මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි! -
ඉන්ද්‍රජිත් සුබසිංහ

Saturday, May 26, 2012

මේ උතුම්ම බුද්ධ පූජාවයි

පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක්‌ පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ. නිත්‍ය සංඥාවක්‌ ගන්නා මොහොතේම ඔබ භවයට, මාරයාගේ ලෝකයටමයි ඇදීයන්නේ. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදවන් උතුම් වෙසක්‌ දිනයක නිවාදැමූ භව ගමන, ආදර්ශයට ගනිමින් පිංවත් ඔබත් භව ගමන නිවා දැමීම සඳහා මූලික අඩිතාලම වන සක්‌කාය දිට්‌ටිය ජීවිතයෙන් පරාජය කර දැමීමට පෙර සටහන්වල දක්‌වා ඇති පරිදි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත්, ශීලයේ ආර්යකාන්තභාවයත්, නෙක්‌කම්මය උදෙසා දන්දීමත්, පිංවත් ඔබ ඇසුරු කරන ගෞරවනීය ස්‌වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමටත් අද වන් උතුම් වෙසක්‌ දිනයක පිංවත් ඔබ අධිෂ්ඨානය ඇතිකර ගන්න.

මෙතෙක්‌ ගෙවාගෙන පැමිණි භව ගමන පුරාවට පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පුජාකරන ලද උතුම්ම බුද්ධ පුජාව එය වේවි. මෙය පිළුණු වී ඉවත ලන පුජාවක්‌ නොව අවබෝධය ලබා තමාම නිවී යන පූජාවකි. භව ගමන අවුලවා ගන්නා පුජාවන්ගෙන් මිදී භව ගමන නිවාගන්නා සැබෑම සම්බුද්ධ පුජාව සම්බුදු පියාණන් පිරිනිවන් මංචකයේ සැතපෙන මොහොතේත් ශ්‍රාවක ඔබෙන් බලාපොරොත්තු වූ මහා කරුණා ගුණයෙන් යුත් අවසාන අවවාදය බවද පිංවත් ඔබ සිහිපත් කොට ගත යුතුය. ඒ අසිරිමත් වු ශාස්‌තෘන් වහන්සේගේ පරිනිර්වානයද මංගල්‍යයක්‌ බවට පත්වෙන්නේ උන්වහන්සේගේ මහා කරුණාවෙන් යුතුව කළ අවසාන අවවාදයේ අර්ථය පිංවත් ඔබ ජීවිතය තුළින් හැකි තරමින් අවබෝධ කොට ගැනීමෙන්මය. අවම වශයෙන් මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස මීළඟ භවයේ උපත සකස්‌ කොට ගැනීමට පිංවත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරෙන් කරන ලද ඉහත සටහන් ඔබට මාර්ගයක්‌ම, ආලෝකයක්‌ම වේවා. මේ මාර්ගයද, ආලෝකයද විවර වන්නේ දුකෙන් මිදීම උදෙසා ඔබ තුළ සකස්‌වෙන වීර්යයේ තරමට බව සිහිපත් කොට ගත යුතුය. ඔබ තුළ වීර්යය ඇත. එහෙත් එම වීර්යය ක්‍රියාත්මක වන්නේ වැරදි දිශාවටය. මාරයා නැමති පාපමිත්‍රයාගේ ඇසුර නිසා වීර්යය ඔබව දුක දෙසට මෙහෙයවයි. රූපය කෙරෙහි ජන්දරාගයෙන් ඇලී භවයේ දුක දෙසට ඔබව මෙහෙයවීමට අයෝමය ශක්‌තියක්‌ සේ ඔබ තුළින් සකස්‌වෙන වීර්යය ක්‍රියාකරයි.

ඔබ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය වැඩීමත් සමඟම, රූපයේ යථා ස්‌වභාවය ගැන අවබෝධය ලබන තරමටම, වීර්යය කල්‍යාණ මිත්‍රයෙක්‌ ලෙසින් ඔබ තුළින් නැගී සිටිනු ඇත. පිංවත් ඔබේ කැමැත්ත කුමක්‌ද, එම කැමැත්ත උදෙසා වීර්යය උපකාරීවනු ඇත. එම නිසා ඉහත සඳහන් කළ පංචඋපාදානස්‌කන්ධයේ දුක කෙරෙහි ඇතිකර ගන්නා දැනුමෙන්, ඉන් ඔබ්බට ගොස්‌ අනුමාන අවබෝධයෙන් , සතර අපායෙන් මිදීම පිණිස සක්‌කායදිට්‌ටිය නැතිකරගැනීම සඳහාම කැමැත්ත ඇතිකර ගන්න. මෙතැනදී වීර්යය සකස්‌වන්නේ පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියටමයි. නමුත් ඒ උපාදානය භව නිරෝධයට මාර්ගය විවර කරගැනීම උදෙසා ඇතිකර ගන්නා විදීමක්‌මයි. මෙසේ ඔබ ඇතිකර ගන්නා වීර්යය තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය නිසා අපතේ යාමට ඉඩ නොදෙන්න. ලෝකයාගෙන් ලකුණු, ප්‍රසාදය, අනුකම්පාව ලබාගැනීමට නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ශ්‍රාවකයෙක්‌, සුදුවත් දරන උපාසක උපාසිකාවක්‌ වීමට වීර්යය උපකාරී කොටගන්න. ඉන්ද්‍රියයන් හයට අරමුණු වන සියල්ල ගැනම සිතීම මොහොතක්‌ නතරකොට සිතුණු අරමුණු සියල්ලේම අනිත්‍ය බව දකින්න. මෙවැනි අවස්‌ථාවක ඔබ තුළ ඇතිවන ක්‍ෂණික සංහිඳියාව නැවත නැවත විඳීමට කැමති වෙන්න. විවේකීව, රූපයේ විඳීමට කැමති සිතට රූපයේ අනිත්‍ය බව මෙනෙහි කරවන්න.

පිංවත් ගිහි ජීවිතයක්‌ ගත කරන ඔබ රාත්‍රී නිදි පැදුරට, සයනයට ගියාට පස්‌සේ රූපයන් කෙරෙහි විඳීම සකස්‌ කොට දෙන අකුසල් විතර්කයන්ට අවස්‌ථාව නොදී දිනයේ උදෑසන සිට රාත්‍රිය දක්‌වා ඔබගත් ආහාර ගැන සිතන්න. උදේ පාන්දරම තේ එකක්‌ බිව්වා, නැවත උදේට ඉඳිආප්ප, පාන් ආහාරයට ගත්තා. උදේ දහයට නැවත තේ එකක්‌ බිව්වා. දහවල් බත් ව්‍යංජන සමඟ ආහාර ගත්තා. සවස තේ බිව්වා. නැවත රාත්‍රියට ආහාර ගත්තා. ඔබ ගත්තාවු ආහාරයන් සිහිපත් කරලා ඒවායේ පිරිසිදුභාවය, ගුණාත්මකභාවය ගැන සිහිපත් කරල දැන් ඔබ සිතන්න උදේ සිට ගත් ඉහත ආහාරවලට දැන් මොකද වෙලා තිබෙන්නෙ කියල. රාත්‍රි නිදි පැදුරට යනකොට දිනය පුරාවට ගත්ත ආහාරවලට මොකද වෙලා තිබෙන්නේ. ආමාශයේ වමනය බවට පත්වෙලා, අසුචි, මුත්‍රා බවට පත්වෙලා. සෙම්, සොටු, මේදය බවට පත්වෙලා. රුධිරය බවට පත්වෙලා. අවසානයේදී ආයුෂ, වර්ණය, සැපය බලය බවට පත්වෙලා. ඔබ දිනය පුරාවට වෙහෙස මහන්සි වී රැකියා, ව්‍යාපාර, ගොවිතැන් කටයුතු මේ ආහාරය උදෙසා නේද? පිංවත් ඔබ ශිල් පද බිඳගනිමින් මේ වෙහෙසෙන්නේ කුමක්‌ උදෙසාද? වමනය, අසුචි, මුත්‍රා, සෙම්, සොටු, රුධිරය කියන කසළ ගොඩක්‌ නිපදවීම උදෙසා නොවේද? මේ සියල්ලගේම අවසාන ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, කියන කාරණා සියල්ලමත් අනිත්‍ය භාවයට පත්වන තාවකාලික දේවල් නේද? මේවා අනිත්‍යභාවයට පත්වන නිසා දුකම නේද සකස්‌ වෙන්නේ. යමක්‌ අනිත්‍ය නම්, යමක්‌ දුක නම් එතැන මගේ යෑයි ආත්මභාවයෙන් ගැනීමට දෙයක්‌ නැහැ නේද? උදේ ඉඳන් කරන හපන්කම් රාත්‍රියට මෙනෙහි කරන්න, අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයටම.

ආහාරයත්, ආහාරයෙන් පෝෂණය වන කයත්, ඉහත කාරණා දෙකේම අතුරු ඵලයනුත් තම ජීවිතය තුළින්ම දකින්න. කටට, දිවට, රසම සොයන ඔබ මේ රාත්‍රියේa එම රසයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න. දකිමින්ම නින්දට යන්න. එය ඔබට සුවදායී නින්දක්‌ වේ. හෙට උදාවන දිනයද සිහිනුවණින් යුතුව ආහාරය ගැන දකින දවසක්‌ වේවි. නිදි පැදුරේදීම ඔබ මියගියහොත් එය ඔබට සුවදායී මරණයක්‌ම වේවි. ඉහත ආකාරයට ඔබ සිතන්න පුරුදු වුනොත්, කොතැනකදීවත් ඔබට එය නරකක්‌ නම් වෙන්නේ නැහැ. මොකද ඔබ හිතන්නේ, මෙනෙහි කරන්නේ ධර්මයම නිසා. රූපයේ අනිත්‍යභාවයම නිසා. ආහාරය ඉහත ආකාරයට මොනතරම් පිළිකුල්භාවයට, අනිත්‍යභාවයට පත්වන දෙයක්‌ වුනත් පිංවත් ඔබට පුළුවන් ආහාරයටත් යම් වටිනාකමක්‌ දෙන්න. එය කරන්න පුළුවන් ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරය පරිහරණය කළොත් පමණයි. ඒ කියන්නේ අනිත්‍යභාවයට පත්වන ආයුෂ, වර්ණය, සැපය, බලය උදෙසා නොවෙයි මේ ආහාරය ගන්නේ, මේවා කෙරෙහි ජන්ද රාගය ඇතිකර ගෙන නොවෙයි ආහාර ගන්නේ, මේ බ්‍රහ්මචාරී ජීවිතය පවත්වාගැනිමට ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය වැය වුනාවූ ශක්‌තිය යළි ලබාගැනීමට, අලූතින් ශක්‌තිය උපදවා ගැනීමට.... අරමුණුකරගෙනයි ආහාර ගන්නේ'කියන කාරණය ජීවිතයට එකතු කර ගැනීමෙන් නොවටිනා ආහාරයක්‌ වටිනා අරමුණක්‌ උදෙසා ප්‍රයෝජනයට ගැනීමට පිංවත් ඔබට පුළුවන්.

ඉහත ආකාරයට පිංවත් ඔබ ආහාරය ගැන සෑම රාත්‍රියකම මෙනෙහි කළොත් ආහාරය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන දිශාවටම ඔබ ගමන් කරාවි. තෘෂ්ණාවෙන් මිදෙන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා පමණක්‌ කය පවත්වා ගැනීමේ අරමුණ ඇතිවයි ආහාර ගන්නේ. තෘෂ්ණාව නිසා ආහාරයේ ඇතිවීමත්, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් ආහාරයේ නිරෝධයත්, තෘෂ්ණාව ප්‍රහීන කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් පිංවත් ඔබ අවබෝධකොට ගතහොත් ඔබ ඒ කාරණයෙන්ම සම්මා දිට්‌ටියට පත්වෙනවා කියන සහතිකය, සම්මාදිට්‌ටි සූත්‍රයේදී සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ පිංවත් ඔබට සහතිකයක්‌ දෙනවා. මෙම සහතිකය දෙස්‌ විදෙස්‌ සුපිරි සූපවේදීන්ගේ කටට කෙළ උනනා, මැරෙන ලෙඩවෙන වයසට යන කයක්‌ මොහොතක්‌ රසවත් කර වමනය, අසුචි, මුත්‍ර බවට පත්වෙන ආහාර වට්‌ටෝරු උදෙසා දෙන, දුකට හේතුවන සහතකියක්‌ නොව, දුකින් මිදීමේ සහතිකයයි. තළු මර මරා ඇස්‌ ලොකු කරමින් නළල රැළිගන්වමින්, තමා තුළ තිබෙන්නාවූ තෘෂ්ණාව යන කාරණය ආහාරයේ ඇති රසයක්‌ ලෙස මෝහ මූලිකව ගැනීම නිසා ඇතිකර ගන්නා ආහාර කෙරෙහි වන කෑදරභාවය ලබන ජීවිතයේදී ආමාශගත පණුවන්, නරක්‌ වූ ආහාර මත සෑදෙන පණුවන් ලෙස ආහරයේ බැසගෙනම ජීවත්වීමට අවශ්‍ය උපතක්‌ එවැනි අයට සාදා දීමට හැකිය.

පිංවත් ඔබ කය පෝෂණය කරනා ආහාරය, රූපයේ නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න. අතීත භවයන් හීදී සශ්‍රික දිව්‍යතලවල ඉපිද සිතූ සිතූ රසයන්ගෙන් රසවත් වූ දිව්‍ය ඕජාව රිසි සේ විඳ ඇති පිංවත් ඔබ, එම රසයන්ගෙන් නොසෑහුනු ඔබ මේ වටිනා මොහොතේ ධර්මයේ රසය යොදාගනිමින් කෙලෙස්‌ රස හීනවන දිශාවට ක්‍රියාත්මක වන්න. එවිට පිංවත් ඔබට ආහාරය වටිනා දෙයක්‌, රසවත් දෙයක්‌ වශයෙන් නොව හේතූන් නිසා සකස්‌ වූ දෙයක්‌ බව වැටහෙනු ඇත.

පිංවත් ඔබ මෙවැනි ධර්මයන් තුළින් ජීවිතය සක්‌කාය දට්‌ටිය සිඳෙන දිශාවටම අවබෝධය කරා යැමට උත්සුක වෙන්න. නිරතුරුවම තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය කියන මාර ධර්මයන්ගෙන් පරිස්‌සම් වෙන්න. තමා කෙරෙහි, 'මම කියන දැඩි සංඥාවක්‌ මතුවන සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න පුරුදුවෙන්න. පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමේදී ඔබ තුළින් ඔබට දැකිය හැකි උතුම් ලක්‍ෂණය නිහතමානීකම බව හොඳින් මතක තබාගන්න.     

       එම ලක්‍ෂණය ඔබ තුළින් විද්‍යමන නොවේ නම් පිංවත් ඔබ තණ්‌හා, මාන්න, දිට්‌ටි නැමැති මාර ධර්මයන්ගේ ග්‍රහණයට අසු වී ඇති බව ස්‌ථිරය. මහා කරුණා ගුණයෙන් ඔබව සොයා වැඩමකොට ඔබට නිවැරදිවීමට මාර්ගය කියාදීමට වර්තමානයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නොමැත. ඒ නිසා සතර අපායේ දුක ගැන දකිමින් ඔබ ඔබම නිවැරදි විය යුතුය. ශාසනයේ ප්‍රඥාව අතින් අගතැන්පත් සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා 'භාග්‍යවතුන් වහන්ස. මම හරියට රොඩී රැහැක රොඩී දරුවෙක්‌ වගේ' කියලා. මේ උතුම් නිහතමානීකම ධර්මයේ අස්‌වැන්නමයි.

අද වැනි උතුම් වෙසක්‌ දිනයක ලොව්තුරා බුදුරජාණන්වහන්සේව දකින්න, ධර්මාවබෝධයේ වටිනාකම හඳුනාගන්න. පිංවත් ඔබ අපි කෙරෙහි මහා කරුණාවෙන් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධකරගත් තැන් පටන් පරිනිර්වානය දක්‌වාම සත්වයාට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවම, ශීලයේ වටිනාකමම නෙක්‌කම්ම උදෙසා දන්දීමේ වටිනාකමම, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දැකීමේ වටිනාකමම ගිහි ජීවිත ගතකරන පිංවතුන්ලාට දේශනා කරමින් සතර අපායෙන් එතෙරවීමේ මාර්ගයම, භව ගමනේ සනාථ වන මර්ගයම කියාදුන් එවන් තවත් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේ නමක්‌ තවත් වසර ලක්‍ෂ ගණනකට පහළ නොවන බව, ලෝකයාට මුණ නොගැසෙන බව අපි සිහිනුවණින් දැනගත යුතුය. එහෙයින් පිංවත් ඔබ ඉදිරියේ මේ මොහොතේ ඇති අභියෝගය ජය නොගතහොත් තෙරුවන් නොමැති ලොවක ඉබාගාතේ යන මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවද දුක්‌ විඳිනු ඇත. ශීලයෙන් මනුෂ්‍ය, ගිලිහුනු ලොවක, හිරි ඔතප් දෙක නැතිවුන ලොවක මනුෂ්‍යයාත්, තිරිසන් සතාත් දෙදෙනකු නොව එකම කුළයක්‌ වනු ඇත. මේ අවදානමෙන් පිංවත් ඔබට මිදිය හැකිවන්නේ මේ ජීවිතය තුළදීම සතර අපායෙන් මිදීම සඳහා ඔබ දක්‍ෂ වුවහොත් පමණක්‌ම වනු ඇත. ගිහි පිංවතුන් උදෙසා එම ගිහි බැඳීම් සමඟ කටයුතු කරමින් සතර අපායෙන් මිදීමට අවශ්‍ය කරුණු කාරණා භික්‍ෂුවට ලැබුණු විවේක කාලයන්හීදී මෙසේ සටහන් තබන ලදි.

සතර අපායෙන් මිදීම යනු සෝවාන් ඵලයයි. ඉහත සටහන් වල අඩුපාඩු තිබිය හැකිය. එවැනි අඩුපාඩු තිබුණහොත් ඒවා ගැන විතර්කයන් සකස්‌ කර ගන්නේ නැතිව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර ධර්මම පරිශීලනය කර අඩුපාඩු සකස්‌කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේමයි සියල්ලම දන්නේ. අපි අඩුපාඩු සහිතමයි. මේ ආකාරයෙන් සිතන්න පුරුදු වුණොත් පමණක්‌මයි පිංවත් ඔබ තව තවත් බුදුරජාණන් වහන්සේගේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ සොයන්නේ. එසේ නොවී මම සියලුම දන්නවායෑයි කියන මනෝභාවය ඔබව බුදුරජාණන් වහන්සේගෙන් තව තවත් දුරස්‌කරන දිශාවටමයි මෙහෙය වන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන්, ධර්මරත්නයෙන්, සංඝරත්නයෙන් දුරස්‌ වෙනවාය කියන්නේ මාරයාට ළංවෙනවාය කියන කාරණයයි. මෙම අභියෝගය පරාජය කළ හැක්‌කේ ඔබ තුළ ඇතිවන තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය කියන කාරණා මාර ධර්මයන් බව නිවැරදිව හැඳිනගෙන එම කසළ ධර්මයන් ඔබ තුළින් පරාජය කර දැමීමේ මාර්ගයට පැමිණීමෙන්ය. මේ මාර්ගයේදී පිංවත් ඔබ මුලින්ම මමත්වයේ දැඩිභාවය ඒ කියන්නේ සක්‌කාය දිට්‌ටිය සිඳදමා සතර අපායෙන් නිදහස්‌ වනු ඇත. මේ නිදහස සැබෑම භවගමනේ නිදහස්‌වීම නොවන අතර ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අවරට යන මේ මොහොතේ සෑබෑම නිදහස්‌වීම උදෙසා ඔබ ලබන නිදහස වනු ඇත. මින් ඉදිරියට පිංවත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ම ලෙස දිව්‍යතල වල සශ්‍රීsක සැපයන් විඳ මතු දිනක සුවසේ ධර්මයේ ඉතිරි අවබෝධයන් ලබා, දිව්‍යතලයකදීම - බ්‍රහ්මතලයකදීම නිවී යනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
 

Monday, May 21, 2012

ගීයක්‌ කවියක්‌ මුමුණනු වෙනුවට...

උතුම් වූ උපසම්පදා ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කරගන්නා ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා ජීවත්ව සිටින තාක්‌කල් ශාසනය ජීවමානව පවතී. ශාසනය ජීවමානව පවතින තුරාවට ධර්මයේ සංදිඨ§ක වූද අකාලික වූද ගුණයන් පිංවත් ඔබට ඔබගේම ජීවිතය තුළින් අත්දකින්න උතුම් අවස්‌ථාවක්‌ තිබෙනවා. පිංවත් ඔබ උත්සහගත යුත්තේ එම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ඔබේ ජීවිතයට ලබා ගැනීමටයි. පිංවත් ඔබ නිවසේදීද, කාර්යාලයේදීද විවේකීව සිටින සෑම මොහොතකම සතියෙන් සිහියෙන් යුතුව ඔබගේ ඇස දෙස බලන්න. ඇසට පෙනෙන රූප දෙස බලන්න. ඇසත් රූපත් අනිත්‍යයි නේද? ඇසෙත්, ඇසින් දකින රූපවලත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. ඇසටත් රූපයටත් තිබෙන ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න. පිංවත් ඔබ කන දෙස බලන්න. කනට ඇසෙන ශබ්දයන් හොඳින් අසන්න. මේ සෑම ශබ්දයක්‌ම හටගන්නේ රූපයකින් නේද? කනත් ශබ්දයත් අනිත්‍යයි නේද? කනත් කනට ඇසෙන ශබ්දයෙත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. කනටත්, ශබ්දයටත් තිබෙන ජන්දරාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන හොඳින් මෙනෙහි කරන්න. මේ සෑම ගඳ සුවඳක්‌ම ඇතිවන්නේ රූපයකින් නේද? මේ සෑම ගඳ සුවඳක්‌ම අනිත්‍යයි නේද? නාසයේත් ගඳසුවඳේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. නාසයටත් ගඳසුවඳටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පින්වත් ඔබ ඔබේ දිව දෙස බලන්න. දිවට දැනෙන රසයන් ගැන දකින්න. මේ සෑම රසයක්‌ම ඇතිවන්නේ රූපයක්‌ නිසාම නේද? මේ සෑම රසයක්‌ම අනිත්‍යයි නේද? දිවත්, දිවට දැනෙන රසයේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. දිවටත් රසයටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබාගන්න.

පිංවත් ඔබ මනස ගැන දකින්න. මනසේ ඇති වන සිතිවිලි දෙස බලන්න. මේ සෑම සිතිවිල්ලක්‌ම ඇතිවුනේ රූපයක්‌ නිසා නේද? මේ ඇතිවුණා වූ සෑම සිතිවිල්ලක්‌ම අනිත්‍යයි නේද? මනසත් මනසේ ඇතිවන සිතිවිලිත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. මනසටත්, ධර්ම රූපයන්ටත් ඇති ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

පිංවත් ඔබ කය ගැන දකින්න. කයට දැනෙන පහස දෙස බලන්න. කයට දැනුනා වූ සෑම පහසක්‌ම ඇති වුණේ රූපයක්‌ නිසා නේද? මේ ඇති වුණා වූ සෑම පහසක්‌ම අනිත්‍යයි නේද? කයත්, කයට දැනෙන පහසත් නිත්‍ය භාවයෙන් නැහැ නේද? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. කයටත් කයට දැනෙන පහසටත් ඇති ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

මුළින්ම ඔබගේ ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන අනිත්‍යය දකිනවා වගේම ක්‍රමයෙන් ඔබ කැමති, අකමැති ස්‌ත්‍රී පුරුෂ රූපයන්ගේ ද ඉහත ආකාරයෙන්ම අනිත්‍ය ස්‌වභාවය දකින්න. පිංවත් ඔබගේ විවේක කාලය දුකට හේතුවන, ඔබ කැමැති අකමැති රූපයන් කෙරෙහි තෘෂ්ණාව වැඩෙන දිශාවට නොව, පිංවත් ඔබගේ විවේකය නිවීමේ මඟට ශක්‌තියක්‌ වන තෘෂ්ණාව සිඳෙන දිශාවට යොමුකරන්න. පිංවත් ඔබ මුළින්ම රූපයන් කෙරෙහි ඇලීමේ ගැටීමේ ස්‌වභාවයෙන් මිදෙමින් උපේක්‍ෂාවෙන් රූපය දැකීමට පුහුණුවන්න. දැන්ම උපේක්‍ෂාව ද අතහැරීමට ඉක්‌මන් නොවන්න. කලබලකාරී බවද, වේගවත් බවද එම සිතිවිලි වල අනිත්‍යභාවය දකිමින් උපේක්‍ෂාව තුළට ගන්න. යෝගාවචරයෙක්‌ වීමට පෙර ඔබ මුළින්ම යහපත්, සුන්දර පෞරුෂයකින් යුත් මනුෂ්‍යයෙක්‌ වන්න. යුතුකම් දන්න, යුතුකම් ඉටුකරන ගිහි පිංවතෙක්‌ වන්න. පිංවත් ඔබේ ජීවිතය කුසල් ධර්මයන්ගෙන් පුරවාගන්න. මේ කුසල්, භව නිරෝධය සඳහාම යෑයි ෙච්තනාවන් සකස්‌කර ගන්න. පිංවත් ඔබ ධර්මය අවබෝධකර ගනිමින් පෙරට යන්නේ පිංවත් ඔබ තුළම සකස්‌වන්නා වූ අධර්මය 'කෙලෙස්‌' පරාජය කරමින් බව හොඳින් මතකයේ තබාගන්න. ඒ නිසා පිංවත් ඔබ ඔබට අවංකවෙන්න. ඔබ ඔබට වංක වී ඔබ කොතෙක්‌ ලෝකයට අවංක වීමට ගියත් අර්ථයක්‌ නොමැති බව වටහාගන්න. මෝහයේ කෙටි සැපයත්, අවබෝධයේ නිදහසත් අතර ඇති අයෝමය වෙනස සතියෙන් සිහියෙන් යුතුව නිරතුරුවම මෙනෙහි කිරීමට පුරුදුවෙන්න. වසර 2600 සම්මාසම්බුද්ධ ජයන්තිය උත්සවශ්‍රීයෙන් අද වෙසක්‌ දිනයේ සමරණ ඔබ, වසර දෙදහස්‌ හයසියවැනි සම්මා සම්බුද්ධ ජයන්තියක්‌ අනාගතයේදී නැවත සැමරන වාරයක්‌ පැමිණයදාට......... එදාට පිංවත් ඔබ කුමන ලෝකයක, කුමන සත්වයෙක්‌ ලෙස උපත ලබා සිටිය හැකිදැයි මෙනෙහි කරන්න. පෙර බුද්ධශාසනයේ 2600 වැනි සම්මා සම්බුද්ධ ජයන්තිය මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ උදවිය වර්තමානයේ ලක්‍ෂ කීයක්‌ සතර අපායේ දුක්‌විඳිනවා ඇතිද? ඒ නිසා පිංවත් ඔබ ධර්මය අර්ථය තුළට එන්න. අදවන් උතුම් වෙසක්‌ දිනයේ විදුලි බුබුලු, චිත්‍ර බකට්‌, වෙසක්‌ කූඩු බලනවා වගේම දුකට හේතුවන තෘෂ්ණාව දෙසත් බලන්න. එයමයි දුකේ අර්ථය. දුකින් මිදීමේ අර්ථය ධර්මයයි. ධර්මය යනු අනිත්‍යයි. මුළින් පිංවත් ඔබ රූපයේ අනිත්‍යභාවය ගැන බැලුවා වගේම රූපය ඇසුරින් සකස්‌වෙන්නා වූ පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දෙසත් බැලිය යුතුයි. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්‌වන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්‌ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරළ ආකාරයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න.

ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි

ඇස නිසා හටගත්තා වූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි

ඇස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි

ඇස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි

ඇස නිසා හටගත්තාවූ යම් ෙච්තනාවක්‌ වේද එය අනිත්‍යයි

ඇස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි

ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි

ඇසත් රූපයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි

නාම රූප ධර්මයෝ අනිත්‍යයි


කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි

කන නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි

කන නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි

කන නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි

කන නිසා හටගත්තාවූ යම් ෙච්තනාවක්‌ වේද එය අනිත්‍යයි

කන නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි

කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි

කනත් ශබ්දයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි

නාම රූප ධර්මයෝ අනිත්‍යයි



නාසය අනිත්‍යයි, ගඳසුවඳ අනිත්‍යයි

නාසය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි

නාසය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි

නාසය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි

නාසය නිසා හටගත්තාවූ යම් ෙච්තනාවක්‌ වේද එය අනිත්‍යයි

නාසය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි

නාසය අනිත්‍යයි, ගඳ සුවද අනිත්‍යයි

නාසයත් ගඳසුවඳත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි

නාම රූප ධර්මයෝ අනිත්‍යයි



දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි

දිව නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි

දිව නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි

දිව නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි

දිව නිසා හටගත්තාවූ යම් ෙච්තනාවක්‌ වේද එය අනිත්‍යයි

දිව නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි

දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි

දිවත්, රසයත්, විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි

නාම රූප ධර්මයෝ අනිත්‍යයි


මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි

මනස නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි

මනස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි

මනස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි

මනස නිසා හටගත්තාවූ යම් ෙච්තනාවක්‌ වේද එය අනිත්‍යයි

මනස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි

මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි

මනසත් සිතිවිලිත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි

නාම රූප ධර්මයෝ අනිත්‍යයි


කය අනිත්‍යයි, පහස අනිත්‍යයි

කය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි

කය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි

කය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි

කය නිසා හටගත්තාවූ යම් ෙච්තනාවක්‌ වේද එය අනිත්‍යයි

කය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි

කය අනිත්‍යයි, පහස අනිත්‍යයි

කයත් පහසත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි

නාම රූප ධර්මයෝ අනිත්‍යයි

පංච උපාදානස්‌කන්ධයමයි ලෝකය කියන්නේ. අතීතයේ, වර්තමානයේ දැක්‌කාවූ රූපයන් ගලපමින් එම රූපයන් ඇසුරින් සකස්‌වුන නිරතුරුවම අනිත්‍යභාවයට පත්වුන ඉහත ධර්මතාවයන් මනසින් දකින්න, මෙනෙහි කරන්න, සඡ්Cධායනා කරන්න, මුමුණන්න.

මේ කුමක්‌ කළත් පිංවත් ඔබ ධර්මරත්නය කෙරෙහි ගෞරවයෙන් නම් එය කරන්නේ එය ඔබේ මෙලොව පරලොව යහපත පිණිසම හේතුවේවි. පිංවත් ඔබට භාවනාවක්‌ ලෙස මෙම ධර්මය වැඩීමට අවකාශය අඩුනම් ඔබ ගීයක්‌, කවියක්‌, මුමුණනවා වෙනුවට අර්ථය දකිමින් ගෞරවයෙන් ඉහත ධර්මය හඬනගා කීවද එය ඔබට යහපතක්‌ පිණිසමයි හේතුවෙන්නේ. මේ ලෝක ධාතුව තුළ ඇති පරම සත්‍යයයි, ඔබ හඬනගා කියන්නේ කියලා දෙවියන් ඔබට සාධුකාර දේවී.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Tuesday, May 15, 2012

නොවටිනා "වටිනාකමට" නොරැවටෙන්න.....

ධර්ම සාකච්ජාවක්‌ අතරතුර එක තරුණ මවක්‌ භික්‌ෂුවගෙන් විමසුවා 'හමුදුරුවනේ, මට කුඩා දරුවෙක්‌ සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත් කරමින් මම කොහොමද මේ ධර්මය තුළ ජීවත්වෙන්නෙ කියලා මේ ප්‍රශ්නය පිංවත් ඔබටත් අදාළ ප්‍රශ්නයක්‌ බව ඔබටත් වැටහෙනවා ඇති. භික්‍ෂුව ඇයට දුන්න පිළිතුර තමයි 'දැන් ඔබ බැඳීම්වලට බැඳිලයි සිටින්නේ. ඒ නිසා බැඳුණු බැඳීම් ගැන දුක්‌ වෙන්න එපා. බැඳුණු බැඳීම් උදෙසා ඔබෙන් වියයුතු යුතුකම් කොටසක්‌ තිබෙනවා නම් ඒවා නොපිරිහෙලා ඉටු කරන්න. කරන්නා වූ හැම යුතුකමක්‌ම කුසලයක්‌ සේ දකින්න. බැඳුනා වූ හැම බැඳීමක්‌ කෙරෙහිම ඇලීමෙන් ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන්ම බලන්න. බැඳුනාවූ බැඳීම් වලින් ඔබ ලබන අත්දැකීම් අලුත් බැඳීම් ඇතිකර නොගැනීමට කමටහන් කොට ගන්න. කිරි දරුවෙක්‌ ඇති මවකට වුවද තමා දක්‌ෂනම් නිවසේ සිටිමින්ම ගිහි පිංවතුන්ලාට සමාදන් විය හැකි උපරිම ශීලයක්‌ සමාදන් විය හැකි හෙයින් ශීලයට උපරිම වටිනාකමක්‌ දෙමින් කටයුතු කරන්න. තණ්‌හා, මාන්න, දිට්‌ඨින්ගෙන් තොරව ඉහත කාරණා ඉටුකරන ගමන් ඔබට තාවකාලික සැපයක්‌ යෑයි දැණෙනා එකම සිතුවිල්ලක්‌ හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍යය දකිමින් අත්හැරීමට දිනපතා පුරුදුවන්න. මේ කරුණු කාරණා දිනපතා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතය තුළින් වැඩෙන විට තවත් නකුල මාතාවක්‌, විශාකාවක්‌ වීමට අවශ්‍ය ධර්මතාවයනුයි ඔබ තුළින් ක්‍රියාත්මක වෙන්නේ.

අද වැනි වෙසක්‌ පුරපසොලොස්‌වක දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන දුක ඇතිවෙන හේතුව තමයි තෘෂ්ණාව. කුමක්‌ කෙරෙහිද තෘෂ්ණාව සකස්‌ වෙන්නෙ රූපය කෙරෙහි. රූපය කෙරෙහි ඇති කරගන්නා තෘෂ්ණාව නිසාමයි සත්වයා මේසා භවගමනේ දුකට පත්වෙන්නේ. තෘෂ්ණාවෙන් මිදීමේ මාර්ගයයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඉහත එක්‌දරු මවට දෙන ලද පිළිතුර තුළ එම චර්යාවන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කළොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ඒ තුළින් ආවරණය වෙනවා. ගිහි ජීවිතයකට මොනතරම් වටිනාකමක්‌ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලබාදී තිබෙන්නේ.

රූපයන් කෙරෙහි චන්දරාගය ඔබ තුළ වැඩිවෙනකොට බිරිඳ, සැමියා, දරුවන්, සම්පත් කෙරෙහි දැඩි තෘෂ්ණාවක්‌ සකස්‌වෙනකොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පහත ධර්ම කාරණය සිහියට ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වඩින පාර හරහා දිවයන කඩිරැලක්‌ පෙන්වලා ආනන්ද ස්‌වාමින් වහන්සේට දේශනා කරනවා 'ආනන්ද මේ කඩිරැලේ සිටින සෑම කඩියෙක්‌ම අතීතයේ සක්‌විතිරජ වෙලා ඉඳල තිබෙනවා' කියලා. තිරිසන් ලෝකයේ කඩියාත් සක්‌විතිරජ වෙලා ඉඳලා තිබෙනවා නම් පිංවත් ඔබ සංසාරයේ කී වතාවක්‌ නම් සක්‌විති රජ වෙලා ඉන්න ඇතිද? ඒ සක්‌විති රාජශ්‍රිය අත්විඳින්න ඇතිද? සක්‌විති රජ කෙනෙකුට තම පින් බලයෙන්ම පහලවෙන පංචකල්‍යාණයෙන් යුතු ස්‌ත්‍රී රත්නය, අහසින් ගමන් කරන ඇත් රත්නය, අහසින් ගමන් කරන අජානීය අශ්ව රත්නය, මහපොළවේ ඇති ඕනෑම සම්පතක්‌ සෘද්ධියකින් දැකිය හැකි පුරෝහිත රත්නය. අන්තඃපුර බිසෝවරුන් හරහා ලැබෙන දහසක්‌ පුතුන්.....මේසා අසිරිමත් වූ සම්පත් පිංවත් ඔබ සංසාරයේදී ලබල තිබෙනවා. මෙලොව ජීවත්වන සෑම කාන්තාවක්‌ම අතීත සංසාරයේ සක්‌විති රජවරුන්ගේ පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නය ලෙස ඒ අසිරිය විඳලා තිබෙනවා. සක්‌විති රජවරුන්ට දාව අසිරිමත් පුතුන් ලැබූ මව්වරුන් වෙලා ඉඳලා තිබෙනවා. සෘද්ධිමත් ඇතුන්, අසුන් පිට ගමන් බිමන් ගිහින් තිබෙනවා. අතීතයේ පිංවත් ඔබ ලැබූ මේ අසිරිමත් සම්පත්, රාජශ්‍රිය සමග ගලපා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇත්තේ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද. අතීතයේ සක්‌විති රජකෙනෙක්‌ හැටියට පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නයක්‌ බිරිඳ කරගෙන සිටි ඔබ ඒ අසිරිමත් ස්‌ත්‍රීරත්නයත් වර්තමානයේ ඔබේ බිරිඳත් සංසන්දනය කොට බලන්න. අතීතයේ සක්‌විති රජවරුන්ගේ අසිරිමත් ස්‌ත්‍රීරත්නයක්‌ වූ පිංවත් ඔබ වර්තමානයේ ඔබ බැඳී ජීවත්වන ස්‌වාමිපුරුෂයා දෙස බලන්න. මොන නොවටිනා දෙයක්‌ කෙරෙහිද ඔබ මේ බැඳී සිටින්නේ. අතීත ජීවිතයේදී සෘද්ධිමත් ඇතුන් පිටින්, සෘද්ධිමත් අජානීය අසුන් පිටින් මහේශාක්‍ය ලීලාවෙන් අහසින් ගමන් ගිය ඔබ මේ ජීවිතයේදී යානාවක්‌ කොට ගත් ඔය යකඩ ගොඩ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද? අතීතයේ සක්‌විතිරජවරුන් එම රාජ්‍ය ඇමතිවරුන් ලෙස සිටි පිංවත් ඔබ මේ ජීවිතයේදී බලය යෑයි අත්විඳින්නේ බියම නේද? බිය සකස්‌ වෙන තැන සකස්‌වෙන්නේ අකුසලම නේද? අතීතයේ ඔබ ලැබූ රාජ්‍යයන් යටත් කරගැනීමට සමත් අසිරිමත් යෝධ බල, යෝධ ශක්‌තිය ඇති පුතුන් හා සසඳා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලැබූ දරුවන් කවුරුන්ද? අතීතයේ පිංවත් ඔබ ලැබූ සම්පත් සමග සස¹ බැලීමේදී මොන 'නොවටිනා වටිනාකමක්‌ද' මේ ජීවිතයේ ඔබ ලබා තිබෙන්නේ. පිංවත් ඔබ කැමති වුණත් අකමැති වුණත් මෙය තමයි ඔබේ ජීවිතයේ යථාර්තය. ඒ නිසා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ඇත්ත ගැන සිතන්න. එවිට ඔබට දැනේවි මේ ලෝකයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌ හැටියට විඳින්න යම් සැපයක්‌ සම්පතක්‌ තිබෙනවානම් ඒ සෑම සම්පතක්‌ම අතීතයේ ඔබ අත්විඳලා අත්දැකලා තිබෙනවාය කියලා. සියලු සැපයන් අත්වින්දත් පිංවත් ඔබට බැරිවුණා ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. සක්‌විති රජවරයා තිරිසන් ලෝකයේ කඩියෙක්‌ බවට පත්වුණෙත්, ඔබ නැවත සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ බවට පත්වුණෙත් මේ අසීමිත තෘෂ්ණාව නිසාමයි. පිංවත් ඔබ මේ තාක්‌ සංසාරයේ ලෝකය තුළ වින්දාවූ අසිරිය හොඳටම ප්‍රමාණවත්. දැන් ලෝකයෙන් මිදෙන මාවතට එන්න බලන්න. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න. පිංවත් ඔබ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි ප්‍රහීන කළ යුත්තේ මේ දුකෙන් මිදීමට. එම නිසා පිංවත් ඔබ ස්‌ත්‍රි, පුරුෂ භේදයකින් තොරව අතීතයේ ඔබ අත්වින්දා වූ අසිරිමත් සැපයන්, මහේශාක්‍ය ජීවිත ගැන සිහිපත් කොට මේ ජීවිතයේදී ඔබ බැඳී ඇති රූපයන් සමග අතීත රූපයන් සංසන්දනයකොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇති අවම නොවටිනා සැපයන් සහ බැඳී ඇති රූප කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න. අවබෝධයෙන් කලකිරීම කියන්නේ ගැටීම නම් නොවේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ගැටීම සකස්‌වෙන තැනදීම ඇලීමත් තිබෙනවා. මොකද තමන් ගැටෙන්නේ යම් දෘෂ්ඨියක්‌ කෙරෙහි ඇලීම නිසාමයි. ගිහි ජීවිතය තුළ අවබෝධයෙන් කලකිරෙන තැනැත්තා තමා බැඳී ඇති බැඳීම් කෙරෙහි අවබෝධයෙන් කලකිරෙමින් එම බැඳීම් උදෙසා තමාගෙන් විය යුතු යුතුකම් ඉටුකරමින්, උපේක්‌ෂාව තුළයි ජීවත්වෙන්නේ. මේ උපේක්‌ෂාව තුළදී පිංවත් ඔබ තුළින් මෙතෙක්‌ නොකළාවූ කුසල් සිදුවෙනවා. ඔබ අවබෝධයෙන් කලකිරීමේ නාමයෙන් ගැටීම් සකස්‌කොට ගතහොත් නොකළාවූ අකුසල් ජීවිතය තුළින් සිදුවේවි. පෙනෙනවානේද බරපතළ වෙනස්‌කම් දෙක. නොදැනුවත්භාවය නිසාම සමාජය තුළ අප්‍රමාණ පිරිස්‌ අවබෝධයෙන් කලකිරීම, ගැටීමේ ස්‌වභාවයක්‌ ලෙසට පත්කොටගෙන අකුසල් සිදුකරගන්නවා. මෙවැනි අනුවනකම් නිසා පහසුවෙන් ලැබිය හැකි ධර්මයේ සැබෑ පිළිසරණ අප විසින්ම ඈත් කොට ගන්නවා. මේ අවදානමෙන් පිංවත් ඔබට මිදීමට අවකාශ ලැබෙන්නේ තණ්‌හා, මාන්න, දිට්‌ඨීන්ගෙන් තොරව ධර්මය ජීවිතයට ගලපා ගැනීමෙන්මයි.

කුමක්‌ නිසා පිංවත් ඔබ තණ්‌හාව ඇතිකරගන්නද? මාන්නය ඇතිකරගන්ත ද? දෘෂ්ඨින් ඇතිකරගන්නනද? මේ ඇස නිසා මාන්නය ඇතිකරගන්නද? මොකක්‌ද මේ ඇස කියල කියන්නේ. ලෙඩවෙන දෙයක්‌, නරක්‌වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, සුද එන, කබ, කඳුළු, සැරව එන දෙයක්‌. අන්ධ වන දෙයක්‌. ඔය ඇස මනසින් ගලවල අතට ගන්නකො. මස්‌ ගුලියක්‌ විතරමයි. නහරවල් එල්ලුන, රුධිරය තැවරුණ, දුගඳ, කුණුවෙන ඇසක්‌ මේක. මෙතැන තිබෙනවාද තණ්‌හාවක්‌ ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද මාන්නය ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද දෘෂ්ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පිංවත් ඔබගේ ඇස ගැන පමණක්‌ නොවේ අනෙක්‌ සෑම ලොකු, කුඩා, ලස්‌සන, අවලස්‌සන මනුෂ්‍යයින්ටත් මෙය ගලපා දකින්න. සතර අපායේ ජීවත්වන සත්වයාගේ ඇසත්, දෙවියාගේ, බ්‍රහ්මයාගේ ඇසත් ඉහත ස්‌වභාවයේම බව දකින්න. ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න.

දැන් පිංවත් ඔබ කන දෙස බලන්න. මොකක්‌ද මේ කන කියල කියන්නේ ලෙඩවෙන දෙයක්‌, නරක්‌ වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, කලාදුරු බැඳෙනවා, සැරව පිරෙනවා, මස්‌දළු එනව, බිහිරි භාවයට පත්වෙනවා. ඔය කන ගලවල අතට ගන්නකො. මස්‌ ගොබයක්‌ විතරයි. රුධිරය, නහරවැල් තැවරුණ කුණුවෙන දෙයක්‌, කන තුළ තිබෙනවාද තණ්‌හාවක්‌, මාන්නයක්‌, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පුංචි කාලේ සුසිනිදු සුරතල්භාවයෙන් පැවති කන්පෙති වයෝවෘධ වෙනකොට ගොරෝසු කුල්ලක්‌ බවට පත්වෙලා. ජරා, ව්‍යාධි, මරණ කියන හිමිකරු මේවා අයිති කරගෙන.

පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසය ලෙඩවෙන දෙයක්‌, වයසට යන, මැරෙන දෙයක්‌, නාස්‌ කුහර දෙක තුළ රෝම කූප පිරිල, සොටු මස්‌ දළු, සෙම, ලේ පීනස, දිය පීනස නාසයේ කොටස්‌ කරුවන්. සෙම්ප්‍රතික්‌ෂාව හැදෙන කොට, පීනස හැදෙන කොට නාසය ප්‍රතික්‍රියා දක්‌වන්නෙ මොන තරම් කුරිරු ආකාරයටද? ඔය නාසය මනසින් ගලවල අතට ගන්නකෝ. සිදුරු දෙකක්‌ සහිත මස්‌ ගොබයක්‌ පමණමයි. මස අයිති කුණුවීමටයි. නිල මැස්‌සන්ටයි. දැන් ඔබ හිතන්න නාසය නිසා තන්හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌ තිබෙනවාද? නැහැ.

පිංවත් ඔබ දිව දෙස බලන්න. දිව ලෙඩවෙන, වයසට යන, මැරෙන දෙයක්‌. දිවේ මැලියම් බැඳෙනවා. කුණුකෙල බැඳෙනවා. ගෙඩි, බිබිලි එනවා, එක උදයක කට නොමැද්දොත් දිවේ දුගඳ ඔබට දැනිලා ඇති. මේ දිව මනසින් ගලවල අතට ගන්නකෝ. රුධිරය තැවරුණ, නහරවැල් තැවරුණ, මස්‌ ගොබයක්‌ පමණක්‌මයි. මේ කුණුවෙන මස්‌ ගොබයත් හරකෙක්‌, එළුවෙක්‌, ඌරෙක්‌ගේ දිව නමැති මස්‌ ගොබයත් අතර වෙනසක්‌ තිබෙනවාද? නැහැ. එකම ස්‌වභාවයමයි. වයෝවෘධ භාවයට පත්වෙනකොට ඔය දිවට දැනෙන රසය නොදැනී යනවා. ඔබ ජීවත්ව සිටියදීම දිව මැරෙනවා. මෙවන් දිවක්‌ කෙරෙහි තන්හාව, මාන්නය, දිට්‌ඨිය කුමක්‌ සදහා ඇති කරගන්නද?

පිංවත් ඔබේ මනස දෙස බලන්න. වරෙක රාග, ද්වේෂ, මෝහ කියන සිතුවිලි වලින් පිරිලා. තවත් විටෙක අලෝභ, අද්වේශ, අමෝහ සිතුවිලිවලින් පිරිලා. හරියටම සුළඟ වගේ. ඇතිවෙන ඇලීම් ගැටීම් හේතුවෙන් මොහොතින් මොහොත කුසල් අකුසල් සිත්a වෙනස්‌ වෙනව. සුගතිගාමී කුසල්, අපායගාමී අකුසල් සකස්‌ කොට දෙනවා. වරෙක ඔබව සතුටු කරවනවා. තවත් වරෙක ඔබව හඬවනවා. දුක සැප මුසු සංඥාවන් වේදනාවන් නිරතුරුවම සකස්‌ කොට දෙනවා. ඔබ වයෝවෘධභාවයට පත්වෙනකොට මනසේ තැන්පත්ව ඇති ධර්ම රූප මැකීයනවා. ඒ කියන්නේ මතකය මැරෙනවා. මෙවන් මනසක්‌ නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇතිකරගෙන ඇත. ඵලය මොකක්‌ද?

දැන් පිංවත් ඔබ කය දෙස බලන්න. මේක ලෙඩවෙන, වයසට යන, මැරෙණ කයක්‌. ආහාරයෙන්, ජලයෙන්, ඖෂධවලින් යෑපෙන කයක්‌. ආශ්වාසයෙන්, ප්‍රාශ්වාසයෙන් රැකෙන කයක්‌. කබ, කදුළු, දහඩිය, සෙම්, සොටු, අසූචි, මුත්‍රා, නිරතුරුවම පිටකරන කයක්‌. පිරිසිඳු නොකළොත් ගඳ ගහන කුණුවෙන, පණුවො ගසන කයක්‌. මෙතන ආඩම්බර වෙන්න දෙයක්‌ තිබෙනවාද? මම කියල තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌ තිබෙනවාද? නැහැ.

දැන් පිංවත් ඔබ ආයතන හැටියට ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන බැලුවා. මේවායේ ගත යුතු කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. තිබුණේ ජරා, ව්‍යාධි, මරණමයි. මීළඟට ඔබ සතර මහා ධාතූන් හැටියට මේ ශරීරය අරගෙන බලන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී දේශනා කරනවා ගව ඝාතකයෙක්‌ එළදෙනෙක්‌ මස්‌ කරල හතරමං හංදියක එම එළදෙනව මස්‌, බොකු, කටු, සම් වශයෙන් වෙන් කොට තබා විකුණනවා වාගේ පිංවත් ඔබේ ශරීරයත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් වෙන් වෙන් වශයෙන් කොටස්‌ කර බලන්න කියල. ඔබේ ශරීරයේ තද ස්‌වභාවයෙන් තිබෙන මස්‌. බොකු බඩවැල් ආදිය වෙනමත්, ශරීරය තුළ දියර ස්‌වභාවයෙන් තිබෙන සෙම්, සොටු, රුධිරය, මුත්‍ර, මේදය ආදිය වෙනමත් ශරීරයේ පඨවි, ආපෝ, වායෝ ධාතුන් සමග මුසුවී පවතින තේජෝ ස්‌වභාවයත් ශරීර අභ්‍යන්තරය පුරා තිබෙන වායෝ ස්‌වභාවයත් වෙන් වශයෙන් අරගෙන බලන්න. පිංවත් ඔබ ඔබේ ශරීරය නිර්මාණය වී තිබෙන සතර මහාධාතූන් ගැන කොතෙක්‌ බැලුවත් එතන තියෙන්නේ මසට අයත්, මස විනිවිද ගිය, ගඳගහන, කුණුවෙන, පණුවො ගහන දෙයක්‌මයි. මේ සතර මහ ධාතූන් නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගැනීමේ තේරුමක්‌ තිබෙනවාද? නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන්කරල පෙන්වලා තිබෙනවා. දෙතිස්‌ කුණුපයන් හැටියට. කෙස්‌, ලොම්, නිය, දත්, සම්, මස්‌, නහර.......... ආදී වශයෙන්. මේ එකින් එක වෙන් වශයෙන් අරගෙන බලන්න. මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන් කරල අවයව හැටියට බලන්න. මේ කොටස්‌ තිස්‌දෙක තුළම තිබෙන්නේ ජරා, ව්‍යධි, මරණම නේද? ඒ කියන්නේ කුණුවීම, ගඳ ගැසීම, විනාශවීම පමණක්‌ම නේද? මේ එකකවත් තිබෙනවාද මම කියල. තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌. නැහැ.

ආයතන හැටියට බැලුවත්, සතර මහාධාතූන් හැටියට බැලුවත්, දෙතිස්‌ කුණුපයන් හැටියට බැලුවත් මෙතන තිබෙන්නේ පිංවත් ඔබ මගේ කරගෙන ජීවත්වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවයට අයත් දෙයක්‌ම නේද? යමක්‌ අනිත්‍යය නම්, යමක්‌ දුක නම්, යමක්‌ අනාත්ම නම් එම දෙය පිංවත් ඔබ නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ගතහොත් එතන සකස්‌ විය යුත්තේ දුකම නේද? ඇස සැපයි කියල ගතහොත්, ඇස නිත්‍යයි කියල ගතහොත්, ඇස තුළ ආත්මයක්‌ තිබේ කියල ගතහොත් ඔබ ලුහුබඳින්නේ නැති දෙයක්‌ පසුපස නේද? සතර මහා ධාතුවත්, දෙතිස්‌ කුණපයත් නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ඔබ ගතහොත් එය මුලාවක්‌ම නේද? අවිද්‍යාව නිසාම සකස්‌ වු සක්‌කායදිට්‌ඨිය නිසාම අනිත්‍යය, දුක්‌ඛ, අනාත්මභාවයට පත්වන මේ ඔබේ රූපය ඔබගේ ශරීරය නිත්‍ය, සැප, ආත්මභාවයෙන් ගැනීම නිසා නේද දුක සකස්‌ වෙන්නේ. ඒ නිසා පිංවතුනි, අදවන් උතුම් වෙසක්‌ පුර පසොළොස්‌වක පොහොය දිනක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාල චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්යය සත්‍යය වන දුක්‌ඛ සත්‍යය පිංවත් ඔබ තුළින්ම දකින්න පුළුවන් නේද? සතර මහ ධාතුවෙන් සැදුන, ආහාරයෙන් යෑපෙන, ආශ්වාස ප්‍රාශ්වාසයෙන් රැකෙන රූපය කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාව නිසාම නේද මේ දුක සකස්‌ වෙන්නේ. රහතන් වහන්සේ නමකට දුක නැහැ නේද? නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌ තිබෙනවා. එම ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක්‌ තිබෙනවා. එම කනෙන් ශබ්ද ඇසෙනවා. අනෙක්‌ ආයතනත් එසේමයි. නමුත් රහතන්aවහන්සේට දුකක්‌ සකස්‌ වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, පස්‌සය වන මොහොතේදීම රහතන් වහන්සේ පස්‌සය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ දැකීමේ ශක්‌තිය රහතන් වහන්සේට තිබෙන්නේ රහතන් වහන්සේ භව නිරෝධය සාක්‌ෂාත් කරගන්නා මොහොතේ උතුම්වූ සමාධි තලයකදී රූපයේ අනිත්‍යභාවය ඥානදර්ශන තුළින් අවබෝධත්වයට පත්වී ඇති නිසා. රහතන්වහන්සේ පස්‌සය අනිත්‍ය වශයෙන් දකින නිසා විඳීමක්‌ සකස්‌ වෙන්නෙ නැහැ. විඳීමක්‌ සකස්‌ නොවන තැනක හඳුනාගැනීමක්‌, ෙච්තනාවක්‌, බැසගැනීමට විඤ්ඤාණයක්‌ සකස්‌වෙන්නෙ නැහැ. හුදු දැක්‌කාය, ඇසුණාය කියන කාරණය පමණයි. නමුත් පිංවත් ඔබ පස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සකස්‌ කරගන්නවා. එහෙමනම් පිංවතුනි, දුකත්, දුකට හේතුව වන තෘෂ්ණාවත් ඔබ තුළින්ම නේද සකස්‌ වෙන්නේ. තෘෂ්ණාවත් දුකත් ඔබ තුළිsන්ම නම් සකස්‌ වෙන්නේ තෘෂ්ණාව නැති කරගත යුත්තේත් ඔබම නේද? තෘෂ්ණාව නැතිකිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළයුත්තේත් ඔබම නේද? එහෙමනම් පිංවතුනි, චතුරාර්ය සත්‍යයේ මේ ආර්ය සත්‍යයන් හතරම ඔබ තුළින්ම නේද අවබෝධ කරගත යුත්තේ. මේ භව නිරෝධය සාක්‌ෂාත්කොට දෙන චතුරාර්ය සත්‍යය ධර්මයන් සියල්ලම ඔබ තුළිsන්ම නේද දැකිය යුත්තේ? දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ දෙන දෙයක්‌ නොවේ නේද? මෛත්‍රි බෝධිසත්වයන් දෙන දෙයක්‌ නොවේ නේද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයම ජීවිතයට සතියෙන් සිහියෙන් යුතුව එකතුකර ගතහොත් ඔබ ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා නේද? බලන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම් ධර්මය මොනතරම් සරලභාවයට පත්කර, තමා තුලින්ම ධර්මය දැකීමට ධර්මය අවබෝධකර ගැනීමට හැකි ආකාරයට දේශනාකොට තිබෙනවාද. ගිහි පිංවතුන්ට තමා තුළින්ම ධර්මය අවබෝධකර ගැනීමට. ඒ කියන්නෙ සතර අපායෙන් මිදීමට අවශ්‍ය කාරණා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබියදී පිංවත් ඔබ මොනතරම් නම් තැන් තැන්වල රස්‌තියාදු වෙනවාද? ධර්මයේ වරද නොවේ, ධර්මය ගලපා ගැනීමේ වරදයි. සිඳිය යුතු සක්‌කාය දිට්‌ඨිය වැඩෙනවා නම්, එතැන වැඩෙන්නේ අධර්මයයි. දුක දැකීමෙන්, දුක හඳුනා ගැනීමෙන්, සැප සෙවීම නොවේ, ඔබ කළ යුත්තේ. දුක, සැප දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන් බව අවබෝධ කරගැනීමයි.

චන්දරාගයෙන් මගේ කරගත් රූපයන් නිසා මහමෙරක්‌ වන් දුකක්‌ ජීවිතය තුළින් දරාගෙන සිටින පිංවත් ඔබ එම බරෙන් නිදහස්‌වීමට පිංවත් ඔබ තුළින්ම ඇති කරගත යුත්තේ එකම එක කාරණයකි. ඒ රූපයන් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදීම පමණක්‌මය. මේ උතුම් ධර්මය පිංවත් ඔබ ජීවත්වන පිංබිමේ නිරතුරුවම මහා සංඝරත්නය වෙතින් ඔබට ඇසේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


2012.05.13 ඉරිදා දිවයින 
 

වෙසක්‌ තොරණින් එහා දෙයක්‌ දකිමු!

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌ වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණ වූ චතුරාර්යය සත්‍යය ධර්මයයි අවබෝධ කොට වදාළේ. එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට ගලපාගන්න ඕනේ. ධර්මය කියල කියන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය, සතරසතිපට්‌ඨානය, පංචඋපාදානස්‌කන්ධය, සප්තබොඡ්ජංග ධර්මයන්, භව නිරෝධය උදෙසා පක්‌ෂ වෙන්නාවූ සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්මයි. ඔබේ ජීවිතය තුළින් අද දවසේ මේ ධර්මතාවන් තන්හා, දිට්‌ඨි, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධ වන දිශාවට ජීවත් වුණා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් සරණ ගිය කෙනෙක්‌ වෙනවා. මෙම අර්ථවත් මාර්ගයෙන් බාහිරව වෙසක්‌ තොරණ, වෙසක්‌ කූඩු, දන්සල්, සැරසිලි, නාට්‍ය සංදර්ශන වැනි දේවල් තුළින් ඔබ සැනසුනානම්, ඒවා වැටෙන්නේ ශාසනයේ නාමයෙන් කෙරෙන සිල්ලර වෙළෙඳාම් ගනයටම බව කිව යුතුයි. නමුත් මේවා ප්‍රතික්‌ෂේප කරන්න කාටවත් බැහැ. 
තමුනුත් සතුටු වෙලා අනුන්වත් සතුටුකිරීම තමයි මේවායේ අරමුණ. ජීවිතයටම පන්සලකට ගොස්‌ ශීලයක්‌ සමාදන් නොවූ මනුෂ්‍යයෙක්‌ හදිස්‌සියේ මැරෙන මොහොතක තමන් නැරඹුවා වූ වෙසක්‌ තොරණක නේක වර්ණ විදුලි බුබුලු වලින් ඒකාලෝක වූ බුදුසමිඳුන්ගේ රූපය සිහියට නැගිලා, එම පුණ්‍ය සිතුවිල්ල නිසාම සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න පුලුවන්. නමුත් මේවා භවයේ ලබන්නා වූ සිල්ලර සැපයන්මයි. අපට තිබෙන්නේ එකිනෙකට වෙනස්‌ වූ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්‌වභාවයන්. ඒ නිසා අර්ථයෙන් විවිධ වූ ක්‍රියාකාරකම් සමාජය තුළ පැවතීම ධර්මතාවක්‌මයි. එම ධර්මතාවය ඇලීමෙන්, ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන් යුතුව දකිමින් ධර්මයේ සැබෑ අර්ථය තුළට පැමිණීමට පිංවත් ඔබ දක්‌ෂ විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළවෙන් පස්‌ මිටක්‌ අතට අරගෙන, මහ පොළවේ තිබෙන ඉතිරි පස්‌a සමග උපමාකරලා "මහණෙනි, මියයන සත්වයන්ගෙන් සුගතගාමී ජීවිත ලබන්නේ මේ අතේ තිබෙන පස්‌ ප්‍රමාණයටයි" කියලා. මහ පොළවේ තිබෙන පස්‌ තරමටම සත්වයා දුගතිගාමී ජීවිතවලට වැටෙන්නේ කියලා. මෙම සම්මා සම්බුද්ධ වචනයට අනුව අපි උත්සාහ ගන්න ඕනේ සමාජය තූළ සිදුවන දෙය අර්ථවත්ද නැතිද යන්න සෙවීමට නොවේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අතේ තිබෙන පස්‌ මිටෙන් එක්‌ පස්‌ කැටයක්‌ වෙනවාය කියන උත්සාහයටයි එන්න ඕනේ.

ලෝකය කියන්නේ හාස්‍යයක්‌. සත්වයාගේ මෝහය වැඩිවන්න, වැඩිවන්න විකට ජවනිකා වැඩිවෙනවා. හාස්‍ය රසය තව තව වැඩිවෙන්න. ලෝකය සංකීර්ණයි කියන්නේ, ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක්‌ කරන්න බැහැය කියන්නේ ඔබේ සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණයයි. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ ස්වභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ. ඉහත අර්ථය පිංවත් ඔබට හොදින් වැටහෙන්න සුදුසු කතා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් කරනවා.

 භික්‌ෂුව වැඩ සිටි ප්‍රදේශයක එක දායක ගෙදරක වයෝවෘද්ධ අම්මා කෙනෙක්‌ සිටියා. භික්‌ෂුව මේ නිවසට හත් අට වතාවක්‌ම පිණ්‌ඩපාතය සදහා වැඩම කරලා තියෙනවා. මේ හැම වතාවකම භික්‌ෂුවට පෙනෙනවා නිවසේ කාමරයක සිට බිත්තිය අල්ලමින් ඉතා අපහසුවකින් අම්මා කෙනෙක්‌ ඇවිත් පුටුවක වාඩිවෙනවා. ඇයට වයස අවුරුදු අසූ පහක්‌ පමණ ඇති. ටිකක්‌ මහත ශරීරයක්‌ තිබෙනවා. හොඳින් පිරිසිදු වෙලා ඉන්න පාටක්‌ පෙනෙන්නේ නැහැ. තමන්ගේම දරුවා සිටියත් එම අම්මාව අතින් අල්ලලා හාමුදුරුවො වැඩම කිරීමට පෙර පුටුවේ වාඩි කරන්නේවත් නැහැ. එයාම බිත්තිය අල්ලාගෙන එන්නේ. කොටින්ම ඒ අම්මා දැන් එම නිවැසියන්ට එපා වෙලා. අඩුම තරමින් එම නිවැසියන් හාමුදුරුවන්ට පූජා කරන ආහාරයක්‌වත් එම අම්මාට අත ගස්‌වන්නේ නැහැ. වයෝවෘද්ධභාවය නිසාම, ජරා ව්‍යාධි ලක්‍ෂණ නිසාම හැමෝටම එපා වෙලා සිටි මේ අම්මා මිය යනවා. මේ අම්මා මැරුණාට පස්‌සේ භික්‌ෂුවක්‌ අරමුණු කොට බලනවා මේ අම්මා කුමන ආකාරයේ නැවත උපතකට ගියාද කියලා. ඒ වෙලාවේ භික්‌ෂුවට අරමුණු වෙනවා මියගිය අම්මාගේ රූප ස්‌වභාවයෙන්ම යුත් පාවෙන භූත රූපයක්‌. වෙනසකට තිබුණේ කොණ්‌ඩේ කරල් දෙකකට ගොතලා බැඳලා තිබුණා. ළමා වයසේ ගැහැණු දරුවෙකුගේ වගේ. භික්‌ෂුව ඉදිරියේ ඇය පාවෙනවා. හරස්‌ අතටයි පාවෙන්නේ. මෙය භවයේ තවත් උපතක්‌. ඇස, කණ, නාසය, දිව, මනස, කය ඇයට තිබෙනවා. අපට වගේම මේ භූත සත්වයාට බාහිර රූප ඵස්‌සය වීමෙන් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. මිය යන අවස්‌ථාවේ ශක්‌තිමත් කුසල් අකුසල් නිමිත්තක්‌ සකස්‌ නොවීම නිසා මෙවැනි භූත ස්‌වභාවයේ ජාතියක්‌ සකස්‌ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අයට තමයි පාංශකූල පිංකම, සත් දවසේ බණ පිංකම වටින්නේ. මෙවැනි පිනකින් කුසල් අකුසල් නිමිත්තක්‌ ශක්‌තිමත් කරවලා ඊළඟ උපතට ඇය පැන ගන්නවා. මෙම භූත ස්‌වභාවය හරියට නිදාගෙන ඇහැරුන දරුවෙක්‌ වගේ. තද නින්දෙන් අවදි වුණ ගමන් දරුවා පියවි සිහියෙන් නොවේ ඉන්නේ. මුහුණට වතුර ටිකක්‌ ඉස්‌සාම හොඳින් අවදි වෙනවා. ශක්‌තිමත් කුසල් අකුසල් චිත්තයක්‌ මිය යන මොහොතේ සකස්‌ නොවූ නිසා භූත ස්‌වභාවයට පත් මෙම සත්වයාටත් පාංශකූල පිංකම, සත් දවසේ පිංකම හරියට අඩ නින්දේ පසුවෙන දරුවෙකුට වතුර ටිකක්‌ මුහුණට ඉසීම වැනිය. අසිහියෙන් මියයාම, නින්දේදී මියයාම, ක්‌ෂණිකව සිදුවන අනතුරු මරණ වලදී මෙන්ම ළමා මරණ වලදීද ඉහත ස්‌වභාවයක්‌ සකස්‌ විය හැකියි.

මෙම මව මියගොස්‌ දින තුනේදී තමයි භික්‌ෂුවට මෙම මවගේ භූත ස්‌වභාවයේ උපත සමාධියේදී දර්ශනය වුණේ. ඒ අසරණ මෑණියන් වෙනුවෙන් මෙය සටහන් තබන භික්‍ෂුවද නිරතුරුවම පිං අනුමෝදන් කළා. මරණයේ භූමිදාන කටයුතු අහවරවෙලා දිනකට පසුව ඇයව භික්‍ෂුවක්‌ සමාධියෙන් අරමුqණු කොට බලද්දී භික්‍ෂුවට දර්ශනය වෙනව කුඩා ගැහැණු දරුවෙක්‌. ඒ කියන්නෙ ඇය මව් කුසක බිළිඳියක්‌ ලෙස උපත ලැබූ බවයි. මෙතැනදී උපත කියල සටහන් කළේ මවගේ ගර්භාෂ කුටියට බැසගත් බවයි. භික්‍ෂුව මේ ඔබට පැහැදිලි කරමින් එන්නේ ලෝකය හාස්‍යයක්‌ වෙන්නෙ කොහොමද කියලා. දැන් කවුද මේ මැරුණ වයෝවෘධ අම්මා. වයස අවුරුදු අසූපහක්‌ වන, හැමෝටම එපාවෙලා කරදරයක්‌ වෙලා හිටපු, හරි හැටි පිරිසිදු භාවයක්‌වත් නොතිබුණ, ශරීරයෙන් තෙල් බෙහෙත් ගඳ හමපු, ජරා ව්‍යාධියට පත්වූ අයෙක්‌. මේ අම්මා කළා වූ කුසල් අකුසල් හේතුවෙන් සකස්‌ වුණ විඤ්ඤාණ ධාතුව මුලින් භූත සත්වයෙක්‌ හැටියට බැසගත්තා. භූත සත්වයා තුළ සකස්‌ වුනසංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වූ විඤ්ඤාණ ධාතුව ඉන් චුත වී මව් කුසක බිළිඳියක්‌ව බැසගත්තා.

දැන් මේ බිළිඳිය බැසගත් මව් කුස හිමි තැනැත්තිය දින විසි අටක්‌ ගියාට පස්‌සෙ දැන ගන්නවා තමන්ගේ කුසේ දරුගැබක්‌ ඇතිවුණාය කියලා. මේ සුබ ආරංචිය දැනගත් මොහොතේම ඇය මේ බව දැනුම් දෙන්නෙ තමන්ගේ සැමියාට. සැමියා එවිට මොකද කරන්නේ. මෙලෝ සිහියක්‌ නොමැතිව බිරිඳව සිපගන්නවා. වාසනාවන්ත දරුපැටියෙක්‌, සුරතල් දරුපැටියෙක්‌, ලස්‌සන දරුපැටියෙක්‌ ඔයා මට දෙන්න කියලා. එදා ඉඳන් භාරහාර වෙනවා, බේබිසූට්‌ මහනවා, කොට්‌ට හදනවා, ලස්‌සන සුසිනිදු ඇතිරිලි, මල් පීස්‌ රෙදිමයි සොයන්නේ. දරුවා නළවන්න තොටිලි ගේනවා, සෙල්ලම් බඩු එකතු කරනවා. වැදගත් රෝහලක දරු ප්‍රසූතිය කිරීමට සිහින දකිනවා. මේ සියල්ල කරන්නේ කවුරුන් උදෙසාද? දිව්‍යලෝකයෙන් පහළ වූ දිව්‍යාංගනාවක්‌ උදෙසාද? නැහැ. මීට මාසයකට පෙර මිය පරළොව ගිය අර වයෝවෘධ ආච්චිගේ සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වුණ දරුගැබයි මේ බිහි වෙන්න යන්නේ. එදා එම ආච්චිව අතින් අල්ලවා වාඩිකරන්නවත් කෙනෙක්‌ හිටියෙ නැහැ. ඒ තරමටම ඇයව ජරා, ව්‍යාධි නිසාම කොන්කරලා. වර්තමානයේ ඇයව නළවන්න තොටිලි හදනවා. ප්‍රසුත කරන්න වැදගත් රෝහල් සොයනවා. සුසිනිදුම රෙදිපිළි සොයනවා. මේකම නේද ලෝකය කියන්නේ? එහෙමනම් ලෝකය කියන්නෙ හාස්‍යයක්‌ නොවේද? විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා සංස්‌කාර ධර්මයන්ගේ ශක්‌තියෙන් නිපදවන අනේකවිධ රූපයන් කෙරෙහි ඡන්ද රාගයෙන් අපිද විඤ්ඤාණයට බැඳී යනවා. මැජික්‌කරුවෙක්‌ එක මොහොතක පරවියෙක්‌ දෑතට ගෙන සුදු රෙදි කඩකින් එම සතාව වසා, මොහොතකින් රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ ගිරවෙක්‌. මැජික්‌කරුවා ගිරවාව රෙදිකඩකින් වසනවා. මොහොතකින් එම රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ හාවෙක්‌. හාවාව රෙදි කඩකින් වසනවා. මැජික්‌ කරුවා තම මැජික්‌ යෂ්ඨියෙන් යමක්‌ කරනවා. දැන් එතන ඉන්නේ බෝනික්‌කෙක්‌. මැජික්‌ කරුවා තම මැජික්‌ යෂ්ඨිය උපයෝගී කොටගෙන ප්‍රේක්‌ෂකයා මුළාකොට රිසිසේ රූපයන් මවයිද සංස්‌කාරධර්මයන් නමැති යෂ්ඨිය උපයෝගී කරගෙන විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාද එකිනෙකට වෙනස්‌ රූප නිපදවයි. රෝහලේ ලෙඩ ඇඳේ දුක්‌විඳින රෝගීන් ඔබ දැක තිබෙනවාද? නාස්‌ සිදුරුවලට බට දමල. මුඛයට බට දමල. මුත්‍රා මාර්ගයට බටයක්‌ දමල. සේලයින්, රුධිරය දෙනවා. මරණාසන්නව ලෙඩා ඇඳේ වැතිරිලා සිටිනවා. ඥාතීන්ටත් මේ රෝගීන්ව එපාවෙලා. උපස්‌ථායකයන්ටත් මේ රෝගීන්ව එපා වෙලා. සමහරු මෙවැනි රෝගීන් දිහා බලන්නත් බයයි. ඒත් මේ රෝගියා මැරිලා නැවත මව් කුසක උපතක්‌ ලැබුවොත් මොන සැලකිලිද?.... මොනතරම් ආදරයක්‌ද ඔහු ලෝකයාගෙන් ලබන්නෙ. මේක නේද ලෝකය කියන්නේ. පසුගිය ජීවිතයේදී තිරිසන් ලෝකේ හරක්‌ කුළයේ ඉපදිලා, අලි කුලයේ ඉපදිලා, කුකුල් කුලයේ ඉපදිලා මේ ජීවිතයේ මනුෂ්‍යයෝ වෙච්ච අය භික්‍ෂුවකට අරමුණුවෙලා තිබෙනවා. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය සත්වයාව මොන තරම් හාස්‍යයක්‌ බවට පත්කොට තිබෙනවාද. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය මේ තරම් සත්වයාව හාස්‍යයට පත්කොට තිබියදීත් අපි තවම වෙසක්‌ දිනයේවත් රූපයට ඇති ඡන්ද රාගයෙන් මිදීමට කැමැත්තක්‌ දක්‌වන්නෙ නැහැ. එදාටත් රූප සොය සොයා යනවා.

තොරණ, වෙසක්‌ කූඩු, සැරසිලි, භක්‌ති ගීත, නාට්‍ය සංදර්ශන, විදුලි බුබුලු.... මේවා සොය සොයා යන තරමට රැස්‌වෙන සංස්‌කාර ධර්මයන් ඔබට භවයේ කැමැති කැමැති රූප උපද්දවලා දෙනවා. වෙසක්‌ දිනයේ රාත්‍රියේ අගනගරය යම් සේ චමත්කාරජනක ද, ඔබටත් භවයේ චමත්කාරජනක උපත් සකස්‌කර දෙනවා. පක්‍ෂීන්ගේ ලෝකය, මාළුන්ගේ ලෝකය මොනතරම් චමත්කාරජනකද කියලා බලන්නකෝ. විවේකී සිතෙන් මේවා සිතන්න. මේවා තමයි කමටහන්.

මේ ලෝකයේ උපත ලබන සෑම සත්වයෙක්‌ම ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා තුන දෝතින් දරාගෙනමයි උපත ලබන්නේ. නමුත් රූපය කෙරෙහි ඇති ජන්ද රාගය නිසා ඔබට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉපදුණ අලුත කුඩා බිළිඳකුගේ සුරතල්භාවය, අසරණභාවය හමුවේ ඇතිවන ආදරය නිසා මේ දරුවාගේ ජීවිතය තුළ ඇති ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ සැඟවිලයි තියෙන්නේ. නමුත් පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මේ පුංචි රූපය දෙස බැලුවොත් එම රූපය තුළ සැඟවී ඇති ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා හඳුනාගන්න පුළුවන්. සතිය, සිහිය නැති තැනදී ඔබ දරුවාට ආදරය කරනවාය කියන්නේ, රැකවරණය දෙනවාය කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ වසන් කිරීමට, යටපත් කිරීමට, පරාජය කිරීමට ගන්නා වූ උත්සාහයක්‌මයි. මේ උත්සාහයේදී අප කව්රුත් තාවකාලිකව දිනුවත් අවසානයේදී පරාජය වන එකමයි සිද්ධවෙන්නේ.

අපි මේ පුංචි බිළිඳු රූපයට මොන තරම් ඡන්ද රාගයක්‌ ඇතිකරගෙන තිබෙනවාද කියලා කියනවා නම් සමාජයේ මතයක්‌ ප්‍රකාශ වෙනවා, බිළිඳු දරුවාගේ සිත ප්‍රභාශ්වරයි කියලා. නොකිලිටියි කියලා. මේ පුංචි රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි මෙවැනි මාර සිත් වැඩිහිටියන් තුළ ඇතිවෙන්නේ. වැඩිහිටියකුගේ සිත යම් සේද කුඩා බිළිඳෙකුගේ සිතුවිලිද රාග, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගෙන් සංසාරික පුරුදු, ඉව ඔස්‌සේ වැඩිලයි තිබෙන්නෙ. තමා කැමති උපාදානයන් අහිමි වෙනකොට ළදරුවා කියල වෙනසක්‌ නැහැ. ද්වේෂය සකස්‌ වෙනවා. දරුවෙක්‌ නව මාසයක්‌ මව් කුස ගර්භාෂය මගේ කරගෙනයි ජීවත්වෙන්නෙ. අපිට පෙනුනට මේ දරුවා නව මාසයක්‌ අතපය වකුටු කරගෙන මේ ලේ සැරව පිරුණු බැලුම් බෝලයක්‌ වන් අවකාශය තුළ තෙරපෙමින් දුක්‌ විඳිනව නේද කියලා, ඒ අපි හිතන හැටි. නමුත් මේ ළදරුවා ගර්භාෂය තුල ජීවත්වෙන්නේ මේක මගේ නිවස, මේක මගේ කාමරය, මේක මගේ තැන කියන උපාදානය සකස්‌ කොටගෙන කැමැත්තෙන්මයි. එයාට දුකක්‌ දැනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දුක ළදරුවා සැපක්‌ හැටියටමයි දකින්නෙ. ළදරුවා මව් කුස තෘෂ්ණාවෙන් යුතුව උපාදානය කොට ඇති නිසා තමයි අම්මා කෙනෙක්‌ දරුවා බිහිකරන වෙලාවෙ මහා වේගයකින් කෑමොර දෙමින් ලෝකයාට බිහිවෙන්නෙ. දරුවාගේ විරෝධයයි එයා ප්‍රකාශ කරන්නේ. මගේ තැනින් මාව මුදාගත්තාය කියන විරෝධය. මෙතන තිබෙන්නෙ ද්වේෂයක්‌ වෛරයක්‌ නොවේද? ඒ කියන්නෙ දරුවෙක්‌ ඉපදෙනකොටම ද්වේෂය වෛරය සකස්‌ කරගෙනමයි උපදින්නේ. ඉන් පස්‌සෙ බලන්න දරුවා අම්මාගේ උණුසුම උපාදානය කොටගන්නවා, තෘෂ්ණාවෙන්ම. දැන් අම්මාගේ උණුසුම, පියයුරු සැපයි කියල මව් කිරට උපාදානය ඇති කරගෙනයි සිටින්නේ. අම්මාගේ තුරුලේ සිටින මේ දරුවා යමෙක්‌ අතට ගන්න හැදුවොත් මහා වේගයකින් කෑමොරගහනවා. මුහුණ රතු කර ගන්නවා. මේ පුංචි සිතේ සැඟවී ඇති ද්වේෂය, වෛරය, රාගයමයි මේ හැසිරීම් වලට හේතුව. ඒ නිසාම පුංචි සිත ප්‍රභාෂ්වරයි කියන කාරණය, පුංචි දරුවන්ගේ රූපයන් කෙරෙහි අපේ ඇති ඡන්ද රාගය නිසාම සකස්‌ කොටගත් මෝහ මූලික අදහසක්‌. එම නිසා කුමන රූපයකට ඔබ බැඳුනත් ඒ බැඳී ඇත්තේ මාරයාටය කියන කාරණයයි අදවන් දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට ගත්තේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


2012.05.06 ඉරිදා දිවයින 
 

කොහොමද...? ක්‍රෝධයේ අස්‌වැන්න

ක්‍රෝධය යනු මෛත්‍රියට වඩා ලෝකය තුළ පැතිර පවත්නා සත්ත්ව ස්‌වභාවයකි. මහ පෙළොවේ පස්‌ අහුරක්‌ දෝතට ගතහොත්, එම පස්‌ මිටත් මහ පොළොවේ පසුත් අතර ඇති පරතරය යම්සේද ලෝකය තුළ මෛත්‍රිය සහ ක්‍රෝධයේ ස්‌වභාවය එසේමය. මනුෂ්‍ය ලෝකයේ සත්ත්වයා බෞද්ධ හෝ අබෞද්ධ වුවද යම් හෝ ආචාරධර්ම පද්ධතියකින් හික්‌මෙන නිසා, දියුණු සිතීමේ ශක්‌තියක්‌ ඇති නිසා සහ දියුණු කණ්‌ඩායම් හැඟීමක්‌ ඇති නිසා ක්‍රෝධයේ ස්‌වභාවය දැඩිව ප්‍රකට නොවූවද තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, නිරයේ ජීවත්වන සත්ත්වයා තුළ නිරතුරුව වැඩෙන්නේ වෛරය සහ ක්‍රෝධයයි. ක්‍රෝධය, වෛරය යනු ඔවුන්ගේ කර්ම විපාකයයි. විපාකය නැමැති ඵලය ඔවුනට ලැබෙන්නේ ක්‍රෝධය සහ වෛරය නිසාය. අපි කැමැති දෙයම, අපි පුරුදු කළ දෙයම අපට ලබාදීම ලෝක ධර්මයේ ස්‌වභාවයයි. ඔය තිරිසන්, ප්‍රේත නිරයේ දුක්‌ විඳින සත්ත්වයින් එම ලෝක වල කල්ප ගණන් දුක්‌ විඳින්නේ තමන් නිසා නොව, අනුන් නිසා කරගත් අකුසල් නිසාය. ඔබ හොඳින් සිතා බලන්න. කෙනෙක්‌ ඔබට ඔරවා බැලුවොත්, බැන්නොත්, ගැහුවොත් මදිපුංචි කමක්‌ කළොත්, තමාගේ දෙයක්‌ සොරාගත්තොත්, ඔබව විවේචනය කළොත්, ඔබට වඩා ඉහළට යනවා දැක්‌කොත්.... මෙහෙම වෙනකොට ඔබ ඔහුගේ දෙය ඔබේ කරගෙන, ඔහුගේ ක්‍රියාව ඔබේ කරගෙන ඔබ තුළ වෛරය ක්‍රෝධය ඇතිකරගන්නවා. බලන්නකෝ අනුන් තුළ ඇතිවූ දෙයක්‌ නිසා, අනුන් විසින් කළ ක්‍රියාවක්‌ නිසා ඔබ විසින් ඔබ තුළ වෛරය ක්‍රෝධය ඇති කරගත්තා වගේම එම පාප ධර්මයන් නිසා එහි විපාකයන් හැටියට තිරිසන්, ප්‍රේත, නිරයේ අවාසනාවන්ත ජීවිත ලබනවා. ඔබ කැමති කළේ ක්‍රෝධය වෛරය නම් සංසාරයේ එයම ලැබීම නියතයක්‌. මොකද ඔබ කැමති කළ දෙය නිසා.

එහෙම නම් ඔය සතර අපායේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම ඔතැනට වැටුනේ අනුන්ගේ දෙය තමාගේ කරගැනීමට යැම නිසාමයි.

මා තුළත් මා නැති කළ, අනුන් තුළ මා දැකීම මේ අවාසනාවේ හේතුවයි.

ඔය සතර අපායේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම ඔබ මම වගේම වටිනා මනුෂ්‍ය ජීවිත ගතකළ මනුෂ්‍යයන්මය. මමවත්, මගේවත් නොවන "මම" ආරක්‍ෂා කරගැනීමට, ආත්ම ගෞරවය රැකගැනීමට ගොස්‌, අපාදුක්‌ විඳින අවාසනාවන්තයින්ය. මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේදී ඇති කරගත් ක්‍රෝධය වෛරය මරණින් මතු ප්‍රේත ලෝකයේ දැඩි ලෙස දුක්‌විඳින ප්‍රේතයින් දෙදෙනෙකුගේ අතිශය දුක්‌ඛිත ස්‌වභාවය පහත සඳහන් කරමි.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙද්දී ප්‍රේතයින් දෙදෙනෙකු දර්ශනය විය. භික්‍ෂුවගේ සමාධිමත් සිතට, ඕලාරික ස්‌වභාවයෙන් මනුෂ්‍ය රූපයෙන්ම සිටි ප්‍රේතයින් දෙදෙනා දර්ශනය විය. දෙදෙනාම මනුෂ්‍ය ලෝකයේදී තමන් හැඳ පැළඳි දිග කලිසම් සහ කමිස වලින් සැරසී සිටින ආකාරයෙන්ම සිටියහ. දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ සිටියේ දැඩි වියරු ස්‌වභාවයෙන්ය. අනෙක්‌ ප්‍රේතයා වෙතින් අහිංසක බවක්‌ දිස්‌විය. වියරු ස්‌වභාවයෙන් යුත් ප්‍රේතයා තමා ඉදිරියේ සිටි අනෙක්‌ ප්‍රේතයාගේ ගෙල පෙදෙසින් වියරුවෙන් මෙන් දෑතින්ම අල්ලාගත්තේය. ගෙල පෙදෙස දෑතින් අල්ලාගෙන වියරු ස්‌වභායෙන් තමාගේ හිසේ අනෙකාගේ හිස ගසාගත්තේය. මේ වියරුවේ ස්‌වභාවය ඉතාමත් බිහිසුනුය. එය එතරම්ම වේගවත්ය. ප්‍රේතයින් දෙදෙනා හිස්‌දෙක ගසාගත් වේගය නිසා හිස්‌ දෙකම කුඩුවිය. මෙහිදී අහිංසක ස්‌වභාවයෙන් යුත් ප්‍රේතයා හිස කුඩුවී මිය යන මොහොතේ "අනේ මගේ දුවේ" යනුවෙන් ශබ්දයෙන් විලාප හඬක්‌ නැගීය. දෙදෙනාම ලැබූ ප්‍රේත ජීවිතයේදී අකුසලය විපාක දී චුතවිය. ඒ සැනින්ම නැවත එපරිද්දෙන්ම ප්‍රේත ලෝකයේම ප්‍රතිසන්ධිය ලබයි. නැවතත් පෙරසේම කර්ම විපාකය විපාක දී නැවත නැවත මැරෙමින් ඉපදෙමින් කල්ප ගණන් මේ වියරු මරණීය දුක අත්විඳියි. ප්‍රේත ලෝකයේදීද තමා මනුෂ්‍ය ජීවිතයේදී වැඩූ වෛරය, ක්‍රෝධය නිසා හිස කුඩුපට්‌ටම් කරගෙන මියයන මොහොතේදී එක්‌ අයකුට මතකයට ආවේ මනුෂ්‍ය ලෝකයේදී තමා උපාදානය කරගත් "මගේ දුව" නැමැති සංඥාවයි.

මොවුන් දෙදෙනා ප්‍රේත ලෝකයේ උපත ලබන්නේද, මෙලෙස එකට මුණගැසෙන්නේද තමන් කළ කර්මය නිසාය. මෙහි මහා අවාසනාව වනුයේ මෙසේ ප්‍රේත ලෝකයේ ප්‍රතිසන්ධිය ලබා හිස්‌ගෙඩි දෙක වියරුවෙන් ගසාගෙන මරාගෙන නැවත ප්‍රේත ලෝකයේම ප්‍රතිසන්ධිය ලබා දෙදෙනා නැවත හමුවන මෙහොතේ දෙදෙනාටම තමන් මීට පෙර ප්‍රේත ලෝකයේ ඉපැදුණු බව හෝ හිස්‌ ගෙඩි දෙක ගසාගනිමින් මිය ගිය බවට සංඥාවක්‌ දැනෙන්නේ නැති බවයි. එහෙත් දෙදෙනා නැවත මුණගැසෙද්දී වෛරයේ සංඥාව මතුවී විපාකය ක්‍රියාත්මකවෙයි.

මනුෂ්‍ය ලෝකයේ වෛරය ක්‍රෝධය වැඩීම නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳින අවාසනාවන්තයින් දෙදෙනෙකුගේ කථාවයි මෙය.

ඔවුන් දෙදෙනා මුණගැසෙන ආත්මයක්‌ පාසාම ඔවුන් තුළ වැඩෙන්නේ වෛරය ක්‍රෝධය පමණකි. මරණ ෙච්තනාව පමණකි. එහෙයින් ඔවුන් දෙදෙනා සෑම නිමේෂයකදීම ප්‍රේත ලෝකයේදී රැස්‌කරන්නේ අකුසලයක්‌මය. නිරතුරුවම රැස්‌කරන පරපණ නැසීමේ අකුසලය නිසා ඔවුන් නැවත නැවත මීට වඩා දරුණු විපාක විඳිමින් නිරයට වැටෙනවා ඒකාන්තය. කල්ප සියක්‌ කෝටි ගණනක්‌ ගියද ඔවුනට එයින් ගැලවීමක්‌ සිතීම විහිළුවකි. මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්‌ව ඉපිද "මම" කියන සංඥාව රැකගැනීමට ගොස්‌ මෙවැනි දුකක්‌ උරුමකර ගැනීමට ඔබත් කැමතිද?

ඔබ අකමැති නම් මේ මොහොතේම ඔබ වෛරයෙන් ක්‍රෝධයෙන් මිදෙන්න උත්සහගන්න. අනුන්ගේ දෙය ඔබ ඔබේ කර නොගන්න. අනුන්ගේ හිතේ හටගත්, ඔහුටවත් අයත් නැති සිතක්‌ ඔබ ඔබේ කර නොගන්න. ක්‍රෝධය වෛරය සහිත සිත් ඔබ ඔබට අයිති නැති අනිත්‍යයට අයිති දෙයක්‌ බව සිතන්න. ඔබට අපා දුක්‌ දෙන පාප මිතුරෙක්‌, ආගන්තුකයෙක්‌ ඔබ ඔබේ කර නොගන්න. නපුරු විසකුරු සර්පයෙක්‌ දැක ඔබ මඟහැර යනවා සේ ඔබද නපුරු, විසකුරු සිත් ඇතිවුන කළ ඒවාට පැමිණි ලෙසින්ම යන්නට ඉඩහරින්න. සිත ඔබේ කරනොගන්න. ඇතිවූ සිතේ නපුරු බව, විසකුරු බව දකින්න. ඇතිවෙමින් නැතිවෙන සිත සතියෙන් සිහියෙන් යුතුව ඔබ ඔබේ කළ්‍යාණ මිත්‍රයෙක්‌ බවට පත්කරගැනීමට වෙහෙස ගන්න.

අපි දැන් බලමු ඉහත ප්‍රේතයන් දෙදෙනා මොනවගේ කර්මයක්‌ මනුෂ්‍ය ලෝකයේදී කළ නිසාද මෙම දුක්‌ඛිත විපාකයට මුහුණදීමට සිදුවූයේ කියලා. ඉහත භික්‍ෂුව අනුමාන කරනවා (නමුත් ස්‌ථිරවම කියන්න දන්නේ නැහැ) මෙහිදී හමුවන අහිංසක ස්‌වභාවයෙන් යුත් ප්‍රේතයා මනුෂ්‍ය ලෝකයේදී විවාහයක්‌ කරගෙන බිරිඳ සහ එක්‌ දරුවෙකු සමඟ ලස්‌සන පවුල් ජීවිතයක්‌ ගතකළ කෙනෙක්‌. එකම දරුවා සුරතල් දියණියක්‌. මෙම ස්‌වාමිපුරුෂයා බිරිඳට සහ දියණියට දැඩිසේ ආදරය කළ අයෙක්‌. අවාසනාවකට ඔහුගේ ලස්‌සන අහිංසක පවුල් ජීවිතයට අසම්මත ප්‍රේමවන්තයෙක්‌ හරස්‌වෙනවා වෙන්න පුළුවන්. මෙම අසම්මත ප්‍රේමවන්තයා බිරිඳට ඇති තන්හාව නිසා ස්‌වාමිපුරුෂයා මරාදමා බිරිඳව තමන් අයිතිකරගත්තා වීමටද පුළුවන්. අසම්මත පෙම්වතා අතින් මේ ස්‌වාමිපුරුෂයා මියයන මොහොතේ අවසාන සංඥාව උපාදානය ලෙසින් මතුවූයේ "අනේ මගේ දුව" යන සංඥාවයි. ඔහුට දැනෙන්නට ඇති මගේ දුව අනාථ වෙයි, අසරණ වෙයි කියන හැඟීම. ඒ නිසා ඇතිවූ වෛරය. මේ සියල්ලම ඇතිවුනේ තන්හාව නිසාමයි. තමාගේ ලෙයින් උපන් අහිංසක සුන්දර දියණිය, තමා මැරෙන මොහොතේ, විශේෂයෙන්ම බිරිඳ ද අසම්මත ප්‍රේමයක බැඳී ඒ හේතුවෙන් තමාව මරාදැමෙන මොහොතේදී, සුරතල් දියණියව මතකයට ඒම ඕනෑම පියෙකුට පොදු ධර්මතාවකි. අවසානයේදී යම් හේතුවක්‌ නිසා අසම්මත ප්‍රේමවන්තයාද කව්රුන් අතින් හෝ මැරුම්කන්නට ඇත. එසේ නොමැතිනම් නිSතිය ඉදිරියේ වරදකරු වී දඬුවම් ලබා මරාදමන්නට ඇත. දෙදෙනා තුළම එකිනෙකා කෙරෙහි, අනෙකා (අනුන් නිසා) ඇතිකරගත් වෛරය ක්‍රෝධය හේතුවෙන් ප්‍රේත ලෝකයේ උපත ලබා වෛරයේ දරුණු ස්‌වභාවය නිසා හිස්‌ ගෙඩි දෙක වියරුවෙන් එකට ගසාගනිමින් විපාකයන් විඳී. මෙහිදී අහිංසක ප්‍රේතයාව වියරු වැටුණු ප්‍රේතයා විසින් අල්ලාගෙන ඔහුගේ හිස තමාගේ හිසෙහි ගසාගෙන පොඩිකොට දමා මියයන මොහොතේ "අනේ මගේ දුවේ" යෑයි අහිංසක ප්‍රේතයාගෙන් අඳෝනාවක්‌ නැගෙන්නේ (එම හඬ ඉතාම අසරණ හඬකි. වේදනාත්මක හඬකි) තමා මනුෂ්‍ය ලෝකයේදී දුව ලෙසින් කැමැත්තෙන් ආශාවෙන් උපාදානය කරගත් සංඥාවේ බලවත්භාවය නිසාය.

ඔබ දැන් හොඳ සිහියෙන් යුතුව දකින්න. මෙහි එන අසම්මත පෙම්වතා කියන චරිතය තමා තුළ අන්සතු බිරිඳක්‌ කෙරෙහි හටගත් තන්හාවේ සිත අනිත්‍ය වශයෙන් දැක්‌කා නම්, ඒ පාපකාරී සිත තමා වසඟයට, තමාගේ කර නොගත්තානම් වර්තමානයේදී ඔහුට මේ දුක විඳින්නට සිදුවන්නේ නැහැ නේද?

තමා තුළ ඇතිවූ එක සිතක්‌, මොහොතකින් නැතිව යන එක සිතක්‌ අනිත්‍ය වශයෙන් දක්‌නට තිබූ නොහැකියාව නිසා, ඒ සිත තන්හාවෙන් තෙත්කොට ක්‍රියාත්මක භාවයට පත්කිරීම නිසා, කල්ප ගණනාවක්‌ අපාදුක්‌ විඳින අවාසනාවන්තයෙක්‌ වූවා නේද? සිතක්‌ කියන්නේ මොහොතකින්, නිමේෂයකින් වෙනස්‌ වෙන දෙයක්‌ වුවත්, අනිත්‍යභාවයට පත්වෙන දෙයක්‌ වුවත් එම සිතට පුළුවන් ඔබව කල්ප ගණනක්‌ දුක්‌ විඳින සත්වයෙක්‌ බවට පත්කරන සංස්‌කාරයන් රැස්‌කර දෙන්නත්. සිත යනු දුක කියන්නෙත්, ලෝකය කියන්නෙත් ඒ නිසාමයි. ඇතිවී නැතිවී යන එක සිතක්‌ අනිත්‍ය වශයෙන් නොදකින වාරයක්‌ පාසාම ඔබ එම සිත නිසා දුකද ලෝකයද අයිතිකරගන්නවා. සිතක්‌ අනිත්‍ය වශයෙන් දකින මොහොතක්‌ පාසාම ඔබ දුකද ලෝකයද අතහැර දමනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


2012.04.29 ඉරිදා දිවයින 

සංසාරයක්‌ පුරා වැරැදුණු තැන...

ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි. මින් තොර ඔබට නිවීම උදෙසා මාර්ගයක්‌ නොමැත. මේ නිවීම උදෙසා මාර්ගය මිස, ඵලයක්‌ නම් නොවේ. මේ මාර්ගයේ ඔබ ගමන්කොට ඵල අවබෝධ කරගත යුතුය. එසේ නොවුණහොත් ඔබ තවත් සංචාරකයෙක්‌ පමණක්‌ වනු ඇත.

දිව්‍ය, මනුෂ්‍ය, සතර අපායද ඔබේ සංචාරයේ නවාතැන් වනු ඇත. අතීතයෙ වැඩසිටි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන දස දහස්‌ ගණනකදී අප සංචාරකයන් සේ මේ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීම පමණක්‌ කළ නිසා වර්තමානයේදීද මනුෂ්‍ය ලෝකය නමැති නවාතැන්පළේ තාවකාලික නැවතුමක්‌ සකසාගෙන ඇත. ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වඩමින් එහි ඵලයක්‌ අවබෝධ කරගැනීමට උත්සුක නොවීම තවමත් ලෝකය තුළ, දුක තුළ සංචාරය කිරීමට හේතුවයි.

මෙසේ මාර්ගයේ ගමන් කළද ඵලයක්‌ අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත්තේ අනුන්ගේ වරදින් නොව අපගේ වරදිනි. දිනපතා ශීලයන් සමාදන්ව ජීවත්වන, මසකට වරක්‌ අධිශීලයන් හී පිහිටා ජීවත්වන ලක්‍ෂ ගණනින් යුත් බෞද්ධ ජනතාව තමන් ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කරමින් මේ සංසාර භව ගමනින් එතෙරවීමට අප්‍රමාණ කැපවීම් කළ ද එහි ප්‍රතිඵල සාර්ථක බවක්‌ නොපෙනේ.

කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව ධර්ම මාර්ගය වඩන සමහරු 'මගේ ශීලය, මගේ සමාධිය', යෑයි දෘෂ්ටිගත වේ. තවත් සමහරු 'මා තුළ ශීලය සමාධිය ඇතැයි දෘෂ්ටිගත වේ. ශීලය, සමාධිය වැඩීම, ආරක්‍ෂාකර ගැනීම නිසා ලැබෙන ආනිශංස හේතුවෙන් ලෝකයාගෙන් තමනට ලාභසත්කාර, වැඳුම් - පිදුම්, සිව්පසය ලැබෙන විට ඒවාට ඇලීම හේතුවෙන් මුළාවට පත්වේ. මාන්නයෙන් අගතියට යයි. තමා තුළ ඇති ශීලය නිසා, සමාධිය නිසා ලෝකයා, දායකයා, බිරිඳ, ස්‌වාමියා, ඥාතියා තමන්ට ගරුකළ යුතුය, වන්දනා කළ යුතුයෑයි සිතයි. ශීලයද, සමාධියද වැඩිය යුත්තේ අල්ලා ගැනීමට, මගේ කරගැනීමට නොව අත්දකිමින්, අවබෝධය ලබමින් අතහැරීමටය. දෘෂ්ටිගත වීම යනු අල්ලා ගැනීමකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ලෝකය තුළ අල්ලා ගැනීමට කිසිවක්‌ නොමැති බව ධර්ම මාර්ගය වඩන්නා තේරුම්ගත යුතුය. සංසාරයක්‌ පුරාවට ශීලය උදෙසා මේ කය වැසූ සුදුරෙදි ප්‍රමාණය සේම සමාධිය උදෙසා යටපත් කරගත් සිතුවිලි ප්‍රමාණය මෙතෙකැයි කියා ගණනකින් කිව නොහැක්‌කකි. එවන් අතීතයක්‌ පසු කළ අපි මේ වටිනා ජීවිතයේදී ද තවත් සිල්රෙදි ප්‍රමාණයක්‌, යටපත් කරගත් සිතිවිලි ප්‍රමාණයක්‌ අතීතයට එකතුකොට ඒවායේ ආනුභාවයෙන් තවත් උපතක්‌ කරා ගියහොත් අවාසනාවකි.

ඔබේ බලාපොරොත්තුව නැවතත් දිව්‍ය මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් උපතක්‌ නම් එවැනි ආශ්චර්යමත් උපතක්‌ ලැබ, මනුෂ්‍ය - දිව්‍ය ලෝකයකදී සද්ධර්මය අසා නිවන් අවබෝධ කරගැනීම නම් මේ ආශ්චර්යමත් සිතිවිල්ල මාරයා විසින් ඔබට එළනු ලබන රනින් රිදියෙන් ගෙත්තම් කළ පාවඩයක්‌ම විය යුතුය. මේවාට ඔබ වශීවනු ඇත. ජීවමාන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියද, හැම පන්සලකම, ආරණ්‍යයකම, ගෙදරකම, හැම හදවතකම දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයෙන් ශෝභාමත් වූ බුදුරුව නෙත ගැටෙද්දී, ධර්ම රත්නය නිරතුරුවම ශ්‍රවණය කිරීමට ලැබෙද්දී, මහා සංඝරත්නය ජීවමානව වැඩ සිටින විටදී, අප ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කර හුදු සංචාරකයෙක්‌ පමණක්‌ නොවී, එහි ඵලයන් අවබෝධ කරගැනීමට හැකිවුව හොත් එය අපගේ භාග්‍යයකි. එසේ නොවී, සම්මා සම්බුද්ධ ශාසනයත්, සද්ධර්ම ශ්‍රවණයත්, උත්තරීතර මනුෂ්‍ය ජීවිතයත්, කල්‍යාණමිත්‍ර සේවනයත් ලද මේ ආශ්චර්යමත් අවස්‌ථාවට වඩා අවස්‌ථාවක්‌ තවත් උපතකදී බලාපොරොත්තු වීම, අපේක්‍ෂා සහගතවීම යනු දුකේ සිටිමින් තවත් දුකක්‌ම පැතීම විනා දුකින් එතෙරවීම නොවේ. සම්මා සම්බුද්ධ ශාසනයත්, එහි සැබෑ ප්‍රතිපදාවනුත් මොනතරම් වේගයකින් විකෘතිභාවයට පත්වෙමින් පවතිනවාද යන්න අපට පෙනෙන කරුණකි.

ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයකු නම් ශීල, සමාධි ප්‍රඥා මාර්ගයේ කොතැනක හෝ ඔබ සිටිනවා යෑයි ඔබ අනුමාන කර ඇත. මෙය මෙම මාර්ගය වැඩීමේදී ඔබට ඇතිවන ශක්‌තියකි. නිවීමේ මාර්ගයේදී ඔබට හමුවන ශීලය, සමාධිය යන මංසන්ධි දෙක ඔබව නිරතුරුවම මුළාවට පත්කරවන මංසන්ධි දෙකකි. මේ මුළාවෙන් ඔබට ගැලවිය හැක්‌කේ ශීලය, සමාධිය වැඩීමේදී ඒවායේ අනිත්‍යභාවයද, ශිල, සමාධිය වැඩීම තුළින් බලාපොරොත්තුවන්නේ ප්‍රඥාව වඩවාගනිමින් දුක්‌ දෙන සසරින් එතෙරවීම සඳහා බව නිරතුරුවම සිහිකිරීමෙනි. ශීලයද, සමාධියද නිත්‍ය භාවයෙන් අල්ලා ගන්නාතාක්‌ ඔබට ප්‍රඥාව නොවැඩේ. මන්ද ඔබ ශීලය තුළද, සමාධිය තුළද නිත්‍යභාවයක්‌ දකිමින්ද, එහි ආශ්වාදය සැපයක්‌ කොට දකිමින්ද අල්ලාගෙන සිටින හෙයිනි. ශීලයක හික්‌මීමෙන් බලාපොරොත්තුවන්නේ ඒ තුළින් සතිය සහ සිහිය දියුණු කරගනිමින් සතිය සහ සිහිය තුළින් චිත්ත සමාධිය ඇතිකර ගැනීමය. චිත්ත සමාධිය ඇතිකරගත් පසුව ඔබ කළ යුත්තේ තමන් පසුවන්නේ පළවැනි ධ්‍යානයේද, දෙවැනි, තෙවැනි, චතුර්ථක්‌ ධ්‍යානයේද යන්න සෙවීම නොවේ. සෙවීමට උත්aසහ ගැනීම නොවේ. එසේ සොයන්නට ගියොත් ඔබ සොයන්නේ අස්‌ථිර, අනිත්‍ය දෙයකි. ධ්‍යානයද නිරතුරුවම වෙනස්‌වන දෙයකි. වෙනස්‌වීම නිසා දුක ඇතිකරවන දෙයකි. මේ හේතුවෙන් මානසික ලෙඩුන් බවට පත්කරන දෙයකි. ස්‌ථිරභාවයේ නොපවතින දෙයක්‌ තවදුරටත් අප සෙවීමට ගියොත්, සොයමින් සිටියොත් මේ සම්බුද්ධ ශාසනය තුළදීද අපට ධර්මය දැකීමේ මාර්ගය මගහැරී යනුඇත. සතර අපායෙන් මිදීමේ මඟ අපට අතහැරී යනු ඇත. අතීත සම්බුද්ධ ශාසනවලද කරන ලද දෙයම වර්තමානයේදී කළ අවාසනාවන්තයෙක්‌ම වනු ඇත.

ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වැඩීමේදී ශීලය නැමැති තුන්මං සන්ධියේදී සමාධිය දෙසට යන කෙළින් පාරද, දිව්‍ය, මනුෂ්‍ය ලෝක සැප දෙන දකුණට හැරෙන පාරද, සතර අපායට වැටෙන වමට හැරෙන පාරද ඔබට මුණගැසෙනු ඇත. ඔබ මෙහිදී දක්‍ෂ විය යුතුය, සමාධිය දෙසට යන කෙළින් පාරේ ඔබේ ගමනාන්තයට යැමට ඔබ අදක්‍ෂ වුවහොත්, සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්‌ගේ උපදෙස්‌ ඔබට අහිමිවුවහොත් ශීලය නිසා සතිය සිහිය දියුණුකරගැනීම වෙනුවට තමා රකින ශීලය නිසා ඇලීම, ගැටීම ඇතිකරගතහොත් ඔබ නියත වශයෙන්ම ශීල මංසන්ධියේදී සමාධිය දෙසට ඇති කෙළින් පාරේ නොයා දකුණට හෝ වමට හැරෙනු ඇත. ඔබ දක්‍ෂ ලෙස ශීල මංසන්ධියේදී නිවැරැදි මග තෝරාගෙන සමාධිය දෙසට ඇති කෙළින් පාරේ ඉදිරියට ගියහොත් ඔබට සමාධි මංසන්ධියද මුණගැසෙනු ඇත.

එහිද තුන්මං සන්ධියකි. සමාධි මංසන්ධියෙන් කෙළින් පාර ප්‍රඥාව දෙසට, එනම් ගමනාන්තයට යන පාරය. දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම සැප දෙන දකුණට ඇති පාරද, සතර අපායට යන වමට හැරෙන පාරද ඇත. මෙහිදීද ඔබ ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරේ ගමන් කිරීමට දක්‍ෂ විය යුතුය. මා තුළ සමාධිය ඇතැයිද, සමාධිය තුළ මා ඇතැයිද සමාධිය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, සමාධිය නිසා ඇලීම සහ ගැටීම නිසා ගමනාන්තයට යැම පසෙක තබා ඔබ දකුණට හෝ වමට හැරෙනු ඇත. සමාධිය තුළ ඇති සංසිඳීම, උපේක්‍ෂාසහගත බව නිසා මුළාවට පත්වන්නන් අපමණය.

තමා රකින ශීලය සහ සමාධිය නිසා තමා තුළ ලෝක ස්‌වභාවයන්ට ඇති ඇල්ම සහ ගැටීම සේම උපේක්‍ෂාව තුළද ඇත්තේ අනිත්‍ය පිළිබදව ශුන්‍ය දැනීමකි. මෙහිදී ඔබ රකින ශීලය, සමාධිය නිසා ඔබ තුළ වැඩෙන්නේ කෙලෙස්‌ ගොඩකි. මමත්වයේ අස්‌වැන්නකි. තමා අනුනට වඩා සිල්වතෙක්‌ය, තමාගේ ශීලය සමාධිය ඉහළය, පිරිසිදුය යන මාන්නය, ඉහත ඇල්ම සහ ගැටීමට හේතුවයි. ඒ මෙන්ම අවංක නොවන ඕනෑම කෙනකුට දැනුවත්ව හෝ නොදැනුවත්ව සැඟවීසිටිය හැකි තැනකි ශීලය සහ සමාධිය. මේවා තමන් විසින් තමන් රවටවාගැනීමේ ධර්මතාවයන්ය. ඔබ සැබෑ ලෙස ශීලය තුළ, සමාධිය තුළ හික්‌මුණ කෙනකු නම් ඔබ තුළින් මාන්නය, ලෝක ධර්මයන්ට ගැටෙන ස්‌වභාවය අවම විය යුතුය. ඔබ ගැන ඔබට ස්‌වයං පරීක්‍ෂණයක්‌ කිරීමෙන් ඔබගේ ශීලයේ සමාධියේ ස්‌වභාවය ඔබටම හඳුනාගත හැකිය. ඔබ ස්‌වයං පරීක්‍ෂණයක්‌ කර ඔබගේ ස්‌වභාවය යම් මොහොතක අවබෝධ කරගත්තද ඒ මොහොතේ ඔබ ලද නිගමනය ඊළඟ මොහොතේ ධන හෝ සෘණ භාවයට පත්වනු ඇත. මන්ද ශීලය හෝ සමාධියේ ස්‌වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන නිසාය. එහෙයින් තමා මෙතැන සිටිනවා යෑයි ස්‌ථිර නිගමනයකට පැමිණීමට කිසිවෙක්‌ට නොහැකිය. මන්ද, ස්‌ථිරභාවයේ පවතින දෙයක්‌ ලෝකය තුළ නොමැති නිසාය.

ඔබ තුළ ඇති ලෝක ධර්මයන්ට ඇලීමේ ගැටීමේ ස්‌වභාවය සඟවාතැබීමට සමාධියට ඇත්තේ පුදුමාකර හැකියාවකි. මාර්ගඵල උන්මාදය ඇතිකරන ප්‍රධාන සතුරා සමාධියයි. සමාධිය වැඩීම නිසා ඇතිවන සංහිඳියාව නිසා, 'තමා අනාගාමීය, අරිහත්ය', යන මුළාවට පත්වූ පිංවත් චරිත අප්‍රමාණය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා නොකරන පිංවත් චරිත අපමණය. තමා හැමෝටම වඩා ශ්‍රේෂ්ඨය යන මනෝභාවය තුළ හැසිරෙන චරිත අපමණය. මේ සමාධියේ ගොදුරුය. ඉතාමත්ම පහසුවෙන් සමාධියේද අනිත්‍යභාවය වඩමින්, දකිමින් ප්‍රඥාව දෙසට යැමට ඔවුනට හැකිවුවද සමාධි සැපයට ඇලීම නිසා එහි නිත්‍යභාවයක්‌ දැකීම නිසා ඔවුහු අතරමග නතරවෙති. සමහර පිංවත් භික්‍ෂූන් වහන්සේලා දෑස්‌ අඩවන්කොටගෙන සංසුන් ඉරියව්වෙන් දානශාලාවේ දානය වළඳති. දානශාලාවේ සාමණේර හිමිනමකගෙන් කුඩා වරදක්‌ වුවද ප්‍රතිචාරය කේන්ති යැමය. මේවා සමාධිය තුළ සැඟවී ඇති මාරයෝය. අප පිළිබඳ අපි ස්‌වයංපරීක්‍ෂණ නොකිරීමේ ප්‍රතිඵලයි. ඔබ සම්පූර්ණ කළ, ශීලයත් සමාධියත් අනිත්‍යබව දකිමින් නොවැඩීමේ ප්‍රතිඵලයයි. ලෝක ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදැනීමේ ප්‍රතිඵලයයි. මෙවැනි පිංවතුන් සමාධි මංසන්ධියේ සිට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාර මඟහැර මංමුළාවීම ඒකාන්තය. තමා කෙරෙහි තමා නිහතමානී නොවීම මීට හේතුවයි. අනුන්ගේ වරද දකින ඔබ, ඊට ප්‍රතිචාර දක්‌වන ඔබ, ඔබ තුළ ඇති වරද නොදැකීම මෙයට හේතුවයි. එසේ ඔබතුළ ඇති වරද ඔබ නොදකින්නේ ඔබ තුළ ඇති මාන්නය නිසාය. මෙය සැගවී තිබුණේ සමාධිය තුළය.

නිරතුරුවම ඔබ කැමතිම අකමැතිම ස්‌වභාවයන් සොයා ගොස්‌ ඒවාට මුහුණදෙන්න. අත්දකින්න. අත්විඳින්න. ඒවාට ඇලෙන්න ගැටෙන්න නොයන්න. මෙසේ ක්‍රියාත්මකවෙමින් ඔබේ ශීලයත් සමාධියත් නිරතුරුවම ස්‌වයං පරීක්‍ෂණයට ලක්‌කරන්න. එවිට ඔබට පහසුවෙන් ප්‍රඥාවේ මගට අවතීර්ණ වෙන්න පුළුවන්.

ශීලය සහ සමාධිය ඔබ විසින් ආරක්‍ෂා කරගතයුතු, වැඩිය යුතු දෙයකි. ශීලය ආරක්‍ෂාකරගත් තරමට ඔබ සිල්වත් වේ. සමාධිය වැඩූ තරමට ඔබගේ චිත්ත සමාධිය දියුණුවේ. එහෙත් ඔබ සමාධි මංසන්ධියෙන් ප්‍රඥාව දෙසට ගමන් කිරීමේදී ඔබ කළ යුත්තේ ආරක්‍ෂා කිරීම හෝ වැඩීම නොවේ. අතහැරීමය. ශීලය ආරක්‍ෂා කිරීම සහ සමාධිය වැඩීම නිසා ඔබ ඇතිකරගත් චිත්ත ඒකාග්‍රතාව ප්‍රයෝජනයට ගෙන සිතේ ස්‌වභාවය දැකීමය. පංච උපාදානස්‌කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීමය. ඇති වෙමින් නැතිවෙමින් ගලාගෙන යන සිතේ ස්‌වභාවය දැකීමය. දකිමින් තමාට අයත් නැති ආගන්තුක සිත් අතහැරීමය. ශීල සමාධි මාර්ගය වඩන විට ඔබ කළේ ශීලය ආරක්‍ෂා කිරීමය, සමාධිය වැඩීමය. ඒ තුළින් චිත්ත සමාධිය ඇති කරගැනීමය. මෙසේ මංමුලාවීම් වලින් තොරව සුවසේ සමාධි මංසන්ධිය පසුකොට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරට අවතීර්ණ වීමට ඔබ දක්‍ෂ වුවහොත් ඉන් ඔබ්බට ඔබට ආරක්‍ෂා කිරීමට හෝ වැඩීමට දෙයක්‌ නොමැත. ඔබ කළ යුත්තේ සමාධිමත් සිතින් සිත දෙස බැලීමය. සිත දෙස බලමින් ඔබට ආගන්තුක, ඔබගේ වසඟයේ නොපවතින, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ඔබගේ අක්‍රීය කය ක්‍රියාත්මකභාවයට පත්කරවන සිතේ ස්‌වභාවය දැකීමය. දකිමින් ඔබට අයිති නොමැති සිත අතහැරීමය. සිතක්‌ අත්හැරෙන මොහොතක්‌ පාසා ඔබට කයේ වචනයේ ක්‍රියාත්මභාකවය අතහැරෙනු ඇත. අතහැරෙන සෑම සිතක්‌ පාසාම ඔබට අතහැරෙන්නේ දුකයි. ජාති, ජරා, ව්‍යාධි මරණ ඇතිකරන ලෝකයයි. නිරතුරුවම ඔබ තුළින් ඔබව ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌ කරන්න. 'මම' කියන චරිතය හැම මොහොතකම පරාජය කර දමන්න. 'මගේ ශීලය, මගේ සමාධිය, මගේ ප්‍රතිපදාව, මගේ ශ්‍රද්ධාව'...... මේවායින් ඔබ හිස්‌වන්න. මම ගැන අඩුවෙන් කථාකරන්න. මගේ හැකියාවන් ගැන අඩුවෙන් කථාකරන්න. ඇති වෙමින් නැතිවෙන සිතක්‌ සකස්‌ නොවුවහොත් මේ කය 'මම' මළකඳක්‌ බව සිතන්න. අනිත්‍ය සංඥාවම වඩන්න. අනිත්‍යයට අයිති ලෝක ධර්මයන්ට නොඇලී, නොගැටී ප්‍රඥාව දෙසට ගමන් කිරීමට ඔබ දිරිමත්වන්න.

ඔබට හොඳ පැහැදිළි උදාහරණයක්‌ දෙන්නම්. ඔබ පිටකොටුවෙන් බසයක නැග කතරගමට යනවා යෑයි සිතන්න. එවිට ඔබේ ගමනාන්තය කතරගම. එහෙත් ඔබ බස්‌රථයේ යන විට කළුතර බෝධීන් වහන්සේ, චෛත්‍යරාජයා, කළුගඟ.... එහි අසිරිය දැකලා ඔබ බසයෙන් බැස ඉහත ස්‌වභාවයන්ට ඇලිලා කළුතර නතරවෙනවා. පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න. බැහැ නේද? ඔබ කළුතරට ඇලුනු නිසා එහි නතරවුණා. මෙහෙම කළුතර නතරවෙලා එහි අසිරිය විඳිමින් සිටින විට ඔබට සිහිය ඇතිවෙනවා ඔබගේ ගමනාන්තය ගැන. එවිට ඔබ කළුතරට ඇති ආශාවෙන් මිදිලා නැවත කතරගම බසයක නැගලා ගාළුපාරේ ඉදිරියට යනවා. මෙහෙම යනකොට ඔබ තිස්‌සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ, තිසාවැව ආදිය දැකීම නිසා නැවතත් එම ස්‌වභාවයන්ට ආශාවෙන් තිස්‌සමහාරාමයෙන් බසයෙන් බසිනවා. ඉහත ස්‌වභාවයන්ට ඇලීම නිසා ඔබ තිස්‌සමහාරාමයේ නතරවෙනවා, පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න? බැහැ. අතරමග යමක්‌ තන්හාවෙන් අල්ලාගැනීම නිසා ගමනාන්තයට නොයා ඔබ අතරමඟ නැවතිලා. නමුත් මාර්ගය පැහැදිළිව තිබෙනවා. අවශ්‍ය ප්‍රවාහන පහසුකමත් තිබෙනවා. එහෙත් ඔබ අතරමග ස්‌වභාවයන්ට ඇලීම නිසා, ඒවා අනිත්‍ය වශයෙන් දැක ඇතහැරීමට අදක්‍ෂ නිසා ඔබ ප්‍රමාදයට පත්වෙලා. එහෙම වීම ස්‌වභාවිකයි. කළුතරදීද, තිස්‌සමහාරාමයේදීද ඔබ විඳින්නේ සම්බුදු පහසයි. ඔබ තුළින් රැස්‌වන්නේ කුසල් සිත්ය. එහෙත් ඒවා අයිති ලෝකයටයි. අපි මේ කථාකරන්නේ ලෝකයෙන් එතෙරවීම සඳහා වැඩපිළිවෙලයි. හොඳයි ඔබට තිස්‌සමහාරාමයේදී නැවත ගමනාන්තය පිළිබඳව සතිය සිහිය ඇතිවෙලා ඔබ කතරගම බසයකට ගොඩ වුනොත්, කතරගමට තව බොහොම කෙටි දුරයි තිබෙන්නේ. නමුත් අදක්‍ෂ, හැමදෙයටම ඇලෙන පිංවතුන් මේ කෙටිදුර ගෙවාදමා ගමනාන්තයට නොයා අතරමග පදිංචි වෙනවා. මෙය පෘතග්ජන ස්‌වභාවයයි. මෙම ස්‌වභාවයෙන් ඔබට මිදියහැක්‌කේ ප්‍රඥාව වඩවාගැනීමට උපකාර ධර්මයන් වන, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ශීලය සහ සමාධිය අනිත්‍ය වශයෙන් දකිමින්, අත්විඳිමන්, අවබෝධය ලබමින් අතහැරීමය. එසේ නොවඩන්නා නිවන් මගෙන් ඈතට ගිය ලෝකය තුළ සැරිසරන්නෙක්‌ වීම අරුමයක්‌ නොවේ. අතරමග නොනැවතී පෙරටම යන්න. හමුවෙන කිසිවෙක්‌, කිසිවක්‌ මමත්වයෙන් නිත්‍යභාවයෙන් නොගන්න. ඔබට ගමනාන්තය මුණගැසෙනු ඇත.

සැබෑලෙසම නිවන්මගේ හික්‌මෙන්නාට අතහැරීම යනු, අතහැරීමේ සීමාව යනු ආරණ්‍ය, පන්සල, කුටිය. සිව්පසය..... මේ ආදී භෞතික සම්පත් අතහැරීම පමණක්‌ නොව, ඒවායෙන් මනින සීමාවක්‌, කඩුල්ලක්‌ නොව, මේ ඉහළට ගන්නා හුස්‌ම පොද නැවත නාසයෙන් පහළට එන විට මේ ජීවිතය මරණයට, විනාශයට පත්වෙනවාය යන සීමාව මතකයේ තබාගන්න. නිරතුරුවම නාසයෙන් හුස්‌මපොදක්‌ ශරීරයට ආශ්වාසය කිරීමේදී එම හුස්‌මපොද ශරීරයෙන් පිටකරන මෙහොතේදී මරණය සිදුවේය යන ලෝකයේ සැබෑම ධර්මයට අනුව ඔබ සිතන්න පුරුදුවෙන්න. 'මම' වශයෙන් හඳුන්වාගන්නා මේ ආශ්චර්යවත් මිනිසාට මේ ලෝකය තුළ හුස්‌මක්‌ ඉහළට ගෙන එය නැවත පහතට හෙලන තරම්වත් කාලයක්‌ නිත්‍යභාවයෙන් අයිති නැති බව අවබෝධයෙන් දකින්න. ආශ්වාස කරන හුස්‌ම පොද ප්‍රාශ්වාස කරන මොහොත දක්‌වාමත්, නිත්‍යභාවයේ නොපවතින 'මම' මමත්වයෙන් නොගන්න. 'මගේ ශීලය, මගේ සමාධිය, මගේ විනය, මගේ ප්‍රතිපදාව, මගේ ජ්‍යෙaෂ්ඨත්වය' ආශ්වාස ප්‍රාශ්වාස කරනා හුස්‌මපොදක්‌ තරම් වේලාවක්‌ තරම්වත් නිත්‍යභාවයේ නොපවතින අරාජික ධර්මතාවයන් බව පිංවත් අපි නිරතුරුවම දකිමු. එසේ දකිමින් ශීල, සමාධි මාර්ගය සුවසේ මංමුලාවීම් වලින් තොරව පසුකොට, ලෝකයට අයිති දුක මගේ කරගෙන දුක්‌ විඳින ලෝකයෙන් මිදීම පිණිස ඔබට අයිති නැති ලෝකය ඔබේ කරදෙන, අවිද්‍යාවෙන් තෙමුණ, ඇතිවෙමින් නැතිවෙන, ඔබට ආගන්තුක සිත අවබෝධයෙන් දකිමින් අතහරින්න. ඔබට අතහැරෙන අතහැරෙන සිතක්‌ පාසා, ලෝකය අතහැරීමට අවශ්‍ය ප්‍රඥාව ඔබ තුළ වැඩෙනු ඇත.

ඔබ මොන දෙයකට ඇලුනද එම ඇලීමේ ස්‌වභාවය තුළ ගැටීමද ඇත. ඔබ මෙහෙම සිතන්න. යමෙක්‌ ශීලයට ඇලෙනවා, 'මා තුළ ශීලය තිබෙනවා. ශීලය තුළ මා සිටිනවා' කියලා දකිමින්, තමා ඉහළයයි අන්‍යයන් පහත්කොට දකිනවා. දුස්‌ශීල කොට දකිනවා. ඔහු මාළු නොකනවා පමණක්‌ නොවෙයි, මාළු අනුභව කරන, මාළු විකුණන, මාළු වියන, මාළු අල්ලන, මාළු ඇති කරන අය සමගත් ගැටෙනවා. ඒ විතරක්‌ නොවෙයි මාළු දැලක්‌, මාළු බෝට්‌ටුවක්‌ දැක්‌කත් ගැටෙනවා. ඇයි මේ ගැටීම? ශීලය කෙරෙහි අන්තවාදීව ඇලීම නිසායි මේ ගැටීම ඇති වුණේ. එහෙමනම් පිංවත් ඔබ මහලොකුවට ආරක්‍ෂා කරන ශීලය තුළ ඇලීමත් ගැටීමත් දෙකම දෝරෙ ගලා යනවා. ඒ කියන්නේ ඔබ නිවීමේ මඟ දෙසට යනවා නොවෙයි. භවයට අවශ්‍ය සංස්‌කාර

රැස්‌කරන්නෙක්‌ බවට පත්වෙනවා. සමාධිය කෙරෙහි ඇලීමේදී තමා තුළ සමාධිය තිබෙන නිසා අන්‍යයන් සිනාසෙනකොට, හඬනකොට ශබ්ද නඟනකොට, ශබ්දයෙන් බණ පදයක්‌ පිරිත් පදයක්‌ කියනකොට ඒ හඬට ගැටෙනවා. ඇයි මේ ගැටීම...? තමා සමාධියට ඇලීම නිසයි. හොඳින් දකින්න ශීල සමාධි වේශයෙනුත් අපට නිවන්මග අවහිරකොට, භවමග විවෘත කර දෙන්නේද මාරයාමය. මාර ධර්මයන් හොඳින් අවබෝධයෙන් හඳුනාගෙන කළ්‍යාණ මිත්‍ර ඇසුරකින් නිවී සැනසෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ


2012.04.22 ඉරිදා දිවයින 

සයනයේ ප්‍රේතිය

අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්‍ෂුවක්‌ එක්‌ අවස්‌ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක්‌ දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්‌වභාවයෙන් යුතු බවයි භික්‍ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්‌ද හැඟුණා. භික්‍ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා. නිදන කාමරයේ කිසිවෙක්‌ සිටියේ නැහැ. හරිම පාළුවටයි පෙනුණේ. භික්‍ෂුවට දැනුනේ මෙය ඇය මනුෂ්‍ය ජීවිතයේදී පරිහරණය කළ කාමරය කියලා. නිදන කාමරයේ සයනය කළුපාට ඇඳ ඇතිරිල්ලක්‌ එලා කොට්‌ටයක්‌ සහිතව පිළිවෙළට තිබුණා. කිසිවෙක්‌ කාමරයේ නැහැ. හරිම නිශ්චලයි.

නමුත් එකපාරටම අර සයනයේ එලලා තිබූ ඇඳ ඇතිරිල්ල මෑත් කරගෙන තම ස්‌වරූපය ඝන භාවයට පත්කරගනිමින් තරුණ ප්‍රේතිය ඇඳෙන් නැඟිට කාමරයෙන් එළියට ගියා. ක්‍ෂණයකින් නැවත කාමරයට ආවා. ඇඳ ඇතිරිල්ල පොරවාගෙන ඇය නැවත නිදාගත්තා. එහෙත් දැන් ඇඳේ කිසිවෙක්‌ නැහැ. ඇඳ ඇතිරිල්ලත් හොඳට පිළිවෙළට නැවත තිබෙනවා. ඒ කියන්නේ ප්‍රේතිය ඇඳ ඇතිරිල්ල යට සිsටිනවා. කිසිවකුට පෙනෙන්නේ නැහැ. දකින්න බැහැ. කවුරුවත් හිතන්නේ නැහැ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක්‌ ඉන්නවා කියලා. බලන්න ඇය උපාදානය කරගත් ස්‌ථානය. ඔබට හිතන්න පුළුවන්ද?

ඔබ නිවසේ කාමරයේ සයනයේ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක්‌, ප්‍රේතයෙක්‌ සැතපී ඉන්නවා කියලා. ඉහත භික්‍ෂුවට ඇය ඝන ස්‌වභාවයෙන් දර්ශනය වූ නිසා මේ ප්‍රේතිය දැකගැනීමට හැකිවුණා. ගවුමක්‌ ඇඳගෙනයි සිටියේ. තරුණියක්‌ වුණත් ඇය මලානික, රෝගී ස්‌වභාවයෙන් යුත් ප්‍රේතියක්‌. භික්‍ෂුව ඇය දැක ඇත්තේ මලානික, මලමිනියක්‌ ඇවිදින ස්‌වරූපයෙන්. මුහුණේ බිය මුසු හැඟීමක්‌ තිබුණා. මගේ තැන, මගේ ස්‌ථානය අහිමිවේය කියන හැඟීමකින් වගේ මහත් තන්හා සහගත සිතකින් ඇය කාමරයෙන් එළියට ගිය සැනින්ම නැවත කාමරයට පැමිණ, සයනයේ ඇඳ ඇතිරිල්ල ඇතුළට ගොස්‌ ඇයගේ ඝන කයේ ස්‌වරූපය නැතිකරගත්තා. ඇය මනුෂ්‍ය ජීවිතයේ එම නිවසේ ජීවත් වූ තරුණියක්‌. ඇය රෝගීව මියයන මොහොතේ තමන් අල්ලාගත් තැන ප්‍රේතියක්‌ ලෙස නැවතත් ප්‍රතිසන්ධිය ලබන්නට ඇතැයි සිතන්නට පුළුවන්. බලන්නකෝ වාසනාවන්ත මනුෂ්‍ය දියණියකගේ අවාසනාවන්ත නැවත උපත මොන දුකක්‌ද කියලා. කවදා සැනසිල්ලක්‌, ගැලවීමක්‌ ලබයිද කියලා. මේ ප්‍රේතිය ඇඳට නැඟ ඇඳ ඇතිරිල්ල යටට යන්නේ ඉඩෝරය දැඩි කාලයක වතුර වලක්‌ දැක මී හරකෙක්‌ යම් සේ තෘෂ්ණාවකින් එම වතුර වළට බසීද එම ස්‌වරූපයේ කැමැත්තකිනුයි. එලෙස ඇය ඇඳ ඇතිරිල්ල යටට ගොස්‌ නිදා ගනී. එය ඇය ගත් උපාදානයේ බලවත්කමයි. මේවා පාඩමට ගෙන ඔබත් ස්‌ත්‍රී පුරුෂ වයස්‌ භේදකින් තොරව කුසල් දහම් වඩා ජීවිතයෙන් අතහැරීම පුරුදුකර මෙවැනි දුක්‌ දෙන සතර අපායෙන් මිදෙන්නට අවශ්‍ය කරුණු කාරණා ජීවිතයට එකතුකර ගන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළා, මේ සසරින් ගැලවීයන්න නම් ඔබ මුලින්ම මේ සසර දුක්‌ත බව, බියකරු බව, විශම බව දකින්න ඕනේ කියලා. මෙම අත්දැකීම්වල ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් මිදෙන්න ඔබත් වීරිය වඩන්න. නිරතුරුව ඔබ මොන පිංකම් සිදුකළත් මොන ශීලයක්‌ ආරක්‍ෂා කළත් අතහැරීම පුරුදු කරන්න. තමාගේ අඹුදරුවන්, ගේ දොර, ඉඩකඩම්, ව්‍යාපාර, යානවාහන, තමාගේ නිදන කාමරය, සයනය පවා මගේ කර නොගන්න. ඒවා පරිහරණය කරන්න. භුක්‌ති විඳින්න. ඔබේ සැප උදෙසාද, අන්‍යයන්ගේ සැප සතුට උදෙසාද, ශාසනය උදෙසාද යොදවන්න. ඔබද සතුටුවෙන ගමන් ඒවා අනිත්‍ය බවත් zමගේ අච්චී සීයා, මගේ අම්මා තාත්තා මේ සියල්ල දමලයි, තියලයි මියගියේ. කිසිවක්‌ රැගෙන ගියේ නැහැ. මම ද මේ කිසිවක්‌ අරගෙන යන්නේ නැහැZ කියලා, ඉහත දේවල් වලට ඇති බැඳීම අල්ලාගැනීම අතහැර ඒවා භුක්‌ති විඳීමට පුරුදුවෙන්න. ඔබ ඒවා මගේ කර අල්ලාගත්තා යනු, තෘෂ්ණාවෙන් බැඳුනා යනු, අතහැරගැනීමට බැරි වූවාය යනු අවාසනාවන්ත උපතක්‌ නැවත ඔබ ඔබේ කරගැනීමකි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

2012.04.08 ඉරිදා දිවයින 

ආශාවේ වියරුව - කැමැත්තේ මරලතෝනිය

මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති - සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි.

මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්‍ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්‍ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්‍ෂූන් ඉදිරි පෙළ ආසනවල නොසිටියේය. ප්‍රේත භික්‍ෂූන් සිටියේ ප්‍රේතයන් සමඟ කලවමේ අසුන් ගෙනය. සමහර ප්‍රේත භික්‍ෂූන් පසුපසම පේලියේද අසුන්ගෙන සිටියේය. ප්‍රේත ලෝකයේ තෙරුවන් ගැන හැඟීමක්‌ නැති නිසා, ප්‍රේත ලෝකයේදී භික්‍ෂු ප්‍රේතයා ද සමාන්‍ය ප්‍රේතයෙක්‌මය.

මේ අය එකට රැස්‌වී ප්‍රේත රැස්‌වීම පවත්වයි. මේ රැස්‌වීම එකම ගාලගෝට්‌ටියකි. හැමෝම නායකයන් වීමට, හැමෝම දේශන පැවැත්වීමට, තම මතය දිනවීමට උත්සාහ ගනී. අයෙකුට නිදහසේ කතා කිරීමට අනෙකා ඉඩ නොදේ. කිසිවකු තෘප්තියට පත් නොවේ. කිසිවකුත් සතුටට පත්නොවී, සැවොම දුක වේදනාව, බලාපොරොත්තු කඩවීම් උරුම කරගනිමින් රැස්‌වීම කඩාකප්පල් වේ. එකිනෙකාට බැණ වදිමින් විසිර යති.

පෙර ආත්මවල අනුනට අවස්‌ථාව නොදී බලකාමයෙන් නිලතල දැරූ, නිලතලවලට ලෝභ කළ ගිහි පැවිදි පිංවතුන් කරගන්නා ලද කර්ම වල විපාකයන් විඳගන්නා අයුරු අපූරුයි නේද? මෙම කර්මය විඳින ප්‍රේතයන් තම ප්‍රේත ජීවිතය පුරාවට කරන්නේ රැස්‌වීම් තැබීම සහ රැස්‌වීම් කඩාපල්වීම නිසා දුකට පත්වීමය. පෙර අකුසල් ශක්‌තිය නිසා මේ අයට කිසිදාක ප්‍රේත රැස්‌වීම් සාර්ථක කර ගත නොහැක. රැස්‌වීම් කඩාකප්පල් වූ විට ප්‍රේතයන් එකිනෙකාට වෛරයෙන්, ක්‍රෝධයෙන් බැණ වදිමින්, ඇනකොටා ගනිමින්, දත්මිටිකමින් සීසීකඩව විසිර යයි. තමන් නායකයා වීමට ඇති ආශාව නිසාම ප්‍රේත ලෝකයේදී ද මේ අය මහා අකුසල් රැස්‌කරගෙන තව තවත් දුකට ඇදී යයි. ප්‍රේත ලෝකයේ ගත කරන සෑම නිමේෂයකදීම ඔවුන් රැස්‌කරන්නේ අකුසලයකි. එහෙයින් ඔවුනට සසර කල්ප ගණනාවකින් සුගතියක උපත ලැබීමට නොහැකිය.

ඔබ ගත කරන ඔය වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබගේ අදක්‍ෂභාවය නිසා සතර අපායට වැටුණොත් ඔබේ අනාගතයද අඳුරින් අඳුරටමය. ඔබ භුක්‌තිවිඳින මොන දෙයවත් තන්හාවෙන් තොරව භුක්‌ති විඳින්න. අනුන්ගේ අකමැත්තෙන් භුක්‌ති නොවිඳින්න. බලහත්කාරයෙන්, බොරුවෙන්, නැති ගුණ පෙන්වමින්, තමාට වඩා සුදුසු අය සිටියදී ඔබ එය අයිති කරගැනීමට නොයන්න. ඔබ අසීමිත තන්හාවෙන් මේවා අයිති කරගැනීමට ගියහොත් ප්‍රේත ලෝකයේ ප්‍රේත රැස්‌වීම් අංශයේ ඉපිද, නිතිපතා ඉහත ප්‍රේතයන් විඳින දුක විඳිය හැකිය. ප්‍රේත රැස්‌වීම් කඩාකප්පල් වී ගිය විට ප්‍රේතයන් හැසිරෙන්නේ හිස ගිනිගත් පුද්ගලයන්, වියරුවෙන් දඟලන්නා සේය. එය ඔවුනගේ තන්හාවේ ස්‌වභාවයයි. ආශාවේ වියරුවයි. කැමැත්තේ මරලතෝනියයි.

ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ දේවල් මොනතරම් පැහැදිලිව දේශනා කර තිsබෙනවාද. මේ සියල්ල අත්දැකීමෙන් අත්දකිද්දී ලෝක ස්‌වභාවයන් පිළිබඳ ඥාන දර්ශනයන් පහළවන කොට ඔබටත් දැනේවි ඔබ සැබෑ බුදු පුතෙක්‌ය කියලා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


2012.04.01 ඉරිදා දිවයින 

අපායේ උපතක්‌

ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.

මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.

විපාකය විඳීම පිණිස නිරයේ එම කොටයේ මුහුණත බදාගෙන සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා දෙස බලන එම නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ මොහොතේ හරකා සැපක්‌ හැටියටයි නිරිසතා දකින්නේ. එහෙත් නිමේෂයකින් කොටයේ බැඳ තිබූ හරකා තියුණු උල් සහිත ත්‍රිශූලයක්‌ වැනි කැපෙන ආයුධ දෙකක්‌ අත් දෙකේ ඇති යෝධ යමපල්ලෙක්‌ බවට පත්විය. හරකා ඉදිරි ගාත් දෙක ඔසවා යම පල්ලෙක්‌ බවට පත්වෙද්දී නිරිසතා මරහඬින් කෑගසයි. තියුණු ආයුධ දෙකින් කොටයේ මුදුනත එල්ලී සිටින නිරිසතා දැඩි ලෙස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. මන්ද නිරිසතා කනුවේ ඇලී තිබුණු ස්‌වභාවයක්‌ භික්‍ෂුවට දර්ශනය විය. යමපල්ලා අත තිබූ ආයුධ දෙකින් ඇනීම නිසා ලෝකයේ සත්වයෙකුට විඳිය හැකි දරුණුම වේදනාව විඳිමින් නිරිසතා ලතෝනි දෙනවිට තවත් යම පල්ලන් දෙදෙනෙක්‌ ආරක්‍ෂකයන් සේ ඊට නුදුරින් බලාසිටියේය. යමපල්ලාගේ ස්‌වභාවය අඩි 7 ක්‌ පමණ උසැති කළු පැහැති කාපිරි මිනිසෙක්‌ සේ තොල්, ඇස්‌ ලොකු රෞද්‍ර, උඩුකය නිරාවරණය වී ඇති, රෙදි කඩක්‌ දනහිස තෙක්‌ දැරූ අයෙකි. එම නිරයේ දර්ශනය එතැකින් නිමා වුවද, භික්‍ෂුව සිතන්නේ මෙම නිරිසතා වේදනාවෙන් මියගොස්‌ නැවතත් එම කොටයේම ඉපැදෙමින්, නැවත නැවතත් එම විපාකයම කල්ප ගණනාවක්‌ විඳින බවයි.

නිරිසතා කොටය මත පහළවී එහි බැඳ තිබූ හරකා දකිද්දී නිරිසතා සතුටට පත්විය. ඒ මොහොතේම කර්මය විපාක දීම ඇරඹේ. මනුෂ්‍ය ලෝකයේ හරකෙක්‌ මරන්නේ යම් සේද, ආයුධ උපයෝගී කරගෙන එම ආයුධ වලින්ම හරකාට අනිමින්, කපමින් ඌව මස්‌ කරන්නේ යම් සේද, එම නිරිසතාවද හරක්‌ වේශයෙන් පෙනීසිටි යමපල්ලා විසින් ආයුධ දෙකින් ඇන මරා දමනු ලබයි. මෙසේ කල්ප ගණනාවක්‌ නැවත ඉපැදෙමින්, නැවත මැරුම් කයි. කර්ම විපාකය ගෙවෙන තෙක්‌ දුක බරපතළය. මෙහිදී නිරි සතා විඳින වේදනාව නිසා ඇතිවන සිත් වෛරය, ක්‍රෝධය, ගැටීම පදනම් කරගත් ඒවාය. එහෙයින් නිරයේ දුක තව තවත් වැඩිවෙමින් දුකෙන් දුකටම ඇදී යයි.

සතුන් වේදනාත්මකව මරා දමන, සතුනට දුක්‌ දෙන ඔබත්, මේ ක්‍රියාවන් කිරීමට පෙර මොහොතක්‌ සිතන්න. ඔබ අනුනට දෙන දුක කෲර වද හිංසා පොලියත් සමඟම ඔබට ලැබේවි. ලෝක ධර්මය එතරම්ම සාධාරණය. ඔබ කැමති කළ දෙය, ඔබ ආසා කළ දෙය ඔබට ලබාදෙයි. මනුෂ්‍ය ලෝකයේ සිටියදී තමා කැමති කළේ, තමන් උදෙසා හෝ අනුන් උදෙසා හරක්‌ මැරීමටයි. මෙය ඔබට විනෝදයක්‌, සතුටක්‌ වූවාටද සැක නැත. ඔහු නිරයේ නිරිසතෙක්‌ ලෙස ගවයා බැඳ සිටි කණුවේ මුදුනත පහළවන මොහොතේ, කණුවේ බැඳ සිටි ගවයා දැක සතුටට පත්වෙන්නේ, පෙර ආත්මයේ තමා කැමැති කළ මතක සංඥා නිසාය. ඒ නිමේෂයේදී නිරිසතා ලබන සතුට කර්ම විපාකයට පෙර මතකය අවධිකිරීමක්‌ වැනිය.

ප්‍රාණඝාතයට සිත ඇතිවන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවැනි සිත් සංසාරයේ ඔබට මහා දුක්‌ කන්දරාවක්‌ උරුම කොට දුන් බව දකින්න. උතුම් මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපිද, ප්‍රේත ලෝකයට, නිරයට යැමට ලැඡ්ජාව බය ඇතිකරගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්න.


නිවැරැදි කිරීමක්‌

මෙම තීරය යටතේ ඉකුත් සතියේ පළවූ "දහම ඔබ අසලමය" යන ලිපියේ තැන් දෙකක්‌ දෝෂ සහිතව පළව තිබිණි. ඒවා මෙසේ නිවැරැදි විය යුතුය.

"අපේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නමයකින් හඳුන්වාගනී" ලෙස පළවූ කොටස "ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නාමයකින් හඳුන්වාගනී" ලෙසට නිවැරැදි විය යුතු අතර "බාහිර රූපත්, අභ්‍යන්තර ආයතනත්, සලායතන, පස්‌සය වීමෙන් සකස්‌වෙන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය" යන වාක්‍යය "බාහිර රූපත් අභ්‍යන්තර ආයතනත්, විඤ්ඤාණයත් පස්‌සය වීමෙන් සකස්‌වෙන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය" වශයෙන්ද නිවැරැදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ


2012.03.25 ඉරිදා දිවයින 

සිහියෙන් බලන්න... දහම ඔබ අසලමය

ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌....

ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය මග අධ්‍යයනය කරන්න. සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ පෙරුම් පුරා පැමිණියද සිද්ධාර්ථ කුමරාට වයස අවුරුදු 29 වන තෙක්‌ එතුමා ඉලක්‌ක කරගෙන පැමිණි පාරමී ගමනේ අරමුණ ගැන දැනීමක්‌ හැඟීමක්‌ නොදැනින. කුමරාට මෙම සංසාරික ඉව මතුවී එන්නේ සතර පෙරනිමිති දැකීමත් සමඟය. එතෙක්‌ කුමරා ගතකළේ සිය පියා විසින් නිර්මාණය කරන ලද, සැලසුම් කරන ලද දුක නැති සමාජ පරිසරය තුළ කෙළිලොල් ජීවිතයක්‌ය. ධර්මය සොයාගෙන ගිහි ජීවිතයෙන් නික්‌මුණ කුමරා මුලින්ම කළේ සියල්ලම අතහැරීමය. යශෝධරාව, රාහුල කුමරු, රාජ සම්පත් සියල්ලම අතහැරියේය. ප්‍රථම අදියර එය විය. සියල්ල අතහැරලා කැලයටයි ගියේ. පරිසරයට, ස්‌වභාවධර්මයට ගිහින් මොකද කළේ?

කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා.... මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.

මෙවැනි පරිසරයක කුමරා ගිය මඟ කුමක්‌ද? ඔබ නිවීසැනසිල්ලේ සිතන්න. සිතමින් අවබෝධය ලබන්න. කුමරා කැලයට ගොස්‌ බලාගෙන සිටියා පරිසරය, ස්‌වභාවධර්මය දෙස. ඇතිවෙන නැතිවෙන සිතිවිලි දෙස. වෙන බලන්න දකින්න දෙයක්‌ කැලයේ තිබුණේ නැහැ. කුමරා දැක්‌කා උදයට හිරු පායනවා. සවසට හිරු බැස යනවා. රාත්‍රියට සඳ පායනවා. උදේට සඳ බැසයනවා. වැස්‌ස වහිනවා. පායනවා. පින්න, සීතල, සුළඟ, වලාකුළු, දේදුණු එනවා යනවා. නියඟය එනවා, ගංවතුර එනවා. එකම දේ නැවත නැවත සිදුවනවා. ගස්‌වල දලුලනවා, කොළ බවට පත්වෙනවා, වියෑළෙනවා, වැටෙනවා, නැවැත නැවැත ඒ දේම සිද්ධවෙනවා. මල් එනවා, ගෙඩි හැදෙනවා, ඒවා ඉදෙනවා, බිමට වැටෙනවා, පැළවෙනවා, පැළය ගසක්‌ වෙනවා, එකම දෙය නැවත නැවතත් වෙනවා. හිස රැවුල කපනවා. එය නැවත නැවත සිද්ධ වෙනවා. කුසගිනි දැනෙනවා. ආහාර ගන්නවා. එය නැවත නැවත සිදුවෙනවා. ශරීරයේ හැම ස්‌වභාවයක්‌ම, පරිසරයේ හැම ස්‌වභාවයක්‌ම නිත්‍ය භාවයේ නොපැවතී අනිත්‍යභාවයට පත්වෙනවා. බෝසත් කුමරුන් කැලයේ සිටිමින් දකින්න ඇත්තේ ඔය ස්‌වභාවයයි. වෙන දකින්න දෙයක්‌ කැලයේ නැහැ. එහෙම නම් ඉහත පරාසය තුළ ධර්මයේ අර්ථය තිබෙන්න ඕනේ. සියල්ල අතහැරීම තුළ බෝසත් කුමරුන්ගේ සැහැල්ලු, නිකෙලෙස්‌ සිත නිරතුරුවම සමාධිමත්ව තිබීම නිසා ඉහත ස්‌වභාවයන් ඉතා හොඳින් බෝසත් කුමරුන්ට පෙනෙන්නට, දැනෙන්නට ඇත. බෝසත් කුමරුන් සම්මා සම්බුද්ධ පදවිය අවබෝධ කරගන්නා මොහොත දක්‌වාම උන්වහන්සේ අවබෝධය ලැබුවේ ස්‌වභාවධර්මය, පරිසරය තුළින්මය.

ස්‌වභාවධර්මයත්, තමාගේ කයත්, සිතත් දෙස අත්හැරීමෙන් සමාධිමත් වූ සිතින් බැලීමේදී, අනිත්‍ය හැර වෙනත් ස්‌වභාවයක්‌ මෙහි නොමැති බව උන්වහන්සේ දකින්නට ඇත. ඔය මඟ තමයි අපගේ ශාස්‌තෲන් වහන්සේa නිවීම සඳහා ගිය මඟ. අබුද්ධෝත්පාද කාලවලදී පහලවන පසේ බුදුරජාණන් වහන්සේලාද ධර්මය අවබෝධ කරගන්නේ ඉහත බුදුමඟ අනුගමනය කරමින්ය. ඔබේ අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන සැප, කෙටි, දුර, කල්මරණ මාර්ග සිතේ අනිත්‍ය බව දකිමින් අතහරින්න. සැබෑ බදුමඟ ඔබ ගමන් කරන්න. කිරි ගසකට ඇනීමේදී යම්සේ කිරි වෑහේද, ඉහත බුදුමඟ ඔබ ගතහොත් නිවීම ඒකාන්තය. මන්ද එය බෝසතුන් වැඩි මඟ නිසාය. ධර්ම විනය දෙක යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේද ඉහත මාර්ගයමය. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. විනය යනු සතියයි, සිහියයි. එහි අර්ථය zසතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්නZ යන්නයි. ශාසනය තුළ මුල් දශක දෙක තුළදී, විනය පැනවීමකින් තොරව සංඝරත්නය හික්‌මුණේ උන්වහන්සේලා සතියෙන් යුක්‌තව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසාය. එහි ප්‍රතිඵලය ධර්මාවබෝධයයි. පසු කාලීනව සංඝරත්නය සතියෙන් තොරව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසා සතිය සිහිය ඇති කිරීමට විනය පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.

ඔබ දක්‍ෂවෙන්න සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ඔබ දකින්නේ ධර්මයේ ස්‌වභාවයයි. ධර්මයේ ස්‌වභාවය, වෙන දෙයක්‌ නොවේ. අනිත්‍යය පමණමයි. ස්‌වභාව ධර්මයත්, ඔබත් දෙකක්‌ නොව එකකි. දෙකම නිර්මාණය වී ඇත්තේ ඝණ, ද්‍රව, උණුසුම්, වායු ධාතූන්ගෙන්ය. මේවායේ ස්‌වභාවය අනිත්‍යයයි. ස්‌වභාවධර්මයත් ඔබේ කයත් දෙකම ඉහත ධාතූන්ගෙන් සැදි නිර්මානයන්ය. ඇසට නොපෙනෙන, ප්‍රඥාවෙන් පමණක්‌ දැකිය හැකි ප්‍රවේගකාරීව අනිත්‍යභාවයට පත්වන ඉහත ධාතූන්, අනිත්‍යතාවයට පත්වන වාරයක්‌ පාසාම අවකාශ ධාතුවක්‌ද ඇතිකරවයි. එම අවකාශ ධාතුවද ධාතූන් ඇතිවන නැතිවන මොහොතක්‌ පාසාම අනිත්‍යභාවයට පත්වේ. මේ සියල්ලම ශීල, සමාධි, මඟ ඉක්‌මවාගොස්‌ ප්‍රඥාවෙන් දකින ධර්මයෝය. ස්‌වභාවධර්මය ලෙසත්, කය ලෙසත් අපි දකින්නේ විවිධත්වයෙන් යුතු හැඩයන්, වර්ණයන්, ස්‌වභාවයන් ලෙසින් එකිනෙකට වෙනස්‌ ධාතු කොටස්‌ හතර පමණකි.

ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නවයකින් හඳුන්වාගනී. එහෙයින් ඔබ ස්‌වභාවධර්මයත් කයත් එකගොඩකට දමන්න. මේවා ක්‍රියාත්මකභාවයට පත්වන සිත දෙස බලන්න. සිත තුළද ඔබ දකින්නේ අනිත්‍ය ස්‌වභාවය පමණක්‌මය.

බාහිර රූපත්, අභ්‍යන්තර ආයතනත්, සලායතනත් පස්‌සයවීමෙන් සකස්‌වන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය. එහෙයින් මේ සියලු ධර්මයෝ අනිත්‍ය ධර්මයෝය.

ඔබ කළයුත්තේ මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් යුක්‌තව බලා සිටීමම පමණකි. එවිට ඔබ තුළ නිරායාසයෙන්ම වැඩෙන්නේ සතර සති පට්‌ඨානයයි. සතර සතිපට්‌ඨානය නිවන් මඟේ නිවීමේ තීරක බලවේගයයි. කාය, චිත්ත, ධම්ම, වේදනා යනු ලෝකයයි. සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් දැකීම යනු ධර්මාවබෝධයයි. ලෝකාවබෝධයයි.

ඔබ සියල්ල අතහරින්න. අනිත්‍ය වූ රූපය දෙස අනිත්‍යවූ සිතෙන් බලාසිටින්න. එවිට ඔබට සියල්ල ලැබේවි. ඒ සියල්ල ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
2012.03.18 ඉරිදා දිවයින 

හොඳ තැන් සොයමින් යනවා වෙනුවට...

නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්‌, තනිකමක්‌, තැතිගැනීමක්‌, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්‍ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්‌, දඩයක්‌කරුවෙක්‌, සතෙක්‌ මුණගැසුනද එය ඔබේ නොවන බැවින් ඔබ ඒ පුද්ගලයා හෝ සතාගේ හැසිරීම් ඉරියව් අතහරිනව. ඔබ තුළට ගන්නේ නැහැ. ඔබ නිවන් මඟවඩන විට මොනම අවස්‌ථාවකදීවත් දෙවැනියෙක්‌ හෝ දෙවැනියෙක්‌ගේ උපකාරය සොයන්න යන්න එපා. ඔබ දෙවැනියෙක්‌ගේ උපකාරයෙන් කැලය තුළ සිටියාට වැඩක්‌ ප්‍රතිඵලයක්‌ නැහැ. ඔබ දෙවැනියෙක්‌ගේ උපකාරය සොයයි නම් ඒ සොයන්නේ ඔබගේ ආරක්‍ෂාවට. ඒ කියන්නේ ඔබ තුළ ආරක්‍ෂා කරගන්න සත්වයෙක්‌ ඉන්නවා කියන එකයි.

සිත ඔබව මුලාකරන මෙවැනි සියුම් තැන් ඔබ පරාජය කරන්න. කොතරම් සතා සර්පයා සිටියද, මොනම අවස්‌ථාවකදීවත් දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ තනියම කැලයට ඇතුළු වෙන්න. කුටිය සොයාගෙන අඩිපාරේ ඔබම යන්න. බියක්‌ තැතිගැනීමක්‌ දැනුණහොත් ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට බිය ඉවත්වෙලා යාවී. කය, සිත අතහැරදා ඔබ යන මේ ගමනේ ඔබට බාධා කරන්න කාටවත්ම බැහැ. එය අතහැරීම තුළ ඔබ ලබන ප්‍රතිලාභයක්‌.

භික්‍ෂුවක්‌ කැලෑ මඟක්‌ ඔස්‌සේ කුටියක්‌ සොයාගෙන තනිවම වඩින විට එම කුඩා කුටියේ මාස තුනකින් පමණ භික්‍ෂුවක්‌ වැඩ සිටලා නැහැ. දුෂ්කර කුටියක්‌. මෙහි භික්‍ෂුව ගත කළේ දින හතක්‌ පමණයි. විදේශීය භික්‍ෂූන්වහන්සේ නමක්‌ වැඩිය නිසා ඉවත්ව ගියා. භික්‍ෂුව කුටියට වැඩිවිට කුටියේ ඇතුළත හතරෙන් පංගුවක්‌ පමණ කොටසක්‌ අඩියක්‌ පමණ උසට තුඹස්‌ බැඳලා. එහි ලෑලි ඇඳක්‌ තිබුණා. ඒ ඇඳේ කකුල් දෙකකුත් තුඹසට බැඳිලයි තිබුණේ. තුඹස තිබියදීම භික්‍ෂුව සුවසේ රැය පහන් කළා. පසුව දා ගමේ ගිහි දරුවන් තිදෙනෙක්‌ ඇවිත් තුඹස ඉවත් කළා.

මෙවැනි අභියෝග වලට කියන්නේ නිවන් මඟ කලමනා කියලයි. කය අතහැරීමේ ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවට මේවා හුඟාක්‌ ප්‍රයෝජනවත්. හැබැයි ඔබ තුඹස දැකලා ගැටුනානම්, නයයි බයයි දෙකම සිත ඔබේ ළඟට ගේනවා. තුඹස දුටු සිත භික්‍ෂුව අතහැරිය නිසා නයයි බයයි දෙකම ඔබට අතහැරුණා. ඔබ තුඹස දුටු සිට නිත්‍ය වශයෙන් ගත්තා නම් නැති සර්පයිනුත් සිටිනවා ඔබට පේනවා.

ඔබ නිවීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන විට සැලසුම් ඔස්‌සේ, පෙර සූදානම් වීම් ඔස්‌සේ පෙරට යන්න එපා. ඒ ඔබ රවටන මාර බලයක්‌. සැලැස්‌මක්‌ හදන්නේ යමක්‌ ගොඩනගන්නයි. ඔබ මේ යන්නේ ලෝකයේ හිස්‌ බව දකින්නයි. සැලසුම් අතහරින්න. ඉදිරියට හමුවන තත්ත්වයට, ස්‌වභාවයට මුහුණ දෙන්න.

භික්‍ෂුවකට දුෂ්කර ආරණ්‍යයකදී වයස අවුරුදු 80 ක පමණ වයෝවෘද්ධ, ඉතා ගුණයහපත්, සත්පුරුෂ භික්‍ෂුවක්‌ මුණගැසුණා. උන්වහන්සේ භික්‍ෂු ජීවිතයෙන් වසර 40 ක්‌ ම ගතකරලා තිබෙන්නේ චාරිකාවේ වඩිමින්. වස්‌ කාලයේ පමණයි එක තැනක වැඩ ඉඳලා තිබෙන්නේ. උන්වහන්සේ ගතකර තිබූ ප්‍රතිපදාව නිසා භික්‍ෂුව සිතුවා උන්වහන්සේ හොඳ අවබෝධාත්මක භික්‍ෂුවක්‌ වෙන්න ඇතිය කියලා. භික්‍ෂුව උන්වහන්සේගෙන් ඇසුවා ඇයි ඔබ වහන්සේ එක ස්‌ථානයක්‌ අල්ලාගෙන නොයිඳ මේ ආකාරයෙන් චාරිකාවේ හැසිරුණේ කියලා. එවිට උන්වහන්සේ කියනවා, මට අවශ්‍ය වුණා මම ආසා කළා මම ඉපදුන රට දැක බලාගන්න. ඒකයි මම චාරිකාවේ හැසිරුනේ කියලා. එම වචන ටික උන්වහන්සේගේ මුවින් පිටවෙනකොට භික්‍ෂුව උන්වහන්සේ තුළ දැක්‌කේ පුංචි සාමනේර හිමිනමක්‌.

බලන්න මොන අපරාධයක්‌ද කරගෙන තිබෙන්නේ, සංචාරකයෙක්‌ බවට පත්වෙලා.

අපේ සිත අපව නිරතුරුවම රවට්‌ටනවා. ඔබ අධිෂ්ඨානයක ඉන්න ඕනේ සිත වැඩෙන සුදුසුම හුදෙකලා ස්‌ථානයක්‌ අරමුණ ජයගන්නා තෙක්‌ ඇසුරු කරන්න. සිත ඔබව සංචාරකයෙක්‌ කරන්න උපදෙස්‌ දේවී. ඔබව ආරණ්‍යයෙන් ආරණ්‍යයට ඇවිද්දවාවී. ඔබ ප්‍රවේශම්වන්න. ඔබ යා යුතු ඊළඟ තැන සැලසුම් කරන්න යන්න එපා. ඔබට ඒවා අදාළ නැහැ. ඔබට තිබෙන්නේ හොඳින් නිවන් මඟ වැඩීමට සිත වැඩෙන ස්‌ථානයක රැඳෙන්නයි. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. කලබල වෙන්න, ආයාසයක්‌ ගන්න එපා. ඊට වඩා සුදුසු ඔබට යායුතු තැනක්‌ වේ නම්, සංඥා මඟින් නොසිතූ ආකාරයට ඔබට ඒවා දැනේවී. ඔබට තිබෙන්නේ අතහැරීම පමණයි. නිවීම දක්‌වා මඟ ඔබට ප්‍රඥාව විසින් මුණගස්‌වාවී. ඔබව රැගෙනයාවී. එසේ නොවුණ හොත් තෘෂ්ණාව විසින් ඔබව සංචාරකයෙක්‌ කරාවී.

ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා. සෑම තැනකම ඔබ හොඳින් ඉන්න. ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා. සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න. ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස හොඳ පමණක්‌ ඔබට සොයාගත නොහැකි බව දකින්න. ඔබ හොඳ පමණක්‌ සොයන්නේ නම්, ඔබට සොයමින් සිටිනවා හැර ජීවිතයේ වෙන කාර්යයක්‌ නොමැති වනු ඇත. මන්ද ඔබ සොයන්නේ නොමැති දෙයක්‌ හෙයිනි. ඔබ අතහැරීමේ උපරිමය තුළ නිවන් මඟ වඩන්නෙක්‌ නම් ඔබ කොතැනකට ගියද ආරණ්‍යයක්‌ වේවා, පන්සලක්‌ වේවා එතැන කැළඹුන තැනක්‌ විය හැක. ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවට මාර බලවේග බියය. ඒ නිසා තම බලකොටුවට පැමිණි ධර්මයේ බලය පලවාහැරීමට පරිසරය ඇති කරයි. ලෝකය තුළ අධර්ම බලවේග වල ශක්‌තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කරගැනීමට යන ගමන මදි පුංචිකම්, චෝදනා, පරීක්‍ෂා කිරීම්, නොසලකා හැරීම්, පීඩන, බාධා වලින් පිරුණු ගමනකි. ඔබ මේවා ඔබේ ගමනට ආශිර්වාදයක්‌ කරගත යුතුය. මන්ද මේ සියල්ලම ලෝකයේ පවතින ධර්මතාවයන් වීමය. ඕනෑම පරිසරයකදී ඔබ "හොඳින් ඉන්න" දක්‍ෂ වෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

 
2012.03.11 ඉරිදා දිවයින

යක්‍ෂයා නොව ධර්මය දකින්න

 භව ගමනේ නවාතැන් පළවල ස්‌වභාවය විවිධත්වයෙන් පිරී පවතී. මේ විවිධත්වය ගොඩනැගී ඇත්තේ සත්වයා කරන ලද කුසල් අකුසල් මතය. දිව්‍ය, මනුෂ්‍ය, ප්‍රේත ලෝකයන් මෙන්ම, යක්‍ෂයන්ගේ ලෝකයද අපූරුය.

යක්‍ෂයන්ද මේ මනුෂ්‍ය ලෝකය තුළම ජීවත්වන පිරිසකි. යක්‌කු, යක්‍ෂණියන් වශයෙන් දෙකොටසක්‌ ඇති බව අසා ඇතත් භික්‍ෂුව දැක ඇත්තේ යකුන් පමණක්‌ය. යක්‍ෂණියන් දර්ශනය වී නොමැත.

යකුන්ගේ ලෝකය පැහැදිලිව කොටස්‌ දෙකකි. සම්‍යදෘෂ්ටික යකුන් සහ මිත්‍යාදෘෂ්ටික යකුන් වශයෙනි. සම්‍යදෘෂ්ටික යකුන් වැඩි වශයෙන් පන්සල්, ආරණ්‍ය, පැරණි පුදබිම්, කැලයේ හුදෙකලා භික්‍ෂූන් වසන ප්‍රදේශ අසලද, මිත්‍යාදෘෂ්ටික යකුන් සොහොන්, අඳුරු ගුහා, ගල්ලෙන්, කැලයේ අඳුරු ප්‍රදේශ, දිය අගල්, නාන තොටවල් ආදිය ආශ්‍රයේද ජීවත් වෙයි.

යකුන් අඳුරට ප්‍රියය. ඒ ඔවුන්ගේ පෙර කර්මය නිසාය. ඔවුන්ද ඕලාරික කයක්‌ සහිත, එම කය ඇසුරුකොට ආයතන හය පිහිටි සත්වයෙකි. යක්‍ෂයාද සතර මහා ධාතූන්ගෙන් සැදුන ඕලාරික කයක්‌ සහිත, නිරතුරුවම ඇතිවන නැතිවන සිතක්‌ සහිත සත්වයෙකි.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැලෑබද ආරණ්‍යයක කුටියක වැඩ සිටියදී රාත්‍රී දහයට පමණ සමාධිය තුළ පසුවන විට එකවරම එම භික්‍ෂුව ඉදිරියට අඩි 6ක්‌ පමණ උසැති සද්ධන්ත ශරීරයක්‌ සහිත මනුෂ්‍ය ශරීරයේ ස්‌වභාවයෙන් යුත් යකෙක්‌ දර්ශනය විය. යකාගේ ස්‌වභාවය, හැඩය හරියටම කළු ජාතික බොක්‌සිං ශූරයකු වැනිය. තද කළු පැහැති ශරීරයකි. ශරීරයේ උඩ කොටස නිරාවරණය වී ඇත. යට කොටස දනහිස දක්‌වා ඇඳුමකින් වැසී ඇත. අත්වල ලොකු වළලු තිබිණි. කොණ්‌ඩය හිස පිරෙන්නට ගෙල තෙක්‌ වැඩී තිබුණේය. හැබැයි කටේ දළ එහෙම තිබුණේ නැත. භික්‍ෂුව එයට පෙර යකෙක්‌ දැක තිබුණේ නැත. යකා පිටුපස තව පිරිවරක්‌ද ඉන්නවා පෙනෙයි. සෙවනැලි වශයෙනුයි පිරිවර පෙනෙන්නේ. ඕලාරිකව. මහයකා හොඳට ප්‍රතාපවත් මනුෂ්‍යයෙක්‌ වගේ භික්‍ෂුව ඉදිරියේ සිටිනවා. විනාඩි 5ක්‌ පමණ භික්‍ෂුව යකා දෙස බලා සිටියේය. යකා සෙලවෙන්නේ නැහැ. එකම ඉරියව්වෙන් භික්‍ෂුව දෙස බලා සිටිනවා. භික්‍ෂුවට වඳින්නෙත් නැහැ. භික්‍ෂුව බියට පත්කිරීමේ වුවමනාවකුත් නැහැ. භික්‍ෂුවට අගෞරවයක්‌ කරන්නෙත් නැහැ. යකා භික්‍ෂුව දෙස අනිමිස ලෝචනයෙන් වගේ බලා සිටිනවා. භික්‍ෂුව එවිට යකාට පිං දුන්නේය. යක්‍ෂ රූපය දර්ශනයෙන් නොපෙනී ගියේය. ඒ යක්‍ෂ රූපය නැවත භික්‍ෂුවට දර්ශනය නොවිණි. ඔහු සම්‍යදෘෂ්ටික යකෙකි. ඔහුගේ ජීවිතය යකෙක්‌ වුවද එය අඳුරු නැත. දුකක්‌ද නැත. බොහොම තේජස්‌, ප්‍රතාපවත්, පෞරුෂවත් ස්‌වභාවයකුයි තිබෙන්නේ. ඒවා ලැබී තිබෙන්නේ පෙර ජාතියේ කරන ලද පිංකම් නිසාය. නමුත් පෙර මිනිස්‌ ආත්මයක ඉපිද මැරෙන මොහොතේ අවසන් චුති සිත වෛරයක්‌, ක්‍රොධයක්‌, යමක්‌ ආරක්‍ෂා කිරීමේ කැමැත්තක්‌ සමඟ ඇතිවූ නිසා යක්‍ෂ ආත්මයක ඉපැදිලා. ඒත් ඔහු දුකක්‌ නොවෙයි විඳින්නේ. ඔහු තේජස්‌ සහිතව යමක්‌ ආරක්‍ෂා කරන සම්‍යදෘෂ්ටික යකෙක්‌.

භික්‍ෂුවට පසුව දැනගන්න ලැබුණා මෙම ආරණ්‍යයේ වසර 40 කට පමණ පෙර අපවත් වූ නායක හිමිනම මෙම ආරණ්‍යයට ඉතාමත් ආදරය කළ, එය ආරක්‍ෂා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බවක්‌. එම නායක හිමිගේ ආත්ම ගරුත්වය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක්‌ නිසා තමා විසින්ම ආරණ්‍යයේ තම කුටියේදී ගෙල වැලලාගෙන අපවත් වූ බවක්‌. මෙන්න මේ නායක හිsමිනම තමයි මහා යක්‍ෂයෙක්‌ වෙලා මෙම ආරණ්‍ය කුටියේදී රාත්‍රියේ භික්‍ෂුවට දර්ශනය වූයේ. හැබැයි එම භික්‍ෂුව අපවත් වීමට පෙරාතුව හොඳින් සීලය ආරක්‍ෂා කර ගත් නිසා, අපවත්වීමෙන් පසු සම්‍යාදෘෂ්ටික ප්‍රතාපවත් යක්‍ෂ ආත්මයක්‌ ලැබුවේය. අපවත් වන මොහොතේ තමාගේ කැමැත්ත වූයේ ආරණ්‍යය ආරක්‍ෂා කර ගැනීමය. ඒ කැමැත්තට අනුරූපීවම ඊළඟ ප්‍රතිසන්ධිය නිර්මාණය විය. තමාගේ කැමැත්ත තමාට ලැබිණි. භික්‍ෂුව සමාධිය තුළින් එම යක්‍ෂයා දර්ශනය කර ගැනීමට උත්සාහ කළද මෙම යක්‍ෂයා එදායින් පසුව භික්‍ෂුවට දර්ශනය වීමට නොලැබුණේය. ඔහු නියත වශයෙන්ම භික්‍ෂුවගේ පින් අනුමෝදන්ව ඒ ක්‍ෂණයෙන්ම යක්‍ෂ ආත්මයෙන් මිදුන බව පසුව භික්‍ෂුව සාධක සහිතව ස්‌ථිරව දැනගත්තේය. එය භික්‍ෂුව විසින් කෙසේ දැනගත්තේ දැයි මේ මොහොතේ සටහන් නොකරමි. සැබැවින්ම මොහුට යක්‍ෂයෙක්‌ යෑයි කීම වැරදිය. මොහු යක්‍ෂ සේනාධිපතියෙකි. මොහු භික්‍ෂුව ඉදිරියට පැමිණ ඇත්තේ හේතු දෙකක්‌ සහිතවය. ගෞරව කිරීමට සහ පින් ගැනීමටය. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදී ඉතාමත් ලෙන්ගතුව ගෞරවනීය ලෙස භික්‍ෂුවට ගෞරව කළ සත්වයා මෙම යක්‍ෂ සේනාධිපතියාය. මෙම දර්ශනය වීම සහ එහිදී භික්‍ෂුව අත්දුටු දේ සම්බන්ධයෙන් නැවත මෙසේ කියමි.

ඔබ සියල්ල අත්හරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.

ඉහතින් සදහන් කළේ සම්‍යදෘෂ්ටික යක්‌ෂ සේනාධිපතියෙක්‌ ගැනය. මේ මොහොතේ ඔහු යක්‍ෂ ආත්මයෙන් මිදී මනුෂ්‍ය, දිව්‍ය ලෝකයක හෝ එසේත් නැතිනම් සියදිවි නසාගැනීමට පෙර දුෂ්කර ආරණ්‍යක භික්‍ෂුවක්‌ ලෙස ප්‍රජාව යම් ප්‍රමාණයකට වඩා තිබීම හේතුවෙන්, භික්‍ෂුවගේ අතහැරීමේ ස්‌වභාවයද දුටු නිසා ප්‍රඥාව මතුවී බ්‍රහ්මලෝකයට ගියා වීමටද පුළුවන. මේ ගැන භික්‍ෂුව ස්‌ථිරවම නොදනී, අනුමාන කළා පමණි. කෙසේ හෝ ඔහු සුගතිගාමී විය.

මිථ්‍යාදෘෂ්ටික යකුන්ගේ ස්‌වභාවය ඉහත යක්‍ෂ සේනාධිපතියාගේ ශරීර ස්‌වභාවයට වඩා වෙනස්‌ය. එකම එක අවස්‌ථාවක මිත්‍යාදෘෂ්ටික යකෙක්‌ වෙනත් ආරණ්‍ය භූමියකදී දර්ශනය විය. එම යකා ඉහත යක්‍ෂ සේනාධිපතියාට වඩා උසය. ශරීරය කළු පැහැතිය. ඇස්‌ දෙක දොඩම් ගෙඩි දෙකක්‌ සේ විශාලය. ඇස්‌ රතුය. කොණ්‌ඩය අවුල්ව කැරළි ලෙස ගෙල දක්‌වා වැඩී ඇත. මහා රෞද්‍ර පෙනුමකින් යුක්‌තය. මෙම යකා තනිපංගලමේ භික්‍ෂුව ඉදිරියේ දර්ශනය විය. හේ තැතිගත් විලාසයෙන් නිසොල්මනේ භික්‍ෂුව දෙස බලා සිට අතුරුදන් විණි. ඔහුගේ රෞද්‍ර පෙනුම නිසා ඔහු මිත්‍යාදෘශ්ටික යක්‍ෂයෙක්‌ බව අනුමාන කරමි. මොහුද උඩුකය නිරාවරණය කරගෙන සිටියේය. දණහිස දක්‌වා රෙදිකඩකින් වැසී තිබිණි. මෙම යක්‍ෂයන් කළු පැහැයෙන් යුක්‌ත වන්නේ පෙර සසර ක්‍රෝධය, වෛරය වැඩූ නිසාමය. තමා වැඩූ දෙය, තමා කැමති කළ දෙය තමාටම ලැබේ. ලෝක ධර්මය එයයි.

ඉහත ආරණ්‍යයේදීම භික්‍ෂුවකට පැහැපත් වර්ණයෙන් යුත් යකෙක්‌ දර්ශනය විය. එම යකාට පැහැපත් සිරුරක්‌ තිබුණත් එය එල්ලාවැටෙන තරබාරු සිරුරකි. විශාල බඩගෙඩියක්‌ සහිත ශරීරයේ උඩකය නිරාවරණව තිබුණු අතර දණහිස දක්‌වා රෙදි කඩක්‌ තිබිණි. හිසකේ අවුල්ව වැඩී තිබුණු අතර අසරණ ස්‌වරූපයක්‌ ඔහුගෙන් පළවිය. ඔහු යක්‍ෂ ආත්මයක ඉපැදුනද පැහැපත් ශරීරයක්‌ ලැබුවේ කෙසේදැයි භික්‍ෂුව නොදනී. සමහර ආමිස පින්කම් කිරීම නිසා ප්‍රසන්න ශරීර පැහැයත්, අවසාන චුති සිත ක්‍රෝධය, වෛරය ඇතිවීම නිසා යක්‍ෂ ආත්මයත් ලැබුණා විය හැකිය.

යක්‍ෂයනුත් කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය පිරිසකි. ඒවායේ නායකයන් ඇත. මිත්‍යාදෘෂ්ටික යකුන්, ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂූන්ට දැඩි ලෙස පීඩා කිරීමට උත්සාහ කරයි. භික්‍ෂුව දක්‍ෂ වෙන්න ඕනේ අතහැරීමේ ශක්‌තිය තුළින් මේ පාපකාරී බලවේග පරාජය කරන්න. අදක්‍ෂ වුණොත් කුටිය අතහැර යන්න වෙන්නේය. භික්‍ෂුව බලවත් අවස්‌ථාවල, භික්‍ෂුවට සිව්පසය සපයන දායකයන් මෙම මිත්‍යාදෘෂ්ටික යකුන් ග්‍රහණයට ගන්නේය. ඔවුන්ව ලෙඩ කරන්නේය. බිය ගන්වන්නේය. මේ හැම දෙයටම නොවරදින ඖෂධය ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කර තිබේ. ඒ තමයි ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට ඔබ දකින්නේ යක්‍ෂයා නොව, ධර්මයයි.

භික්‍ෂුව මොනම අවස්‌ථාවකදීවත් දෙවියන්, බඹුන්, ප්‍රේතයන්, යක්‍ෂයන් දකින්නට ආස කළේ නැත. මෙම සියල්ලම අහම්බයෙන් දර්ශනය වූ දේවල්ය. මේ කිසිවක්‌ කෙරෙහි භික්‍ෂුව ඇලුනේද, ගැටුනේද නැත. මේ සටහන් කියවා ඔබ දෙවියන් ප්‍රේතයන් යක්‍ෂයන් දැකීමට ආසා නොකරන්න. මන්ද දැකීමට සත්වයෙක්‌ ලෝකයේ නොමැති නිසාය. ඉහත සියලුම සත්වයන්ට තිබුණේ සතර මහා ධාතූන්ගෙන් සැදුණු අනිත්‍යභාවයට පත්වන ඕලාරික කයක්‌ සහ අනිත්‍යභාවයට පත්වන සිතක්‌ පමණි. එහි ස්‌ථිර සත්වයෙක්‌ නොසිටියේය. මෙහි තිබුණේ පස්‌සය නිසා හටගන්නා වේදනාව පමණක්‌මය. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ හමු නොවේ. එනිසා ඔබ දිව්‍ය, බඹුන්, ප්‍රේත, යක්‍ෂයන් සොයා නොයන්න. එම රූප දකින්න ඇති ආශාව, දකින්න යෑයි කියන සිත අනිත්‍ය වශයෙන් දැක අතහරින්න. එවිට ඔබ සොයාගෙන ඔබ නොසිතූ අයුරින් ඒ අය ඔබ ඉදිරියට එනු ඇත.

ඔබ මේ සටහන තැබූ භික්‍ෂුව කවුරුන්ද යන්න සෙවීමට වෙහෙස නොවන්න. ඔබ ඔබ ගැන සොයන්න. මේ භික්‍ෂුවද කිසිදා අනුන් සොයා ගිය කෙනකු නොවන බව තරයේ සිහි තබාගන්න. භික්‍ෂුව සෙව්වේ තමාගේම ස්‌වභාවය බවත් තමාගේ ස්‌වභාවය ගැන සෙවීමේදී භික්‍ෂුවට අවබෝධ වූයේ ලෝකයේම ස්‌වභාවය බවත් ඔබද දකින්න. තමාත්, ලෝකයත් දෙකම නිර්මාණය කර දුන්නේ ඇතිවෙමින් නැතිවෙන සිත බවත්, සිත අනිත්‍ය වශයෙන් අවබෝධ කර නිරුද්ධ කළ මොහොතේ ලෝකයෙන් තමා නිවී යන බවත් දකින්න. මෙනෙහි කරන්න. අප්‍රමාදීව සුන්දර දහමක හිමිකරුවෙක්‌ වන්න.

නැවත නැවතත් කියමි. ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. ඔබට සියල්ලම ලැබෙන විට ඒ කිsසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.

ඉන්ද්‍රජිත් සුබසිංහ


2012.03.04 ඉරිදා දිවයින
Free HTML Blog 4u