක්‌, ගොඩනගපු දෙයක්‌ අයින් කරනවා නම්, වෙනස්‌ කරනවා නම්, ගිහි පැවිදි යමෙක්‌ ධර්ම විනයට පටහැනි යමක්‌ කරනවා නම් මේ දිව්‍ය ස්‌වභාවයන් එම ක්‍රියාවන් දැකලා ගැටෙනවා, ක්‍රෝධ කරනවා, වෛර සිත් සකස්‌කර ගන්නවා. ඒ හේතුව නිසා එම අල්පේශාඛ්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් මිදිල යක්‍ෂ, ප්‍රේත වැනි ස්‌වභාවයන්ට වැටීමේ අවධානම තිබෙනවා. තමන් උපාදානය කරගෙන ජීවත්වෙන පන්සලේ තමන් අකමැති දේ සිද්ධ වෙනකොට වෛරය ක්‍රෝධය සකස්‌ වෙනවා. බලන්න මොනතරම් අපරාධයක්‌ ද කියලා තමන් කරපු පිංකම්වලින් රැස්‌කරගත් පිං අපතේ හරිනවා. මෙහෙම වෙන්නේ අදක්‍ෂභාවය නිසා. පිංකම් කරනවා වගේම ඒවා තුළින් රැස්‌වන කුසලය නිවැරදි ඉලක්‌කය කරා යොමුකරන්නත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ. එහෙම නොවුනොත් පිංකම් කරලා අවසානයේදී පන්සලේ තිබෙන කිරි ගසකට නැගල ඉන්න තමයි අපිට සිද්ධවෙන්නේ. හරියට පොල්ගස්‌ නගින මනුෂ්‍යයෝ වගේ. හැබැයි ඉතින් බැටරි කෑලි තුනක ටොච් එළියක්‌ වගේ ආලෝකයක්‌ නම් තිබෙනවා. ඔය ආලෝකය වෙන්නත් පුළුවන් ඔබ ඔය පිංකම් කරන ස්‌ථානවලදී ගන්නා ජායාරූපවල තිබෙන්නේ. කිසිම හේතුවක්‌ නිසාවත් පිංවත් ඔබ ඔය ආලෝකයක්‌ කෙරෙහි බැඳෙන්ට එපා. එවැනි දිව්‍ය ස්‌වභාවයක්‌ කෙරෙහි චන්දරාගය ඇති කරගන්න එපා. එහෙම කැමත්තක්‌ ඔය වැනි ප්‍රාථමික දිව්‍ය ස්‌වභාවයන් කෙරෙහි ඔබ ඇති කරගතහොත් ඔබ සිදුකරගත් පිංකම් ඔබ විසින්ම අපතේ හැරියා වෙනවා. 

මෙන්න මේ කාරණය තේරුම් ගත්ත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා ධර්මයක්‌ මහානාම ශාඛ්‍ය කුමරුට දේශනාකරනවා. මේ ධර්මය බොහෝම උපක්‍රමශීලී ධර්මයක්‌. මහානාම කුමාරය බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් 'ස්‌වාමිනි, භාග්‍යවතුන් වහන්ස ගිහි ජීවිත ගතකරන අපි කුමන විහරණයකින් ගත කළ යුතුද කියලා ප්‍රශ්නයක්‌ අසනවා. 

එවිට භාග්‍යවතුන් වහන්සේ 'මහානාම ඔබ මේ විදිහට හික්‌මෙන්න. බුද්ධානුස්‌සතිය වඩන්න,ධම්මානුස්‌සතිය , සංඝානුස්‌සතිය වඩන්න. මහානාම ඔබ ශීලානුස්‌සතිය වඩන්න, ත්‍යගානුස්‌සතිය වඩන්න' කියලා දේශනා කරලා අවසානයේ පවසා සිටිනවා 'මහානාම ඔබ දේවානුස්‌සතිය වඩන්න' කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 'දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න. දෙවියෙක්‌ වෙන්න අවශ්‍ය ධර්මතාවයන් දැන ගන්න. නිරතුරුවම තුසිතය, යාමය, නිම්මාණරතිය, තාවතිංසය, පරනිම්මිතය වැනි අප්‍රමාණ සැප ඇති දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති කරගන්න. ඒවාට යන්න කැමති වෙන්න. ඒවායේ වැඩසිටින දෙවියන් දිව්‍යංගනාවන් විඳින අප්‍රමාණ සැප මනසින් දකින්න. එම සැපයට ඔබ ලොල්වෙන්න. මේ දිව්‍යතල කෙරෙහි උපාදානය සකස්‌කොට ගන්න'.... යනුවෙන්.

මේ ධර්මය ඔබට ඇසෙන කොට ඔබට සිතෙන්න පුළුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිව්‍යතල වර්ණනා කරලා තිබෙනවා කියලා. මෙතන දිව්‍යතල වර්ණනා කිරීමක්‌ නොවෙයි සිද්ධවෙන්නේ. බොහෝම උපක්‍රමශීලී ලෙස ඔබව සතර අපායෙන් එතෙර කරවීමේ ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම ඔබට දිව්‍යතල කෙරෙහි එම දිව්‍ය සැපයන් කෙරෙහි ජන්දරාගය තෘෂ්ණාව ඇති කරවනවා. එහෙම ඔබ තුළ දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති වුණාට පස්‌සේ ඔබ මොකද කරන්නේ. ඒ කැමැත්ත උපාදානය කරගෙන ඔබ වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නවා. වැඩි වැඩියෙන් සිල්පද ආරක්‍ෂා කරගන්නවා. වැඩි වැඩියෙන් දන්දෙනවා. ඒවායේ ආනිශංසයන් දකිනවා. මේ ධර්මතාවයන් වැඩි වැඩියෙන් ඔබ වඩන්නේ ඇයි? ඉහත සශ්‍රීක දිව්‍යතලයක සැපවිඳින්න. නමුත් පිංවතුනි ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය ඔබේ ජීවිතයෙන් වැඩි වශයෙන් වඩවා ගන්න කොට ඔබ නොදැනුවත්වම ඔබව සෝවාන් ඵලයට පත්වෙනවා. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක්‌ බවට පත්වෙලා ඔබ මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌ වශයෙනුයි එම දිව්‍යතලවල උපත ලබන්නේ. දැන් ඔබට වැටහෙනවා ඔබට බුදුරජාණන් වහන්සේ දේවානුස්‌සතිය වඩන්නය කියලා කීවේ මෙන්න මේ ජයග්‍රාහී තැනට ඔබව ඔසවා තබන්න. එතකොට මේ දේවානුස්‌සතිය වඩන්න කියන්නේ පන්සලේ, ආරාණ්‍යයේ ජීවත්වන ප්‍රාථමික අල්පේශාඛ්‍ය දෙවියෙක්‌ වෙන්න ප්‍රාර්ථනා කරන්න නොවේ. සශ්‍රීක දිව්‍යතලවල මහේශාඛ්‍ය දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වෙන්න ප්‍රාර්ථනා කරන්න. පන්සලේ රුක්‌දෙවියෙක්‌, ආරක්‍ෂක දෙවියෙක්‌ වෙන්න හිතන්නවත් එපා. ඒවා ප්‍රාථමික තත්වයන්. පන්සල ඇසුරු කරගෙන අවශ්‍ය ගුණධර්මයන්, කුසල් ධර්මයන් වඩන්න. පන්සල තමයි කුසලධර්මයන් දියුණු කරගන්නා මධ්‍යස්‌ථානය. මොනම හේතුවක්‌ නිසාවත් ඔබ පන්සලෙන් ඈත්වෙන්න එපා. පන්සලෙන් ඈත්වෙනවා කියන්නේ ඔබ සතර අපායෙන් මිදීමේ මාර්ගයෙන් දුරස්‌ වෙනවා කියන එකයි. සතර අපායෙන් මිදීම සඳහා පිංවත් ඔබට අත්‍යවශ්‍ය කෙරෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය කියන සාධක ඔබ තුළින් වැඩෙන්නේ පන්සල ඇසුරින්.

මෙම කරුණු ගිහි ජීවිත ගතකරන පවුල් බැඳීම්වලට බැඳුන පිංවතුන් උදෙසායි සටහන් කළේ. 

සමහර ගිහි පිංවතුන්ගේ ස්‌වභාවයක්‌ තිබෙනවා අපි දැන් භාවනා කරන්නේ, සමාධිය වඩන්නේ.... ඒ නිසා පන්සල් යන්න ඕනේ නැහැය කියලා. මේ අධිතක්‌සේරුව නිසා තමා තමාටම වරදකුයි කරගන්නේ. පන්සලේ තිබෙන්නා වූ මොනයම්ම හෝ වරදක්‌ නිසා ඔබ තුළ ගැටෙන සිතක්‌ නම් තිබෙන්නේ, ඒ කියන්නේ ඔබ ශීලයෙන් පරිපූර්ණ නැහැ. ශීලයෙන් දුර්වලයි. ඔබ ශීලයෙන් පරිපූර්ණ නම් අනුන්ගේ ශීලය ගැන ගැටෙන්න යන්නේ නැහැ. ගැටෙන්න හොඳ නැහැ. 

පසුගිය දවසක භික්‍ෂුවට ගිහි පිංවතෙක්‌ මුණගැසුණා. ඔහු පන්සලේ ඇසුරට නොයන කෙනෙක්‌. ඔහු සිතාගෙන සිටිනවා තමන් මාර්ගඵලලාභී පුද්ගලයෙක්‌ය කියලා. නමුත් ඔහු තුළින් එවැනි කිසිම ලක්‍ෂණයක්‌ විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔහුට තිබෙන්නේ පන්සල ගැන මෙවැනි මතයක්‌. 

'පන්සලේ කරන්නේ ගොඩනැගිලි හදන එකයි. පිංකම් කරන එකයි. ආධාර එකතු කරන එකයි' කියලා. දැන් බලන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණි කෙනෙක්‌ අකමැතිවෙයිද සම්මා සම්බුද්ධ ශාසනයක්‌ ඇතිවෙලා වසර 2600ක්‌ වැනි කාලයක්‌ ගෙවී ගිය මොහොතක භෞතික පැත්තෙන් හෝ පන්සල මේ ආකාරයෙන් හෝ දියුණුවක්‌ ලබනවට. මේක මේ ජීවිතයේදී නිවන් අවබෝධ කරගැනීමට යන මාර්ගය නොවේ. සතර අපායෙන් මිදීම කරා යන මාර්ගයයි. විහාරස්‌ථානයක ඉදිකෙරන සෑම විහාරාංගයක්‌ පාසාම, සංවිධානය වන සෑම පිංකමක්‌ පාසාම ඒවාට මොනතරම් පිංවතුන්ලා මුදලින් ශ්‍රමයෙන් දායක වෙලා දන්දීමේ ශක්‌තිය ඇති කරගන්නවාද. දන්දීම තුළින්මයි ඔබ තුළ තන්හාව නැති වෙන්නේ. දන්දීමෙන් අපි කුමක්‌ද පුරුදු කරන්නේ. අතහැරීමයි. මේ ජීවිතයේදී හෝ සසර කවදාහරි දවසක ඔබ මේ ඇස මගේ නොවේය කියලා අවබෝධයෙන් අතහරින්න ඕනේ. මේ කන, නාසය, දිව, මනස, කය මගේ නොවේය කියලා අවබෝධයෙන් අතහරින්න ඕනේ. ඇස නිසා සකස්‌ වෙන්නා වූ වේදනාව, හඳුනා ගැනීම, ෙච්තනාව, විඤ්ඤාණය අනිත්‍යයි කියලා ඔබට අවබෝධයෙන් අතහැරෙන්න ඕනේ. අනිකුත් ආයතනයන් බාහිර රූපයන් සමග ඵස්‌සය වීමෙන් සකස්‌ වන පංචඋපාදානස්‌කන්ධයම අනිත්‍ය බව අවබෝධයෙන් දැන ඒවාට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න ඕනේ. මේ අතහැරීම තමයි ඔබ දන්දීමෙන් පුරුදු කරන්නේ. දැන් ඔබ බලන්න සසර දුකින් එතෙරවීම සඳහා ගිහිපිංවතුන්ලාට දානය මොන තරම් වටිනවාද කියලා. ඒ නිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කිසිවෙකුට කියන්න පුළුවන්ද ශාසනයේ පැවැත්ම උදෙසා පරිත්‍යාග කරන එක රුපියලක්‌වත් අනවශ්‍ය දෙයක්‌ය කියලා. සෑදෙන එක ගොඩනැගිල්ලක්‌වත් අනවශ්‍ය ඉදිකිරීමක්‌ය කියලා. 

ඔබ අනෙක්‌කෙනා ගැන හිතන්න යන්න එපා. ඔබ පරිත්‍යාග කරන දෙය පරිත්‍යාග කරන්න. පරිත්‍යාගය කරන්නා කුමක්‌ කරනවාද යන්න ඔබ හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඔබ සැබැවින්ම යමක්‌ දන් දුන්නා නම් ඒ දන් දුන්න දේ ගැන සොයන්න යන්නේ නැහැ. මොකද එය දැන් ඔබට අයිති නැති නිසා. ඔබ ඒ දෙය සහමුළින්ම අත්හැරිය නිසා. ඔබට දැන් අයිති දන්දීම පමණක්‌ මිස පසු විපරම් නොවන නිසා. ඔබ මේ අතහැරීමේ සැහැල්ලුව, සතුට භුක්‌ති විඳින්නේ නැතිව, ලැබුණ සැපයට පිටුපාලා, දන් දුන්න දෙයට වෙච්චි දෙය හොයන්න ගිහිල්ලා නැති අකුසලයක්‌ රැස්‌කරගන්නවා. 

දන්දීම කළ යුත්තේ සමාජයේ යමක්‌ ඇති පිංවතුන්ලා පමණක්‌ නොවේ. අද සශ්‍රිකභාවයක්‌ ඇතිව යමෙක්‌ ජීවත්වෙන්නේ , සසර තමන් දුන් දානයේ කුසල් ආනිශංස නිසා. සමාජයේ සශ්‍රීම පිංවතුන්ලා වගේම, සශ්‍රීකභාවයෙන් අඩු පිංවතුන්ලාත් දැඩි ලෙස දන් දෙන්න පුරුදුවෙන්න ඕනේ. අපි සමාජයේදී දකින්නේ දුප්පත් අය දන් දෙනවාට වඩා ඒ අය පුරුදුවෙලා තිබෙන්නේ අනුන් දන් දෙන දෙය ලබන්නන් බවට පත්වීමයි. මෙය ඔබ ඔබටම කරගන්න අසාධාරණයක්‌. අනුන්ගෙන් ලැබුණු දෙය වුණත් කමක්‌ නැහැ, ලැබුණු දෙයින් සුළු කොටසක්‌ හෝ කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. දිනකට රුපියල් දාහක්‌ හම්බකරන පිංවතා දිනකට රුපියල් සීයක්‌ දානය සඳහා වෙන්කරනවා නම්. දිනකට රුපියල් සියයක්‌ හම්බකරන පිංවතා එයින් රුපියල් දහයක්‌ දිනක දානය සඳහා වෙන්කරන්න. මෙහි කුසල් විපාකය ඔබට ලැබෙන්නේ දන් දෙන මුදලේ ප්‍රමාණය මත නොවේ. ඔබ තුළ සකස්‌ කරගන්නා වූ ෙච්තනාව, ශ්‍රද්ධාව මතයි. 

පිංවත් මහත්මයෙක්‌ දිනක්‌ භික්‍ෂුවට මෙවැනි කථාවක්‌ පැවසුවා. 'අපේ ගෙදරට දිනක්‌ හාමුදුරුනමක්‌ වැඩියා ආධාර පත්‍රිකාවක්‌ විකුණන්න. ටිකට්‌ එකක්‌ රුපියල් විසිපහයි. ගිලන් භික්‍ෂූන්ට උපස්‌ථාන කරන්නය කියලා' 

මේක අහපු අර පිංවත් මහත්මයා, හාමුදුරුවන්ට දෝෂාරෝපනය කරලා එලවාගෙන. ඒ මහත්මයා ඒ කළ ක්‍රියාව ගැන උදම් අනනවා.

සැබැවින්ම අදාළ හාමුදුරුවෝ කළේ විනය විරෝධී ක්‍රියාවක්‌. ඒ හේතුවෙන් පිංවත් මහත්මයා කරගත්තෙත් අකුසල්සහගත ක්‍රියාවක්‌. ඔබ නිරතුරුවම සමාජය හදන්න යන්න එපා. ශාසනය අතුරුදන්වෙන්න බොහෝම ළඟයි. මේ කෙටි කාලයේ, මේ කෙටි ජීවිතය තුළ ඔබ සනාථ වෙන්න. නොහැදුණු අයගෙන් හැදුණු දුසිල්වත් ලෝකය ඉදිරියේ ඔබ හැදුණු කෙනෙක්‌ වෙන්න. සිල්වතෙක්‌ වෙන්න. මුදල් වංචාකරන ලෝකය ඉදිරියේ ඔබ සැබෑම දානපතියෙක්‌ වෙන්න. ලෝකයා වංචා කරනවාය කියලා ඔබ ඇයි ප්‍රමාද වෙන්නේ. ලබන්නා ගැන නොසිතා ඔබේ පිං පොදිය අර්ථවත් ලෙස වැඩිකරගන්නා ක්‍රමය ගැන සිතන්න. ඔබට හැකියාවක්‌ තිබෙනවා නම් රුපියල් විසිපහක්‌ වියදම් කරලා ආධාර පත්‍රයක්‌ ගන්න, එය සංඝයා උදෙසා කළ පූජාවක්‌ය කියලා සතුටුවෙන්න. එහෙම බැරිනම්, බොහොම සුහදව කථාකරලා, මුදල් නැතිබව එම හාමුදුරුවන්ට ප්‍රකාශ කරලා පිටත්කර හරින්න. සතර අපායෙන් නොමිදුන මනුෂ්‍යයා, සැමවිටම අන්‍යයන් සතර අපායට වැටෙන ස්‌වභාවයේ කටයුතුමයි සිද්ධකරන්නේ. ඒ අය මාරයාගේ වසඟයේ සිටින පිරිස. මාරයාගේ කැමැත්තයි ඒ අය අතින් සිද්ධවෙන්නේ. ඒ අය මාරයාගේ තුරුළට ගියදෙන්. පිංවත් ඔබ මේ යථාර්ථය අවබෝධ කරගෙනයි කටයුතු කළ යුත්තේ.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Monday, September 17, 2012

මහ රහතුන් වැඩි මග ඔස්සේ

ආරාණ්‍යවාසී භික්‍ෂුවක්‌ සවස දෙකට පමණ සමාධියෙන් පසුවෙනකොට සද්ධන්ත අමනුෂ්‍යයෙක්‌ දර්ශනය විය. මේ අමනුෂ්‍යයා භික්‍ෂුවට දර්ශනය වූයේ ඔහුගේ ඉඟටියෙන් පහළ කොටස පමණි. ඒ කියන්නේ කකුල් දෙක පමණකි. කකුල් දෙකේ උස අඩි විස්‌සක්‌ පමණ ඇති. කකුල් දෙක ශක්‌තිමත් මිනිසකුගේ ස්‌වභාවයෙන් යුත් අතර ඇල්සේෂන් බල්ලකුගේ ඇඟේ ඇති දිග රෝමයන් සේ දැඩි කළු පැහැති රෝමවලින් කකුල් දෙක පිරී තිබිණි. මහා බියකරු රූපයකි. මෙම අමනුෂ්‍යයාගේ ඉඟටියෙන් පහළ කොටස දර්ශනය නොවුයේ ඇයි ද? යන්න භික්‍ෂුව නොදනී. මෙවැනි අතිශය බියකරු අමනුෂ්‍යයන් අකුසල් කඳු වගේය. අතීතයේ කරන ලද පාපකර්මවල බලවත් බව නිසා මොහුට මේ බියකරු බව, සද්ධන්ත බව ලැබී ඇත. මොහු නැවත නැවත කරන ලද අකුසල හේතුවෙන් මෙම බියකරු බව සද්දන්ත බව වැඩිවනු ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. 

මේ ආරණ්‍ය බිම්වල කරක්‌ ගසමින් ආරණ්‍යයත් එහි වැඩ සිටින භික්‍ෂූන්වත් පීඩනයට පත්කිරීම, විකෘති මනෝභාවයන් ඇතිකිරීම, ධර්ම ශක්‌තියෙන් හීන භික්‍ෂූන්, කැපකරුවන් ග්‍රහණයට ගැනීමෙන් ඔවුන් හරහා ආරණ්‍යය අපිරිසිදු අවුල් සහගත ස්‌වභාවයන්ට පත්කිරීම මෙම අමනුෂ්‍යයන්ගේ කැමැත්තය. මෙම අමනුෂ්‍යයාගේ දේහ විලාශය දුටුවිට මොහුගෙන් ගැලවීමට ශක්‌තිමත් ශීලයකින් හික්‌මීම ඇතිකරගත් භික්‍ෂුවකට මිස ඉන් පහළ අයකුට නම් නොහැකිය. මෙවැනි විශම බලවේගවල බලපෑම නිසා එක්‌කෝ ලෙඩ රෝග, මානසික දුර්වලතා, කලකිරීම් ද චංචල මනෝභාවයන් නිසා ගැටෙන ස්‌වභාවයන්, අපිරිසිදුකම වැනි මේවා සිදුවීම පුදුමයක්‌ නොවේ. පුදුමය වන්නේ මෙසේ සිදුනොවුණා නම්ය. මොකද මේ නිරිසතා එතරම්ම බියකරුය. මේ මිත්‍යදෘෂ්ඨික බලවේග ශාසනය රැකෙනවාට විරුද්ධය. වර්තමානයේ ශාසනයේ ඇති සංඝරත්නයේ අඩුව නිසා සුදුසු නුසුදුසු පිsරිසද මහණ පැවිදි වෙයි. පැවිද්දට සුදුසු පිංවත් පිරිසද පැවිදිවීමෙන් පසුව අතහැරීම පසෙක තබා රැස්‌ කිරීමට පෙළඹේ. ශීල, සමාධි භික්‍ෂු දැනුම මාන්නය වපුරාගනී. මේවා මේ විෂම බලවේගවලට මහා ශක්‌තියකි. මෙම විෂම බලවේග ආරණ්‍යම ඉලක්‌ක කරගන්නේ සැබෑ සම්බුද්ධ ප්‍රතිපදාව මරා දැමීමටය. 

මෙම සටහන තැබුවේ ඔබට නොපෙනෙන ලෝකයේ බියකරු ජීවිතයක ස්‌වභාවය දැනගැනීමටය. ඒ තුළින් ඔබට පාඩමක්‌ ඉගෙන ගැනීමටය. මේ සද්ධන්ත අමනුෂ්‍යයා කවදාහරි දවසක ඔබ සේම මිනිසකු ලෙස මනුලොව ජීවත් වූවෙකි. එම ජීවිතයේදී වැඩූ අකුසල් නිසා මෙම ආත්මය ලැබී ඇත. මෙම ආත්මය තුළදීම මොහු රැස්‌කරන්නේ බියකරු අකුසල්මය. මොහු කුසල් හඳුනන්නේ නැත. මේ ආකාරයෙන් භික්‍ෂූන්ව දුකට පීඩනයට හෙළීමෙන්, සංඝභේද ඇති කිරීමට පරිසරය සකස්‌ කිරීමෙන් මොහු අතින් ආනන්තරීය පාපකර්මය ද සිදුවිය හැකිය. දැන් හිතන්න මෙම අමනුෂ්‍යයාට සංසාරය මොනතරම් දුරවෙයිද විෂම වෙයිද කියලා. ඒ වගේම මෙවැනි අසරණයන්ට අනුකම්පා කරලා මෙය කියවලා පිංවත් භික්‍ෂුන් වහන්සේලා ද අවබෝධකර ගන්න ඕනේ භික්‍ෂූත්වය තුළ ශීල, සමාධි, දැනුම මාන්නයෙන් තොරව සැබෑ අතහැරීමේ භික්‍ෂු ප්‍රතිපදාව තුළ හික්‌මෙන්න. එසේ නොවුණහොත් එක පැත්තකින් එම බිහිසුණු අමනුෂ්‍ය බලවේගවලට තවතවත් අකුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ලබා දෙන අතර ඔබද දුර්වල පිංවත් භික්‍ෂුවක්‌ ලෙස කවදාහරි දවසක මේ බියකරු අමනුෂ්‍යයාගේ පිරිවර සමාජිකයෙක්‌ වීමටද ඉඩකඩ නැතිවා නොවේය යන්න ඔබ සිහිකළ යුතුය.

ඔබේ කුටිය අවට පරිසරය, ආරණ්‍ය පරිසරය, චීවරය, අඳනය, ශරීරය, වැසිකිළිය, නියපොතුටික පවා පිරිසිදුව තබාගන්න. අවුල්වෙන්න දෙන්න එපා. පරණවූ දෙය, නරක්‌වූ දෙය, අනවශ්‍ය දෙය රැස්‌කොට තබන්න එපා. විනාශකර දමන්න. අපිරිසිදු සතුන් ඇති කිරීමෙන් වළකින්න. බුදු පහන, බුදු කුටිය අපිරිසිදු වෙන්න දෙන්න එපා. අඳුරු වෙන්න දෙන්න එපා. මේවා අපිරිසිදුයි කියන්නේ සිත අපිරිසිදු නිසාය. අන්තවාදී නොවී, සැබෑලෙස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ සුන්දර භික්‍ෂුවක්‌ වීමට අවශ්‍ය ගුණධර්ම ඔබ තුළද වගාකරගෙන ඔබ සැනසෙනවා සේම විෂම අමනුෂ්‍ය බලවේගවලටද උපකාරවී ඔවුන්ගේ අකුසල් වැඩි නොකිරීමට ඔබ දක්‍ෂවෙන්න.

මේ ගමනේදී නිවීමේ මග අවහිර කිරීමට මාර බලවේග, බියකරු අමනුෂ්‍ය බලවේග ශීල්වත් වේෂයෙන්ද, අසරණ වේෂයෙන්ද, ගුරු ගෝල වේෂයෙන්ද, ඔහුගේ ගැලවුම් කරු වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. දැනුම පාණ්‌ඩිත්‍ය වේෂයෙන්ද, ලාභ සත්කාර වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. මේවා නිවන් මග බාලකරන සියුම් ධර්මතාවන්ය. මෙම බලවේග කෙරෙහි නොඇලී පෙරට යැම සංකීර්ණය. මොකද ඉහළ බලවේග පසුපස පෙර සදහන් කළ පරිදි සද්ධන්ත විෂම මිත්‍ය, දෘෂ්ඨික අමනුෂ්‍ය බලපෑම් දැඩිලෙස තිබෙන නිසාය. මොන පැත්තෙන් බැලුවත් මාර බලවේග අපට දැල එලා ඇත. මෙසේ මාර බලවේගවලට ඔබ අසුවන්නේ තවමත් ඔබ මාරසිත් අනිත්‍ය වශයෙන් දැක අතහැරීමට අදක්‍ෂ නිසාය. මෙය සටහන් කරන භික්‍ෂුව මෙම සද්ධන්ත අමනුෂ්‍යයාගේ අඩ රුව දුටු මොහොතේදීම, එම සිත අතහැරදැමීය. දුටුවේ රූපයකි. එහි ස්‌වභාවය අනිත්‍යය. එපමණකින්ම එය අවසන්ය. ඔබට පාඩමක්‌ ඉගෙන ගැනීමට පමණක්‌ සිද්ධිය සටහන් තබන ලදි. මෙවැනි විෂම, බියකරු, සද්ධන්ත අමුනුෂ්‍යයන්ගෙන් ගහණ, නොපෙනෙන ලෝකයේ වියරු ස්‌වභාවය දැක, ඔබ අනුනට මෛත්‍රිය කරුණාව දැක්‌වීමට පෙර මුලින්ම තමන්ට කරුණාව දක්‌වන්න. සැබෑ පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථාකමී වෙන්න. ඔබ මෙහිදී අත්මාර්ථකාමී විය යුත්තේ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකුගේ උපදෙස්‌ මත මිස අවිචාරයෙන් නොවේ. මොකද මාර බලවේග ඔබේ ආත්මාර්ථකාමී බවද තවත් ඇලීමකට ගැටීමකට යොමුකොට ඔබව අසරණ කරන නිසාය. ඉහත ස්‌වභාවයන් ඔබ නිවන් මග වැඩීමේදී අවබෝධ නොකරගතහොත් ඔබ ද, ඔහු ද නැවත නැවත ඉපදෙනු මැරෙනු ඇත.

දෙමාපියන් වෙනුවෙන් දරුවන්ට දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට

මේ සටහනේ තැනක සඳහන් කළා, මේ ලෝකධාතුවේ කෲරතර දුක්‌ විඳින සත්ත්වයන් පිළිබඳව. ආනන්තරිය පාපකර්ම කියන බලවත් අකුසල් හේතුවෙනුයි, අවීචි මහා නිරයේ නිරිසතුන්ගේ දුක මේ තරම් තියුණු. අවීචි මහා නිරයේ දුක්‌විඳින එක නිරිසතෙක්‌ සිටිනවා. ඔහු දේවදත්ත. අකුසලය, ජීවිතය කොටගත් කෙනෙක්‌. ජීවිතය පළිගැනීම, ද්වේෂය උදෙසාම මෙහෙයවූ කෙනෙක්‌. දුර නොබලා, ළඟ පමණක්‌ බලපු කෙනෙක්‌. අකුසල් සංස්‌කාරයන්ගේ උල්පතක්‌. ඒ උල්පතෙන් නිරතුරුව දුක වැගිරෙනවා. වැගිරෙන්නේ ජලය, කඳුළු නොවේ ගින්දරයි. එය ලෝකධාතුවේ අතිශය වේදනාකාරී දුකක්‌. ඔබත්, මමත් දිවා රාත්‍රී දෙකෙහිම මෙනෙහි කළ යුතුවූ දුකක්‌. මේ උතුම් මොහොතේ සතර අපායෙන් නොමිදුනහොත් අපටත් අනාගතයේ උරුමවූ දුකක්‌. 

භික්‌ෂුවක්‌, උතුම් සාමාධිය තුළින් දේවදත්තව අරමුණු කොට බලනවා. දේවදත්ත අවීචි මහ නිරයේ සිටයි භික්‌ෂුවට දර්ශනය වෙන්නේ. මේ නිරිසතාගේ බෙල්ලෙන් ඉහළ කොටස්‌ පමණයි, භික්‌ෂුවට පෙනෙන්නේ. හිස මුඩු වූ මිනිස්‌ මුහුණක්‌. කිඹුල් කටක්‌. ඒ කියන්නේ කිඹුල් කටක්‌ සහිත මිනිස්‌ මුහුණක්‌. මනුෂ්‍යාගේ ස්‌වභාවයෙන්ම සිටිනවා. අඩියක්‌ පමණ දිග, අඟල් 8 ක්‌ පමණ පළල කිඹුල් කටකුයි තිබෙන්නේ. මේ නිරිසත්ත්වයා සෑම නිමේෂයකදීම ශරීරය තුළින් නැගෙන ලොකු කළගෙඩියක ප්‍රමාණයේ ගිනි ජාලාවක්‌ කිඹුල් කටෙන් පිටකරනවා. අපි නාසයෙන් ශරීරය තුළට ගන්නා වාතය නැවත නාසයෙන් පිටකරනවා වාගේ, මේ නිරිසතා කිඹුල් මුඛයෙන් සෑම තත්පරයකදීම කළගෙඩියක ප්‍රමාණයේ ගිනි ජාලාවක්‌ පරිසරයට මුදා හරිනවා. අපි හුස්‌ම රැල්ලක්‌ ශරීරය තුළට ගන්න කොට මුළු ශරීරයටම එය දැනෙමින් ප්‍රබෝධයට පත්වෙනවා. එනමුත්, මේ දේවදත්ත නිරිසතාට, අකුසලය තුළින් උපන්නාවූ ගිනි ජාලාව, ශරීර අභ්‍යන්තරය දවමින්, මුඛය ඇතුළතද පිළිස්‌සෙමිනුයි පිටවෙන්නේ. මෙය නැවත නැවත සිද්ධ වෙනවා, කොටින්ම ඔහුගේ ප්‍රශ්වාසය සිදුවෙනනේ ගිනි ජාලාවකින්. ගිනි ජාලාව මුඛයෙන් පිටවෙන මොහොතේ මේ නිරිසතා දැඩි මරණීය වේදනාවකට පත්වෙනවා. එය එම නිරිසතාගේ මුහුණේ විද්‍යමානවෙන තියුණු ඉරියව්වලින් හොඳින් පෙනෙනවා. මේ නිරිසතාට කිඹුල් කටක්‌ පිහිටා තිබෙන්නේ වැඩි ගින්දර ප්‍රමාණයක්‌ පිටකිරීමට සහ, වැඩි අවකාශයක්‌ මුඛය පිළිස්‌සීමේ වේදනාව දැනෙන්න. මොහුට මනුෂ්‍යයකුට තරම් කුඩා කටක්‌ තිබුණානම්, කුඩා ගින්දරක්‌ තමයි පිටවෙන්නේ. පිළිස්‌සෙන්නේ කුඩා අවකාශයක්‌. අකුසලයේ බලවත් භාවය නිසා, වැඩිපුරම වචනයෙන් කරගත් අකුසල් නිසාදෝ, මුඛය වැඩි දුකක්‌ විඳීමට අවශ්‍ය හැඩයට පිහිටා තියෙනවා. මොහු ඈනුමක්‌ අරින්න වාගේ වේදනාවෙන් කිඹුල්කට හොඳින් විවෘත කරනවා. ඒ එක්‌කම පිටවෙන්නේ ගින්දර ජාලාව. දේවදත්ත මේ මොහොතේත්, තවත් කල්ප ගණනාවකුත් මේ කෲරතර දුක විඳීවි. වාසනාවන්ත පිරිසක්‌ අතර ඉපැදුන අවාසනාවන්ත මනුෂ්‍යයෙකි දේවදත්ත. 

පින්වත් ඔබත්, ධර්මයේ සන්දිට්‌ඨික ගුණය පවතින මේ උතුම් අවස්‌ථාවේ ඉපැදුන අවාසනාවන්තයෙක්‌ වෙන්න එපා. මේ අවීචි මහ නිරයට අයත් අකුසල් වලින් එකක්‌ තමයි දෙමාපියන් මැරීම. මව්පියන් ඝාතනය නොකළත්, වර්තමාන සමාජයේ දෙමාපියන්ට මානසිකව මරණීය වේදනාවන් දෙනවා. මහළු නිවාස, දෙමාපියන් නොසලකා හැරීම, සේවකයන් ලෙස වැඩ ගැනීම, සමාජය තුළ හුඟක්‌ සිද්ධ වෙනවා. මේ අකුසල් අවීචි මහ නිරයට අයත් නැතිවුණාට, මේවායේ විපාක බොහොම බලවත්. මවගෙන් බීපු කිරි වෙනුවෙන් ඔබ මවට පෙරළා කෘතවේදී නොවුණහොත් අනිවාර්යයෙන්ම කිරි වෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුධිරය කිරි බවට පත්වුණේ, කරුණාව නිසාමයි. එවන් 'කරුණාවක්‌' ඔබ මහලු මඩමක ගාල් කරනවා නම්, නොසලකා හරිනවා නම්, සේවිකාවක්‌ හැටියට දකිනවා නම්, අම්මා තාත්තා පිච්චෙන වේදනාවේ දුක්‌ගිනි වලින් ඔබත් කවදාහරි දවසක පිච්චෙනවාමයි. සංස්‌කාරයෝ බොහෝම බියකරු බව නැවත මතක්‌ කරනවා. අඹුදරුවන් සමග පවුල් ජීවිතයක්‌ ගතකරන ඔබ, අම්මා තාත්තාට දිය යුතු තැන, කොතැනද කියලා සිතන්න යන්න එපා. ඔබ ඔය තැනට පැමිණියේ අම්මා තාත්තා නිසා කියලා හිතන්න දක්‌ෂ වෙන්න. අම්මා කෙනෙක්‌, තාත්තා කෙනෙක්‌ කියන්නේ ඉල්ලමක්‌. ඔබගේ සැපයට අවශ්‍ය කළමනා ලබාදෙන ඉල්ලමක්‌. ඔබ දක්‌ෂ වෙන්න ඒ ඉල්ලම සුවසේ ගරමින්, භවයේ සැපයට අවශ්‍ය කලමනා එකතුකර ගන්න. වැඩිකාලයක්‌ ඒ ඉල්ලම පවතින්නේ නැහැ. එය මැරිලා යනවා. ඒ නිසා ඔබ ඉක්‌මන් වෙන්න. ඔතැනයි සැබෑම සැපය උපදවන මැණික්‌ දියමන්ති තියෙන්නේ. අපි මහපොළව හාරලා මැණික්‌ පතලක්‌ බැස්‌සොත්, සැම මොහොතකම දුකමයි සකස්‌ වෙන්නෙ. මැණික්‌ ලැබෙන්න ලැබෙන්න තෘෂ්ණාව සහ බියමයි සකස්‌ වෙන්නෙ. සතර අපායට යන මාර්ගයයි සකස්‌ වෙන්නෙ. ඒත් අම්මා තාත්තා කියන ඉල්ලම ගරන්න ගරන්න පින සහ කුසලයමයි සකස්‌ වෙන්නෙ. මව්පිය උපස්‌ථානය තුළ මේ ලෝකධාතුවේ ඉහළම ලෞකික සැපය වන ශක්‍රයා වීමේ අවස්‌ථාව සැඟවී තිබෙන බව ලොව්තුරා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා. 

අම්මා තාත්තාට බැරි අවස්‌ථාවක්‌ පැමිණියොත්, ඒ දෙමාපියන්ගේ අසූචි මුත්‍රා ටිකක්‌ ඔබේ දෑතේ නොගෑවුණොත්, ඔබ අම්මා තාත්තාට ණය නොවූ දරුවෙක්‌ වෙන්නේ නැහැ. අම්මා තාත්තා නමැති මැණික්‌ ඉල්ලම හඳුනා නොගත් අන්ධයෙක්‌ වෙනවා ඔබ. එවැනි අන්ධ භාවයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් තමයි වැඩිහිටි නිවාසවල සිටින්නේ. අම්මා කෙනෙකුගේ අසූචි මුත්‍රා කියන්නේ ඉතා සුන්දර දෙයක්‌. ඒ අසූචිවල, මුත්‍රාවල ඔබව ශක්‍ර දෙවියා බවට පත්කිරීමට අවශ්‍ය කුසල් සැඟවිලා තිබෙනවා. භවයේ සැප නමැති මැණික්‌ සොයන්නා, අම්මා තාත්තා නමැති ඉල්ලම සුවසේ ගරා ගන්නවා. මේ භික්‌ෂුව ගිහි කාලයේදී, අම්මා කියන ඉල්ලමෙන් ඇතිතාක්‌ මැණික්‌ ගරාගත් දරුවෙකි. අම්මා නැමැති ඉල්ලමෙන් ගරාගත් කුසල් ශක්‌තිය තමයි, අයෝමය ශක්‌තියක්‌ වෙමින්, භික්‌ෂුව මේ මොහොතේ ඉන්නා තැනට ඔසවා තබන්නට මාර්ගය වූයේ. ඒ නිසයි අත්දැකීමෙන්ම කීවේ අම්මාගේ අසූචී මුත්‍රා, හරිම සුන්දරයි ආශ්වාදනීයයි කියලා. ඒ සුන්දරත්වයයි ධර්මයේ සැබෑ සුන්දරත්වයට අවශ්‍ය කුසල් සංස්‌කාර මෝදුකර දුන්නෙ. මේ දෑත් වල අම්මාගේ මුත්‍ර බැරල් ගණනක්‌ තැවරිලා ඇති. අම්මාගේ මුත්‍ර අසූචී තැවැරුණු රෙදි 'අප්‍රමාණ ප්‍රමාණයක්‌' මේ දෑත් වලින් පිරිසිදු කොට ඇති. ඒ දෑත් වලින්මයි, ඔබට මේ සටහන් ලියන්නේ. ඒ නිසාමයි මේ සටහන් පිංවත් ඔබට අර්ථවත් යෑයි හැඟුdනා නම් අර්ථවත් වූයේ. සුන්දර යෑයි හැඟුනා නම් සුන්දර වුයේ. 

මේවා හේතු ඵල ධර්මයන්. අම්මාගේ ජීවිතය දුකෙන් හීන කොට ජීවත් කිරීම තුළින්, ලබාගත් ජීවිතයේ සුන්දර අසිරියයි, භික්‌ෂුව මේ මොහොතේ අත්විඳින්නේ. භික්‌ෂුව අතීතයේදී අම්මා නමැති කුසල් ඉල්ලම සුවසේ ගරා ගත්තේ සක්‌දෙව් සැප. සක්‌විති රජ සැප, බලාපොරොත්තුවෙන් නොවේ. තවත් මේ භවයේ මව්කුසක ප්‍රතිසන්ධිය එපාය කියන බලාපොරොත්තුවෙන්මයි. අම්මා කියන්නේ මෙවැනි දුකක්‌ නම්, තවත් එවැනි අම්මා කෙනෙක්‌ එපාය කියන බලාපොරොත්තුවෙන්. අම්මා තුළින්මයි අම්මා කවුද යන්න ධර්මානුකූලව විනිවිද දකින්න පුළුවන් වුණේ. 'අම්මා' කියන රූපය, ගුණය කෙරෙහි ඇතිකොටගත් ආශ්වාදය හේතුවෙන් මතුවුණාවූ, ආදීනවය දෑසින් දකිමින්ය, දැතින් ස්‌පර්ශ කරමින්ය, අම්මා ගැන නිස්‌සරණ සිතිවිලි සකස්‌ කොට ගත්තේ. අම්මාගේ ජීවිතය කමටහනක්‌ කරගත්තා වගේම, ඇයට මතක්‌කොට දුන්නේ, 'අම්මෙ, ඔය ඇස අනිත්‍යයයි' කියලා, 'අතීතයේ ඔයාට තිබුණ ලස්‌සන සුන්දර රූපය වැහැරිලා, රෝගී වෙලා, අසරණ වෙලා....' කියන කාරණයයි. අනිත්‍ය සංඥාවන් වැඩෙන දිශාවටයි සියල්ල කියා දුන්නේ. ඇය බොහොම සාවධානව අසාගෙන සිටියා. දරුවෙක්‌ වශයෙන්, මවක්‌ පෙවූ කිරිවල වටිනාකම ගෙවා හමාර කළා, අම්මා ජීවත්ව සිටියදීම. මවට තිබූ ණයකාරත්වයෙන් මිදෙන කොට, අයෝමය ශක්‌තියක්‌ ලෙසින් ජීවිතය තුළින් ධර්මය මෝදු වෙන්න පටන් ගත්තා. අම්මා කියන අර්ථයට මොන තරම් දෙයක්‌ කරන්න පුළුවන්ද? මේ ජීවිතයේදී ඔබේ සතුට ඔබේ අම්මා තාත්තා උදෙසා කැප කරන්න. ඔවුන් සතුටු වෙනවා දකිමින් ඔබ ජීවත් වෙන්න. මගේ අම්මා රෝගීභාවය නිසා කනස්‌සල්ලෙන් වේදනාවෙන් පසුවෙන වේලාවන්හිදී මම කළේ පොඩි දරුවකු ලෙසින් ඇගේ පියයුරු වලින් කිරි උරා බීමයි. ඔබට එකපාරටම මේ දෙය අදහගන්නට, සිතාගන්නට බැරිවේවි. ඒත් එහෙම කිරීමට හේතුව ඇයි කියා කියන්නම්. 

ඒ පියවුරුවල කිරි තිබුණේ නැහැ. ඒවා වැහැරිලා, වයෝවෘධ වෙලා, අසරණ වෙලා තිබුණා. ඒත් මට අපුලක්‌ දැනුණේ නැහැ. ඇය පුරා හත් වසරක්‌ අංශභාගය රෝගයෙන් පෙළෙමින් සිටියා. ඇයට වචන කතාකිරීමට, ඇවිදීමට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. ඒත් ඇය නිහඬව, ඇයගේ ජීවිතය අනිත්‍යභාවයට පත්කරවමින්, මට අනිත්‍යයේ අර්ථය, ඇගේ ජීවිතය තුළින්ම කියා දුන්නා. මෙවන් ගුණයක්‌ හඬනවා දකින්න, දැස්‌වල කඳුළු තිබෙනවා දකින්න මම කැමැති වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ ඇයව හිනස්‌සන්නයි. ඒකයි මට අවුරුදු 40 වයසේදී මම ඇයගේ පියයුරුවලින් කිරි උරාබොමින් ඇයව හිනැස්‌සුවේ. මම පොඩි දරුවකු බවට පත්වෙමින්, තවමත් සිටින්නේ එදා ඈ වටා කිරි සුවඳට දැවටුනු පුංචි පුතුම බව දැනෙන්නට සලස්‌වමින් ඇයව සතුටට පත්කළා. පුංචි වයසේදී මා ඇගෙන් ඈත් නොවී ඈ ළඟම රැඳුනේ යම්සේද, දැනුත් ඇගෙන් ඈත්ව නැති බව, ඇයව ඈත් කර නොමැති බව මම ඇයට හැඟෙන්න සැලැස්‌සුවේ එහෙමයි. අම්මා දරුවකුගේ හැසිරීමෙන් තුටුවන්නේ කොහොමද කියන ඉව මට තිබුණා. අම්මාව සතුටට පත්කළාවූ, ඇයට දෝමනස්‌ස සහගත සිතක්‌ නැගෙනු වෙනුවට ඇයව සිනහගැන්වූ කුසලයයි මා මේ මොහොතේ සතුටින් ගෙවන්නේ. 

අම්මාගේ කඳුළක මහා වටිනාකමක්‌ තිබෙනවා. අම්මාගෙන් බිව් කිරි උගුරක යම් සේ මනුෂ්‍යත්වයක්‌ කැටිවී තිබුණාද, අම්මාගේ කඳුළුත් මනුෂ්‍යත්වයෙන්මයි ඉපැදිලා තියෙන්නෙ. අම්මා කෙනෙක්‌ හඬනවා කියන්නේ, මනුෂ්‍යත්වය හඬනවා කියන කාරණයයි. ඒ නිසා අම්මාගේ දැස්‌වලට කඳුළක්‌ උනන්න මම ඉඩදුන්නේ නැහැ, කවදාවත් දන්නා තරමින්. මට මතකයි අම්මා මියයාමට අවුරුදු හතකට පෙරාතුව දිනයක, රාත්‍රී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය මහත්වරුන් ප්‍රකාශ කළා, 'රෝගියාගේ හෘද ස්‌පන්දනය ඉතා දුර්වලයි. තව මොහොතකින් අම්මා මියයයි. ඒ නිසා අනෙක්‌ දරුවන්ට අවශ්‍ය නම් බලලා යන්න කියන්න' කියලා. මට මතකයි, එදා මුළු රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ආලින්දයේ පුටුවක්‌ මත වාඩිවී මම සත්‍ය ක්‍රියාවක්‌ සිදුකළා. සංසාරයේ මෙතෙක්‌ පැමිණි ගමනේදී මා කළා වූ කුසල්වල බලයෙන්, මේ ජීවිතයේදී මා සිදුකර ගන්නා වූ කුසල්වල බලයෙන්, මා අනාගතයේදී කිරීමට බලාපොරොත්තු වෙන්නාවූ කුසල්වල බලයෙන්, අම්මාට ජීවිතය ලැබේවා කියලා. 'ඒ කුසල් කිසිවක්‌ මට එපා, ඒවා අම්මාටම අයිති වේවා' කියලා. වෙන කරන්න දෙයක්‌, කියන්න දෙයක්‌ තිබුණේ නැහැ. දැඩි සත්කාර ඒකකයේ මවට සවිකර තිබූ හෘද ස්‌පන්දන යන්ත්‍රය දැඩි අක්‍රමවත් ආකාරයකටයි සටහන් නිකුත් කළේ. මරණය පෙනි පෙනී අම්මාට ජීවිතය ලැබුණා. නමුත් අංශභාග රෝගියෙක්‌ හැටියට දරුවෙක්‌ හැටියට සත්‍ය ක්‍රියා කළ නිසා නොවේ ඇයට ජීවිතය ලැබුණේ. එය ඇයගේ සංස්‌කාර වල ස්‌වභාවයයි. එම දෙය එහෙම වෙන්න තිබුණා. මන්ද, මගේ කුසල් සංස්‌කාර වල බලවත් භාවය නිසා. එදා පටන් වසර හතක්‌ පමණ ඇය මට කමටහනක්‌ වුණා, වර්තමානයේ භික්‌ෂුව සිටින තැනට එන්න. මට හැම වේලාවකම දකින්න දක්‌ෂභාවය තිබුණා, අම්මා ලෙඩවුණේ මා උදෙසාමයි කියලා. මොකද, අම්මා නිරෝගිව ගතකල වසර හැට හතරේදීම. ඇගෙන් මම ඉගෙන ගත්කේ ලෝකය ගැන, ජීවිතය ගැන පමණයි. එහෙත් අම්මා රෝගීව සිටි හත් වසර තුළ මම ඇයගෙන් ඉගෙන ගත්තේ, ධර්මය ගැන. අනිත්‍ය ගැන. මේ කාරණය සටහන් කිරීම තුළින් භික්‌ෂුව පින්වතුන් හට කියන්න උත්සාහ කරන්නේ, ජීවිතය ඉදිරියට පැමිණෙන හොඳ නරක දෙකම සමසිතින් පිළිගෙන ඒවා නිසා පැමිණෙන අභියෝග ජයග්‍රහණය උදෙසාම යොමුකරන්න, දක්‌ෂ වෙන්න කියලයි.

අම්මා සතුටින් තියලා අම්මා සිනහවෙනකොට, ඒ සිනහව මම දැක්‌කේ මල් වැස්‌සක්‌ වාගේ. ඒ මල් වැස්‌සට මගේ සිතිවිලි තෙමෙද්දී, පුදුමාකාර මනුෂ්‍යත්වයකින් මගේ ජීවිතය පිරුණා. ඒ මනුෂ්‍යත්වය පුරවාගත් සිතින් ලෝකය දෙස බලනකොට, මම ලෝකයාව දැක්‌කේ දැඩි අසරණභාවයකින්. මේ අසරණභාවය මා තුළ දැඩි බියක්‌ ඇතිකළා. ඒ බිය තමයි ගිහි ජීවිතයෙන් මාව දුරස්‌කළේ. ලෝකයෙන් ඈත් කළේ. මම සරණක්‌ සොයා යැමට පෙළඹ වූයේ, මගේ ධර්ම ගමනට ආශිර්වාදයක්‌ වූයේ අම්මාගේ මුවින් නික්‌මුණු ඒ මල් වැස්‌සමයි, 

අම්මාට මා ආදරය කරුණාව දැක්‌ වූයේ අම්මා නමැති අර්ථය කෙරෙහි ඇති බැඳීමකින් උපාදානයකින් නොව, 'අම්මා' කියන අර්ථය කෙරෙහි ඇති මගේ තෘෂ්ණාව ක්‌ෂය කර ගැනීම පිණිසමයි, ලාභ සත්කාර වලින් තොරව ඒ ඉල්ලම ගරා ගත්තේ. අම්මාගේ කය දෙස අනිත්‍ය සංඥාවෙන් බැලුවා, එම කය වේගයෙන් ජරා, ව්‍යාධි, වලට පත්ව අවසානයක්‌ කරා ගියේ නැහැ. මන්ද, ඇයගේ අකුසල් සංස්‌කාර වල විපාක ගෙවීමට කාලය ලබාදීමට. අම්මා නමැති අර්ථයද දරුවා නමැති අර්ථයද අපිව ලෝකයට බැඳ තබන මහා කාම වස්‌තුවක්‌ බවට වන අවබෝධයත්, අවබෝධයෙන්ම ඉන් කලකිරෙන මාර්ගයත් අම්මා තුළ සැඟවී තිබිණ. අම්මා යන අර්ථය දරුවාටද, දරුවා යන අර්ථය අම්මාටද, දුකක්‌ම බව අම්මා තුළින්මයි දැක්‌කෙ. ඇය තුළින් මා දැක්‌කේ ජීවත් වීමට ඇති ආසාව නොව, ජීවිතයෙන් මිදෙන්න ඇති කැමැත්තයි. රෝගී අම්මා තුළ සැඟවි තිබී, උපස්‌ථානය නිසාම මට එය හමුවිය. එය මව්පිය උපස්‌ථානයේ අග්‍රම ඵලයයි. අම්මාගේ ඇතිවීමත් අම්මාගේ නැතිවීමත්, තෘෂ්ණාව නිසාම හටගෙන, තෘෂ්ණාව ක්‌ෂය කර ගැනීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින්ම දැකගත්තා. අම්මා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන ස්‌වභාවය අම්මා තුළිsන්ම දැකගත්තා. 

තම දෙමාපියන්ට බ්‍රහ්මයින්ට මෙන් උපස්‌ථාන කරන දරුවෝ සමාජයේ අප්‍රමාණව සිටින බව අප දැක තිබෙනවා. ඒ වාගේම දරුවන් දෙමාපියන්ට උපස්‌ථාන කිරීමෙන් හුදු පින පමනක්‌ බලාපොරොත්තු නොවී, ධර්මයේ ලෝකෝත්තර සුවයට අවශ්‍ය ප්‍රඥාව, දෙමාපියන්ගේ රෝගී වයෝවෘධ අසරණ ජීවිත විනිවිද දකිමින්, ඒ දැක්‌ම තුළින්ම සකස්‌ කොට ගන්න. 

සතර සතිපට්‌ඨාන ධර්මයේ බොහෝම හොඳින් වැඩෙන තෝතැන්නක්‌, වයෝවෘධ දෙමාපියන්ගේ ජීවිත. දෙමාපියන්ට අනිත්‍ය සංඥාව කියාදෙනවා වාගේම, පින්වත් ඔබත් ඒ අවබෝධය හෙමින් සීරුවේ ලබාගන්න. මේ පැමිණි භව ගමනේදී, පින්වතුන් අම්මලා වෙනුවෙන් හෙලූ කඳුළු, මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහනසේ දේශනා කරනවා. ඔබ අතීතයේ අම්මලා ලක්‌ෂ ගණනකට උපස්‌ථාන කොට ඇති, ඒත් ඒවා හුදු ගෙවීයන සංස්‌කාර පමණක්‌මයි. තමන් අනිත්‍ය වන සංස්‌කාර රැස්‌කරන ගමන්, සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව දකිමින්ම දුකෙන් මිදෙන මාර්ගයට අවතීර්ණ වෙන්න. 

ඒ වාගේමයි දෙමාපියනුත් දරුවන් සමග කටයුතු කිරීමේදී බොහෝම පරිස්‌සම් වෙන්න අවශ්‍යයයි. සෑම වේලාවේම අම්මා තාත්තා, සිතන්න ඕන, දෙමාපියන් නිසා දරුවන්ට අකුසල් සිද්ධ වෙනවාය කියන කාරණය. නිකං අකුසල් නොවේ. ආනන්තරිය පාපකර්මය සිදුවෙන්න පුළුවන්. වර්තමානයේ දරුවන් දෙමාපියන්ගෙන් දේපළ ලියා ගත්තාට පසුව ඒ අය දෙමාපියන්ට නොසැලකීම නිසා, දරුවන්ට එරෙහිව නීතිය ඉදිරියට යන දෙමාපියන් ඉන්නවා, දේවාල ගානේ පොල් ගසන දෙමාපියන් ඉන්නවා. දරුවන්ගේ තැනට දෙමාපියන් වැටෙන්න හොඳ නැහැ. දෙමාපියන්ට දරුවන්ගෙන් වැරැද්දක්‌ වෙනවා නම්, එය නිවැරදි කිරීමට බැරිනම්, එය ඔබගේ අකුසල් සංස්‌කාර විපාක දෙනවාය කියලා සිතන ගමන්ම, දරුවන්ට හොඳින් කරුණු දක්‌වන්න උත්සාහ ගන්න. ඔබේ ලෙයින් උපන්, ඔබේ රුධිරය කිරිකර පෙවූ ඔබේ දරුවා, තව තව දෙමාපියන් සමග ගැටෙන ස්‌වභාවයට යන්න දෙන්න එපා. පින්වත් දෙමාපියන් දරුවන් සමග ගැටෙනවා කියන්නේ, දරුවන් නිරයට යොමුකිරීමට පාර කපනවාය කියන කාරණයයි. දරුවා ඔබට වරදක්‌ කළත්, දරුවාගේ සැපය උදෙසා, ඔබ අහක බලාගෙන ඉන්න කියලා නිවැරදි කරන්නට බැරිනම්, දරුවාගෙන් ඈත්වී ජීවත් වෙන්න. 

ගුණවත් අම්මා තාත්තා කියන්නේ ගින්දරක්‌. ධර්මය නොදත් දරුවෝ මෙය ගින්දරක්‌ බව නොදැන, දෙමාපියන්ට එරෙහිව සිතන සෑම සිතිවිල්ලකින්මව ජීවිතය පුච්චා ගන්නවා. ඒවායේ බරපතළ බව, මතු භවයන්හිදී, විපාක පිණිස පැමිණේවි. මේ විෂම දුෂ්ශීල සමාජ වටපිටාව නිසා නොමඟ ගිය ඔබේ දරුවා, දෙමාපියන් සමග ගැටෙන දිශාවට යොමු නොකරගෙන, දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්න. සමහර දරුවො සිටිනවා, උපදිනකොටම අම්මා මිය යනවා. ඉපැදිලා අවුරුද්දකින් හෝ දෙකකින් අම්මා තාත්තා මිය යනවා. අම්මාගේ තාත්තාගේ උණුසුම ලබන්න පින නැහැ. අනාථ ළමා නිවසක ආදරය නොලබා ජීවත් වෙනවා. සමහර දරුවන් ඉපැදුන දිනයේම දෙමාපියන් මහමඟ දමායනවා. තිරිසන් සතුන් දිහා බැලුවොත්, ගොවිපොළ කුකුළු පැටවෙක්‌ බිත්තරයෙන් එළියට එන්නෙම මව් කිකිළිය නැතිව, කෘත්‍රිම විදුලි ආලෝකයේ උණුසුමෙන්. තිරිසන් ලෝකයේ ඉපැදුනත් අම්මා කෙනෙකුගේ සෙනෙහස ආදරය

රැකවරණය ලබන්න පින නැහැ. මේ පෙර ජීවිතවල දෙමාපියන්ට නොසලකපු දරුවෝ, දෙමාපියන්ගේ සිත රිදවපු දරුවෝ. සංස්‌කාරයන්ගේ සාධාරණත්වය මොන තරම් යුක්‌ති සහගතද? මේ කාමුක අමිහිරි ලෝක ස්‌වභාවය දැකලා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජීවිතය තුළින් වඩවා ගන්න. පංචශීලය ඔබේ දරුවා යෑයි සිතා ආරක්‌ෂා කරගන්න. ශීලය නමැති දරුවා ඔබ කවදාවත් දුකට පත්කරන්නේ නැහැ. ඔබට බැරි අවස්‌ථාවක උපස්‌ථාන නොකර ඉන්නේ නැහැ. ජීවත් වන විටත්, මැරෙන මොහොතෙත්, මරණින් පසුවත්, ඔබට යහපත පිණිසමයි හේතු වෙන්නෙ. ශීලය නමැති උතුම් දරුවා, පින්වත් ඔබට ලෝක ස්‌වභාවයේ රුදුරු බව දැකීමට අවශ්‍ය සමාධිමත් සිතක්‌, සකස්‌කොට දේවි. ඒ සමාධිමත් සිත තුළ සකස්‌වන්නාවූ විදර්ශනා දැක්‌ම, ඔබ තුළ අම්මා, තාත්තා, දුව, පුතා, කියන්නේ දුකටම අයිති දෙයක්‌ බව පසක්‌ කොට දේවි. මේවායේ නිස්‌සරණය තුළමයි සැනසිල්ල ලැබෙන්නෙ. අම්මා තාත්තා කියන සාධකය තුළ ලෝකෝත්තර සැපය ලැබීමට ඇති මාර්ගයත්, ශක්‍රයා වීමට ඇති මාර්ගයත්, අවීචි මහා නිරයට වැටීමටත් ඇති මාර්ගයත්, සැඟවී තිබෙනවා. පින්වත් දරුවන් දක්‌ෂ විය යුතුයි නුවනින් සුගතියට යන මාර්ගයම, දෙමාපියන් තුළින් පාදා ගැනීමට. දෙමාපියන් තුළින් දරුවන් සුගතියට යන මාර්ගය පාදාගතහොත්, එය දෙමාපියන්ටද සුගතියට යාමට මාර්ගයක්‌ වෙනවා. එසේ නොවී එක පාර්ශ්වයක්‌ ගැටෙන දිශාව ගියොත්, ඉල්ලීම් ඉල්ලන දිශාවට ගියොත්, එය දෙගොල්ලන්ටම විනාශයක්‌ වෙනවා. මේ අවදානමෙන් මිදෙන මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක්‌ පමණයි කියලා දෙන්නේ, ආදරය කරලාවත්, ද්වේෂ කරලාවත්, ඔබට මේ අවදානමෙන් මිදෙන්න බැහැ කියලා. ආදරයෙන්, ද්වේෂයෙන් මිදෙන මොහොතයි, නිස්‌සරණයේ මිදීම කියන්නෙ. ඵස්‌සය නිරෝධයෙනුයි විඳීම් නැතිවෙන්නේ. පින්වත් ඔබට වැටහේවි ගොඩනැගීමටත්, බිඳදැමීමටත් නොව මිදීමමයි සැනසිල්ලට හේතු වෙන්නෙ කියලා. නෙතු අගින් කඳුළක්‌ රූටා වැටෙද්දී ඒ කඳුළ හරි උණුසුම්. කඳුළ උණුසුම් කරන්නේ තෘෂ්ණාව විසින්. සිත වේගවත් වන තරමට, කඳුළු උණුසුම් වෙනවා. කෙනෙකුගේ ඇසෙන් කඳුළක්‌ රූරා වැටෙද්දී, ඔහු විඳින දුක හෝ සැපයක්‌ පිළිබඳව හෝඩුවාවක්‌ බාහිරට පෙනෙනවා. නමුත් දුකක්‌ හෝ සැපක්‌ වුවත්, කඳුළු නොහෙලා සිටීමට අම්මා කෙනෙකුට පුළුවන්. අම්මාට ඒ තරම් දරාගැනීමේ ශක්‌තියක්‌ තිබෙනවා. ඒ නිසා අම්මා තේරුම් ගැනීම අපහසුයි. ඒ තේරුම් ගැනීම අපහසු වෙන තරමටම, අපි අතින් අකුසල් සිදුවෙන්නට පුළුවන්. අම්මාගේ දෙනෙතින් ගලන්නේ කදුළු නොව ආදරයයි. ලෝකය ශක්‌තිමත් කරන, ලෝකයේ යථාර්ථය වසාදමන ආදරයයි. නිමාවක්‌ නොවන භව ගමනේ, මග වියදම අම්මාගේ ආදරයයි. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
Free HTML Blog 4u