මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි! -
ඉන්ද්‍රජිත් සුබසිංහ

Saturday, November 10, 2012

මාරයා තවත් මුහුණකින්...

ඉකුත් ලිපියේ සටහන් කළා මාරයා කුළුමීමකු ලෙසින් සමාධිය තුළ සිටින භික්‍ෂුව ඉදිරියට පැමිණි ආකාරය. මෙම සටහන් කියවා ඔබ සෙවිය යුත්තේ මේ අත්දැකීම ලද භික්‍ෂුව නොව, එම අත්දැකීම උරුමකර දුන් ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ඔබ භික්‍ෂුව සොයන්නේ නම් ඒ ඔබ සොයන්නේ මාරයාමය. මන්ද සෙවීම යනු මාර ධර්මයකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීම රූපයේ ස්‌වභාවයයි. රූපය අනිත්‍යභාවයට පත්වේ නම් එහි ඔබට සෙවීමට දෙයක්‌ නැත. ඔබ කළ යුත්තේ රූපයත් රූපය ඇසුරෙන් සකස්‌ වෙන 'සොයන්න'යෑයි කියන සිතත් අවබෝධ කරගැනීමය. එසේ අවබෝධ කර ගැනීමේදී ඔබ ද පරාජය කරන්නේ මාරයාම ය. එම භික්‍ෂුවගේ භික්‍ෂූ ජීවිතය තුළදී මීට පෙර අවස්‌ථා දෙකක කලු පැහැති ගොනෙක්‌, රතුපැහැති ගොනෙක්‌ වශයෙන් ද මාරයා භික්‍ෂුව ඉදිරියට සමාධිය තුළදී වියරු ස්‌වභාවයෙන් පැමිණියේය. මෙම ගොනුන්ගේ ස්‌වභාවය හරියට විදේශීය ගොන් පොර තරගවලදී තරගවදින ගොනුන්සේ පෘෂ්ඨිමත් ජවසම්පන්න වියරු ගතියක්‌ විය. මේ කරුණු භික්‍ෂුව ඔබට සඳහන් කරන්නේ ඔබ තුළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවෙන බාධක බැඳීම්වලට එරෙහිව ඔබට වීර්ය ඇති කරගැනීමේ අරුත පැහැදිලි කරදෙන්ටය. මාරයාගේ ඉහත ස්‌වභාවයන් ගැන අපි පුqදුමවිය යුතු නැත. අපි පුදුම වියයුත්තේ මෙවැනි ධර්මයට එරෙහිව වියරුවෙන් මාරයාට අපි කැමැත්තෙන්ම වසඟවීම ගැනයි. මාරයාගේ වගකීම වන්නේ යමෙක්‌ ධර්මය අවබෝධය කරා යයි ද ඔහුව එම ගමනින් ඉවත් කිරීමයි. යමෙක්‌ ධර්මය අවබෝධකර ගනියි ද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්‌ථාව අහිමි කිරීමයි. මේවා ජන්ම ගතිය. ඔබට මේවා වෙනස්‌ කළ නොහැක. කළ හැක්‌කේ ඔබ මේ මාර්ගයෙන් වෙනස්‌වීමය. 

ඉහත සටහනින් ඔබට වැටහෙනවා ඇති මාරයා යනු සංකල්පයක්‌ යෑයි කියන මතය මොන තරම් අවිද්‍යාවෙන් පිරුණු එකක්‌ ද කියලා. මාරයා යනු මේ ලෝකයේ ක්‍රියාත්මක චරිතයකි. මොහු දෙවියෙකි. මොහුගේ සේනාව ද දෙවියෝ ය. මොවුන් ඔබට පියවි ඇසෙන් දැකිය නොහැකිය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණව සමාධියෙන් පරිපූර්ණව ප්‍රඥාව දෙසට ගමන් කිරීමේ දී උතුම් සමාධියෙන් පමණක්‌ දැක ගත හැක්‌කකි. පරිපූර්ණ වූ සමාධියේ ඇසෙන් මාරයා සහ පිරිවර ඔබට ද මුණගැසෙනු ඇත. ඔබ අවංකව මාරයාට එරෙහිව ප්‍රඥාව අවබෝධය කරා යන්නේ නම් පමණක්‌..

මෙම සිද්ධියෙදී වසවර්ති දිව්‍යපුත්‍රයා කුළුහරක්‌ වේශයක්‌ මවාගෙන තම ආධිපත්‍යය රැකගැනීමට පෙන්වීමට පැමිණෙන්නේය. වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ කාමය තුළ ඇලීගැලී ඉන්න දෙවියෙක්‌. ඔහුට හිරිඔතප් කියන දෙයක්‌ නැහැ. ඔය දේම නේද සමහර මනුෂ්‍යයන් කරන්නේ. බොහෝම සුපිරි පංතියේ මනුෂ්‍යයෝ තම බලය, සැපය, ආධිපත්‍ය රැකගැනීම සඳහා මොන මොන වේශයන් මවාගන්නවාද? මිනීමැරීමට, වංචාකාරී ක්‍රියාවන් කිරීමට පැවිදි වේශයන් ගත් අය අතීතයේ නොසිටිය ද, වර්තමානයේ නැති ද? අහිංසක තරුණියන් මුලා කරගැනීමට ධර්මය නොදන්නාකම නිසාම මොන මොන ආකාරයේ වේශයන් මවාගන්නා අය සමාජයේ සිටිනවාද? කාමයන්ගෙන් අන්ධ වුණ තැනදී දෙවියෝ මනුෂ්‍යයෝ කියලා වෙනසක්‌ නැහැ. මේ ආකාරයට හේතුඵල ධර්මයන්ට අනුව මේ ධර්මය ගලපාගන්න උත්සහගන්න. එසේ නොවුනහොත් නොයෙක්‌ මතවාදයන් ඇති වේවි. එය ඔබට දුක පිණිසම තමයි හේතුවෙන්නේ. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගන්න. කුමක්‌ නිසාද? මේ වියරු ලෝක ස්‌වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට. 

භවයකරා දිවෙන කාලසටහන් ඔබ හකුලාදමන්න. භවය අයිති මාරයාට. එහෙයින් ලැබුණු ජීවිතයෙන් ධර්ම මාර්ගයේ උපරිම දුරක්‌ යන්න. මහාකරුණා සමාපත්ති ගුණයෙන් යුතුව පිරිනිවී යන මොහොත දක්‌වාම ලෝකයාට දුකෙන් මිදෙන මාර්ගයම මහාකරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, වචනයෙන් කිව නොහැකි, අකුරකින් ලිවිය නොහැකි මහාසයුර වැනි අපිරිමිත ගුණ කදම්බයත්, පංචකාමයටම ලොල්වූ නීච මාරයාගේ ගුණමකුභාවයත්, පිංවත් ඔබව දුකටම හෙළීම සඳහා මාරයාගේ පවිටු ක්‍රියාවනුත් සතියෙන් සිහියෙන් යුතුව දකින්න. එවිට ඔබට දැනේවි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන ගුණකන්දක්‌ ද, මොන ගුණ සයුරක්‌ ද කියලා. ඔබ දක්‍ෂනම් මෙම අර්ථවත් අවබෝධයම ප්‍රමාණවත්, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ සතර අපායෙන් මිදීමට අවශ්‍ය එක සුදුසුකමක්‌. මාරයාගේ පවිටුභාවය ගැන හිතලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. 

භික්‍ෂුව මේ සටහන ද්වේෂය සහ මාරයා ගැන සඳහන් කිරීමටයි සටහන් කළේ. මාරයා ගැන ඉහත සඳහන් කළා. ද්වේෂය ගැන මේ කරුණු පිංවත් ඔබට සඳහන් කළේ බස්‌රථයක වඩින විට මහත්මයෙක්‌ සඳහන් කළ අදහසක්‌ නිසා. භික්‍ෂුව කතරගම ප්‍රදේශයට වඩින්න කොළඹ ප්‍රධාන බස්‌නැවතුමෙන් කතරගම බසයට ගොඩවුණා. රත්මලාන ප්‍රදේශයේදී සුදු සරමක්‌ හා සුදු කමිසයක්‌ ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක්‌ බසයට නැග බසයේ ඉතිරිවී තිබූ එකම ආසනය වූ භික්‍ෂුව අසලම ආසනයේ වාඩිවුණා. මේ මහත්මයා භික්‍ෂුව ළඟ වාඩි වුණ වේලාවේ පටන්ම පාපුවරුව දෙස බලාගෙනමයි සිටියේ. මුහුණ ඉදිරිපසට කරගෙන සිටියේම නැහැ. භික්‍ෂුවට මුහුණ හංගාගෙන වගේ අහකබලාගෙනම සිටියා. බස්‌රථය තේ පානය සඳහා අතරමග නතර කළා. මගීන් බසයෙන් බැස්‌සට පස්‌සේ මේ අහක බලාගෙන සිටි මහත්මයා භික්‍ෂුවගෙන් අහනවා හාමුදුරුවනේ ගිලන්පස එකක්‌ ගෙනත් දෙන්නද කියලා. ඔහු කතා කරන විටම ඔහුගේ මුවින් අරක්‌කු ගඳ හොඳින් වහනය වුණා. ඒ වෙලාවේ තමයි භික්‍ෂුව දැනගත්තේ මෙතෙක්‌ වෙලා මේ මනුෂ්‍යයා අහකබලාගෙන සිටියේ ඇයි ද කියලා. අරක්‌කු ගඳ භික්‍ෂුවට දැනෙයි කියලා තමයි මොහු මුහුණ සඟවාගෙන මෙතෙක්‌ ඉඳලා තිබෙන්නේ. භික්‍ෂුව කීවා 'ගිලන්පස අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයෝ' කියලා. නමුත් මේ මහත්මයා බස්‌රථයෙන් බැහැලා ගිහිල්ලා සිසිල්බීම බෝතලයක්‌ ගෙනත් පූජා කළා. භික්‍ෂුව පිංදීල එය වැළඳුවා. තේ පානය අවසන් කරලා නැවතත් බසය ගමන් ආරම්භ කළා. ඒත් මේ මහත්මයා අහක බලාගෙන සිටියේ. එකවරම මොහු භික්‍ෂුව දෙසට හැරී බොහෝම ගෞරවයෙන් 'මම ටිකක්‌ බීලා නිසයි මේ විදියට ඔබ වහන්සේට පිටුපාල වාඩිවෙලා ඉන්නේ' කියලා බොහෝම බැගෑපත්ව කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව විමසුවා මොකද මේ උදේ පාන්දරම අරක්‌කු බීල කියලා. එවිට මේ මහත්මයා 'හාමුදුරුවනේ මම මාතර ප්‍රදේශයේ පදිංචි අයෙක්‌. මගේ රැකියාව කට්‌ටඬිකම්, ගුරුකම් කරන එක. මම රත්මලානට ඊයේ පැමිණියා කෙනෙකුට වැඩක්‌ කරලා දෙන්න. දැන් වැඩේ ඉවරවෙලා ගෙදර යන ගමන්. හාමුදුරුවනේ මම පුරුද්දක්‌ වශයෙන් වැඩක්‌ භාරගන්නකොටම මගේ ගණුදෙනුකරුට මම කියනවා වැඩේ ඉවර වුණාම මට බොන්න අරක්‌කු අවශ්‍යයි කියලා. ඒ නිසා ගුරුකම් වැඩේ ඉවර වුණ ගමන් ගාස්‌තුවත් අරක්‌කුත් දෙකම ලැබෙනවා' කීවා. භික්‍ෂුව මොහුගෙන් ඇහුවා 'මහත්තයෝ ඔය ගුරුකම්වලින් ප්‍රතිඵලයක්‌ තිබෙනවද?' කියලා. මොහු බොහෝම උජාරුවෙන් ඔහුගේ දක්‍ෂකම් ප්‍රකාශ කළා. 'හාමුදුරුවනේ මට අවශ්‍යනම් මනුෂ්‍යයෙක්‌ව ජීවිතක්‍ෂයට පත්කරන්න අවශ්‍ය ගුරුකම් මා ළඟ තිබෙනවා. ඒවා මම කරලත් තිබෙනවා කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට කීවා 'මහත්තයෝ ඔය රැකියාව මහා පව්කාර වැඩක්‌නේ' කියලා. ඒ අවස්‌ථාවේ මේ මනුෂ්‍යයා කියනවා හාමුදුරුවනේ මම ගුරුකම් කරලා මනුෂ්‍යයෙක්‌ නැති කරන්නේ තවත් මනුෂ්‍යයෙකුට කරන උපකාරයක්‌ වශයෙන්ය කියලා. බලන්න මේ මනුෂ්‍යයා අදහස්‌ කරන්නේ මනුෂ්‍යයෙක්‌ විනාශකර දමන්නේ තවත් මනුෂ්‍යයෙකුට උපකාරයක්‌ වශයෙන්ය කියලා. මොහු මේ ගැන උදම් අනනවා. බලන්න මේ මනුෂ්‍යයා මනුෂ්‍ය ඝාතනයක්‌ සිද්ධකරන්න තරම් ද්වේෂයක්‌ සිත තුළ සකස්‌කරගෙන, එම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවක්‌ හැටියටත් දකිනවා. මොහු කට්‌ටඬි ක්‍රියාවන් හරහා මනුෂ්‍යයෙක්‌ව විනාශ කරන්නේ, දුකට පත්කරන්නේ, පිළිගන්නේ රැකියාවක්‌ වශයෙන්, ආත්ම තෘප්තියක්‌ ලබාගැනීමක්‌ වශයෙන්. මේ කටයුත්තේදී මොහු පමණක්‌ නොවේ, මොහුගේ සේවාදායකයාද ඉහත ක්‍රියාවන් සිදුකරන්නේ පළිගැනීමක්‌ වශයෙන්, තමාගේ ආත්ම තෘප්තිය සඳහා. එතකොට බලන්න ඉහත ගුරුකම් වැඩ සිදුකරන අප්‍රමාණ පිරිස්‌ සහ ඔවුනගේ සේවාදායකයන් ධර්මානුකූලව කුසල්, අකුසල් ද්වේෂය සහ මෛත්‍රිය ගලපා ගැනීමට නොහැකිවීම නිසා මොනතරම් අකුසල් මේ ජීවිත තුළින් සිදුකරගන්නවාද? අන්‍යයන්ගේ ජීවිතවලට ද අකුසල් අයිතිකර දෙනවා ද? ද්වේශයත් මෛත්‍රියත් හඳුනාගැනීමට නොදන්නා මිනිසුන් කුසල් අකුසල් කෙසේනම් හදුනාගන්න ද? නමුත් මේ ගැන හිතන විට භික්‍ෂුවට දැනෙන්නේ අනේ මොනතරම් පහසුවෙන් මේ දෙක හඳුනාගන්න පුළුවන්ද කියලා. මේ බස්‌ රථයේ භික්‍ෂුව ළඟ අසුන්ගෙන පැමිණි අදාළ මහත්මයා තුළ සංඝයා කෙරෙහි ගෞරවයක්‌ තිබෙනවා. ඒ නිසාමයි අරක්‌කු ගඳ හාමුදුරුවන්ට දැනෙයි කියලා මුහුණ වම් පැත්තට හරවාගෙන සිටියේ ගිලන්පසක්‌ අවශ්‍ය ද කියලා විමසුවා. හාමුදුරුවෝ අවශ්‍ය නැහැයි කියත්දිත් ඔහු සිසිල් බීම බෝතලයක්‌ බොහෝම ගෞරවයෙන් පුජා කළා. පිංදෙනවිට දෑත් එක්‌කර සාදු කිව්වා. බලන්නකෝ කොච්චරනම් තෙරුවන් කෙරෙහි ගෞරවයක්‌ද ඔහු තුළ තිබුණේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මොහු තුළින් අනුනට විනාශය අත්කොට දෙන නිසා එම පව්වලින් ගැලවෙන්න සංඝයාට ගෞරවය දක්‌වනවාය කියලා. 

ඉහත කරුණු සියල්ල කැටි කොට ගනිද්දී පිංවත් ඔබට මෙහෙම චරිතයක්‌ පෙනෙනවා. රැකියාවක්‌ වශයෙන් ගුරුකම්, කට්‌ටඬිකම් කරනවා. ඒවා කිරීමේදී සේවාදායකයාට ඇති මෛත්‍රිය නිසා ඔහුගේ විරුද්ධවාදියාව විනාශ කරනවා. රෝගිS කරනවා. මරණීය දුකට පත්කරනවා. එවැනි ෙච්තනා සකස්‌ කර ගන්නවා. එම ෙච්තනාම සේවාදායකයා තුළත් ඇති කරනවා. දෙවැනුව, එම පුද්ගලයාම, තමන්ගේ මෛත්‍රියට ලක්‌වූ සේවාදායකයා අතින්ම අරක්‌කු ඉල්ලාගෙන පානය කරනවා. තෙවැනුව එම පුද්ගලයාම බස්‌ රථයේදී හාමුදුරුවන්ට අරක්‌කු ගඳ දැනෙයි කියලා, හාමුදුරුවන්ට අපහසුවක්‌ දැනෙයි කියලා මුහුණ සඟවාගෙන සිටිනවා. ගිලන්පස අවශ්‍යද කියලා බොහොම ගෞරවයෙන් විමසනවා. අවශ්‍ය නැතැයි කියද්දිත් බොහොම ගෞරවයෙන් ගිලන්පස පූජා කරනවා. පිං දෙනකොට දෑත් එක්‌කර සාදුකාර දී අනුමෝදන් වෙනවා. මොහුම සුදු සරමක්‌, සුදු කමිසයක්‌ පැළඳ උපාසක ලීලාවෙන් ජීවත්වෙනවා. දැන් බලන්න මෙම චරිතය තුළ සකස්‌වුණා වූ සිත් මොන තරම් විවිධද. එකිනෙකට පරස්‌පරද, මේ පරස්‌පරතාව සකස්‌ වෙන්නේ අවිද්‍යාව නිසාමයි. රූප විඳීමට ඇති තෘෂ්ණාව නිසාම, හොඳ නරක තේරුණත් මොහු හොඳ නරක සොයන්නේ අඳුරේ. ඒ නිසා මොහු හොඳ කියලා නරක අතට ගන්නා අතරම නරක කියලා අතට ගන්නා හොඳ ද නරක ගොඩටම දමාගන්නවා. ඒ නිසා අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නා වූ සිතට ද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මාරයා කියලා දේශනා කරනවා. 

පිංවත් ඔබ ඉහත ගුරුකම් මහත්මයාගේ ක්‍රියාකාරකම් තුළ දැක්‌කේ එකිනෙකට පරස්‌පර ක්‍රියාවන්නේ.... ඒ කිසිවක අර්ථයක්‌ නැහැ. සියල්ල මුලාව තුළමයි තිබෙන්නේ. මේ මාර ක්‍රියාකාරකම් මොහුට නිරයට හැර වෙන කොහෙට නම් පාර පෙන්වන්නද? දුකට පාර පෙන්වන සිතට ද 'මාරයා' කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද මේ නිසාමය. එසේනම් දුකට පාර පෙන්වන සිත සකස්‌වීමට හේතු වූයේ රූපයක්‌මය. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් හේතුවෙන් දුකට පාර පෙන්වන සිත සකස්‌වන නිසා රූපයද මාරයා යෑයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළහ. මේවා සංකල්ප නොව, ඇසට පෙනෙන්නා වූ, සත්වයා නිරතුරුවම අත්විඳින්නා වූ ලෝක ස්‌වභාවයන්ය. පැහැදිළිව ලෙහෙසියෙන් කුසල් යනු මොනවා ද, අකුසල් යනු මොනවා ද, ද්වේෂය මෛත්‍රියේ වෙනස යනු කුමක්‌ ද යන්න හඳුනාගැනීමට මෙතරම් සද්ධර්මය ඇසෙන රටේ අවකාශ තිබුණ ද ඔබව පරස්‌පර මතවාදයන් තුළ කොටුකර තබන්නේ මාරයාගේ ග්‍රහණය තුළ සකස්‌වෙන සිත නිසාමය. මෙහිදී සිත යනු ඵසේස, වේදනා, සංඥා, සංස්‌කාර, විඥාන වශයෙන් ඔබ දැනගත යුතුය. මේ පස්‌දෙනාම මාරයාගේ ග්‍රහණයට නතුව ක්‍රියාත්මක වනුයේ ඔබ රූපයේ යථා ස්‌වභාවය හඳුනානොගන්නා නිසාමය. රූපය අවබෝධකර ගත්තා යනු මාරයා අවබෝධයෙන් හඳුනාගත්තා යනුය. මෙතැනදී රූපයත් සිතත් මාරයාගේ අවබෝධයෙන් හෙළිකරගැනීමට පිංවත් ඔබට හැකිය. මේ තැනට පැමිණීමට පෙරාතුව පිංවත් ඔබ මේ උතුම් ධර්මය අවබෝධයෙන් දේශනාකර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. ධර්ම රත්නය සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. මාරපාර්ශ්වික ධර්මයන් අවබෝධයෙන් හඳුනාගැනීම සඳහා තෙරුවන්ගේ මාර්ගෝපදේශකත්වය හැර අන්කුමන සරණක්‌ ද පිහිටක්‌ ද යන විශ්වාසය තුළින් සතර අපායෙන් ඔබව මිදීම වලක්‌වන තෙරුවන් කෙරෙහි ඇති විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘතයන් කෙරෙහි ඇති විශ්වාසය කියන මාර බැඳීම් අවබෝධයෙන් මුළිනුපුටා ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Wednesday, November 7, 2012

මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය

මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක්‌ පමණයි. මාරයා කියලා කෙනෙක්‌ නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්‌, අරක්‌කුයි..... ඔය වගේ අවිද්‍යාව නිසා සකස්‌වෙන ප්‍රාථමික අදහස්‌ සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස්‌ ඇතිවන සිතටත් එම සිත සකස්‌වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස්‌ අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි. 

ප්‍රකාශකයා ඔබ වුවත් එම ප්‍රකාශය ඔබට සංස්‌කරණය කර දෙන්නේ මාරයාගේ පෞද්ගලික සහකාරියන් තුන්දෙනාය. ඒ තන්හා, රතී, රාගා යන මාර දූවරුන් තුන්දෙනාය. මේ තිදෙනා දිව්‍යාංගනාවන්ය. නිරතුරුවම කැමති වේශයක්‌ මාවාගැනීමේ හැකියාව ඇත. ස්‌වභාවයෙන්ම ප්‍රභාෂ්වරය. සියුමැලිය. රිද්මය, ලාලිත්‍යය එම දිව්‍ය ශරීරයේ ස්‌වභාවයයි. ඉදුණු ජම්බෝල ගෙඩියක මදය යම්සේ රෝස පැහැතිද, සුසිනිදු මල් පෙත්තක්‌සේ මටසිළුටු, රෝස පැහැති ශරීරයකි. මේ දිව්‍ය මාර රූමතියන්ගේ කාර්යභාරය මාරයාගේ ග්‍රහණය තුළ සිටින ඔබ තුළ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නැමති අකුසල් ඇතිකිරීමය. මේ මාරධර්ම තුන ඔබ තුළ ඇතිවන්න, වර්ධනය වන්න වර්ධනය වන්න ඔබට දැනෙන්නේ මහත් ආශ්වාදයකි. මේ මාරධර්ම නිසා ඔබ දිට්‌ඨිකාන්තාරයක අතරමංවී සිටියත් ඔබට දැනෙන්නේ ඔබ දිව්‍ය විමානයක සුරසැප විඳින බවකි. ඔබ ලබන මේ අවිද්‍යාවේ සැපය ඔබට ලබාදෙන්නේ මේ මාරදූවරුන් තිදෙනාය. සුරූපී මාර දූතියන්ගේ ඇඟිලි තුඩුවල පහසින් ඔබ මෝහනයට පත්වී ඇත. ඔබ එම පහසට ඇති ලොල්භාවය නිසා මාරදූතියෝ සංස්‌කරණය කර දෙන ඕනෑම අවිද්‍යාසහගත ප්‍රකාශයක්‌ තළු මරමරා ප්‍රකාශ කිරීමට කැමතිය. වර්තමානයේ ඇසෙන 'මාරයා කියල කෙනෙක්‌ ලෝකයේ නැහැ. මාරයා සංකල්පයක්‌' වැනි අදහස්‌ මාරදූතියන්ගේ ග්‍රහණයට නතුවීම නිසාම ප්‍රකාශවන අදහස්‌ය. මාර දූතියන් විසින් සංස්‌කරණය කර දෙන එම අවිද්‍යාසහගත ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කිරීම වෙනුවෙන් පිංවත් ඔබට ලැබෙන ගෙවීම තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියයි. පිංවත් ඔබ මෙම තුන් කාරණයෙන් පොහොසතෙක්‌ කිරීම මාර දූතියන්ගේ අරමුණයි. පොහොසත් වෙන්න ඔබට නිරයේ අති දීර්ඝ කාලයක්‌ පදිංචි වීමේ වරප්‍රසාදය කිසිදු අඩුවකින් තොරව ලැබෙනු ඇත. 

එහෙයින් පිංවත් ඔබ කුමන අදහස්‌ සමාජයෙන් ඇසුණද එය නිතරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගළපා බලන්න පුරුදුවෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට පටහැනිව එම අදහස දුක පිණිසම හේතුවෙන කරුණක්‌ බව අවබෝධ කරගෙන බැහැර කරන්න. තර්ක කරන්න, ගැටෙන්න යන්න එපා. එවිට ඔබත් නොදැනුවත්ම වැටෙන්නේ එම ගොඩටමය. තව තව නිහඩ වෙන්න. නිහඬතාවය තුළින් දිට්‌ඨි කාන්තාරයක්‌වූ මේ සිත ගැන අවබෝධය ලබන්න. ඔබ ලබන අවබෝධය සක්‌කාය දිට්‌ඨිය සිඳලීම සදහාම මෙහෙයවන්න. ලෝකයට ලෝකයේ ස්‌වභාවයෙන් සිටීමට ඉඩහැර ඔබ ලෝකයෙන් මිදෙන ස්‌වභාවයට පැමිණෙන්න. පිරිස මගහැර ඔබ තනිවන්න. තනිවූ සිතට නොඇලෙන්න. ඇලීමට තරම් නිත්‍යවූ සිතක්‌ නැති බව අනිත්‍යවූ සිත දෙස බලමින් තේරුම්ගන්න. මෙවිට ඔබව තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නමැති මාර දූතියන්ගේ සියුමැලි ඇඟිලි තුඩුවලින් කුල්මත් කරනු ඇත. කිතිකවනු ඇත. සුරතල් කරනු ඇත. පිංවත් ඔබ ගන්නාවූ උත්සාහය තන්හාව, මාන්නය, දිට්‌ඨිය නැමති දුකට අයිති ධර්මතාවයන්ගෙන් කිලිටිවීමට නොහැකි වනසේ දිවි දෙවැනි කොට වීර්යය වඩන්න. ලෝකයට, ලෝකයාට යන්නට හැර ඔබ නවතින්න. යමෙක්‌ නැවතුනා යනු සිත හඳුනාගත්තා යනුය. 

සමාජය තුළ මාරයා ගැන මොන මතවාද තිබුණද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකර දේශනා කළ වදාළ ධර්මයේ සඳහන් මාරයා ගැන දක්‌වන ලද අර්ථයන් ඔබට වර්තමානයේදීද ඒ උතුම් ධර්ම මාර්ගයේ අවංකභාවයෙන්, වීර්යයයෙන් යුතුව ගමන් කළහොත් අත්දැකීමට හැකිය. ඔබ එවැනි අත්දැකීමක්‌ ලබද්දී ඔබ තුළ ජනිතවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැඩි වීර්යයෙන් යුතුව මාර පරාජය සිදුකර අවබෝධකර වදාළ අති උත්තම ශ්‍රී සද්ධර්මයේ ශක්‌තියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළ නොවන්නට ලෝකයා කෙසේ නම් මේ පාපකාරී, මිසදුටු, අධර්මය ආහාරය ප්‍රීතිය කර ගත් මාරයා හඳුනාගන්ටද? මාරයාට ගොදුරුවීම හැර අන් මොන පිළිසරණක්‌ද? ලොව්තුරා බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේට ධර්මය ගරුකරන තුන්ලෝකයාගේම උත්මතම නමස්‌කාරය වේවාෘ මේ විෂම මාරධර්මය අවබෝධකර පරාජයකර දේශනා කළාට.

මෙවන් උතුම් ධර්මයක්‌ සරණයන්නට අපි මොනතරම් භාග්‍යවන්තද? ශාසන පරිහානිය යනු, අබුද්ධෝත්පාද කාලයක්‌ යනු සත්වයාට මොනතරම් අඳුරු බියකරු විෂම කාලපරිච්ෙච්දයක්‌ වේවිද? ධර්මය ගොදුරුකර ගැනීමට බලාසිටින අධර්මයේ මාර සේනාව ලෝකයේ තනි බලය සියතට ගැනීමට පෙරාතුව ඔබට මුණගැසුණ ධර්මයෙන් ඔබ සනාථවෙන්න. දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ ලබන ඊළඟ උපත මාර්ග ඵලලාභී දෙවියෙක්‌ම වෙන්න.

දැන් භික්‍ෂුව මෙහි සදහන්a කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිප්‍රදාව තුළ එනම් තුන් සිවුරත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් එක්‌තරා භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙද්දී අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්‍ෂුව රාත්‍රි 11.00 ට පමණ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක්‌ රංචුවක්‌ පැමිණියහ. මෙම වියරු කුළුහරක්‌ රංචුව භික්‍ෂුවට මීටර් 25ක්‌ පමණ ඉදිරියෙන් ක්‌ෂණයකින් පහළවී භික්‍ෂුqවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්‌ම ඉතාමත් ජව සම්පන්න හැඩිදැඩි සතුන්ය. මෙසේ වේගයෙන් පිඹිමින් භික්‍ෂුව ඉදිරියට දිව එමින් භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ තිබියදී මේ වියරු කුළුහරක්‌ රංචුව දකුණු පැත්තට හැරී පලා ගියහ. මෙම රංචුවේ අවසාන මීහරකාත් භික්‍ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්‌ෂණයකින්ම භික්‍ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළුහරකෙක්‌ පහළ විය. ඒ කුළු හරකෙක්‌ නොව හරක්‌ රජෙකි. උස අඩි පහක්‌ පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළුහරකෙකි. මොහුට අං පිහිටියේ නැත. මෙම කුළු හරකාගේ සම වෙල්වට්‌ සමකි. එම සතාගේ සම දිලිසෙන ග්‍රීස්‌වල ඇති කළු පැහැයක්‌ ගෙන තිබිණි. මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිවුරක්‌සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්‌කඩ සිවුරක්‌සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක්‌ පමණ වට රවුමකින් යුත් වළල්ලක්‌ දමා තිබිණි. එය මාපට ඇඟිල්ලක්‌ තරම් මහතය. දැන් ඔබ මොහොතක්‌ සිතන්න. නාසයට රිදී වළල්ලක්‌ දැමූ දහස්‌කඩ චීවරයක්‌ බදු වෙල්වට්‌ සමක්‌ සහිත මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ ස්‌වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්‌වභාවයේ ප්‍රතාපවත් මේ කුළුහරකා භික්‍ෂුවට මීටර් 25 ක්‌ ඉදිරියෙන් පහළ වූ තැනදීම වේගයෙන් හිස වරක්‌ කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්‍ෂුව දෙස බලා සිටියා. ඔබ දැකලා ඇති මල්ලව පොර තරගවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙනකොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක්‌ ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බියගන්වන්න. ඉහත කුළුහරකාද පහළවූ නිමේෂයේම ගාම්භිර ලෙස නාසයේ රිදී වළල්ලක්‌ පැළඳි, හිස කරකවා තේජස්‌බව තව දැඩිකර ගෙන සමාධියෙන් පසුවෙන භික්‍ෂුව දෙසට වියරු බැල්මක්‌ හෙළා නාසයේ කුහර දෙකෙන් දුවිලි පැහැ දුමක්‌ පිටකරමින් වියරුවෙන් මෙන් භික්‍ෂුව ඉදිරියට හඹා පැමිණියේය. 

හරියටම භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ ඉදිරියෙන් මෙම කුළුහරක්‌ රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්‍ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිමවූ පසුව භික්‍ෂුව සමාධියෙන් අවදි විය. භික්‍ෂුවගේ මුහුණට සිහින් සිනාවක්‌ නැගිණි. සිහින් සිනාවත් සමග මේ සිතුවිල්ල භික්‍ෂුවතුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්‍ෂුව ඉදිරියේ කුළුහරකෙක්‌ වීමට තරම් දීන වූවා නේද යන සිතුවිල්ල භික්‍ෂුවට පහළ විය. භික්‍ෂුව බියගැන්වීම සදහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේදී භික්‍ෂුව බියගැන් වීමට මාරයාට අවශ්‍ය විය. මාර දිව්‍යපුත්‍රයාගේ නිවටභාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බිය ගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්‍ෂුව බියගැන්වූවේ සමහරවිට භික්‍ෂුව අවබෝධ කළ යම් ධර්මයක්‌වේද එම ධර්මය ලෝකයාට දේශනාකිරීම වැලැක්‌වීමටය. බියගැන්වීමටය. එම අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටියේ ලොකු ප්‍රපාතයක්‌ අසලම තිබූණු කදු බෑවුමක කුටියකය. භික්‍ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්‍ෂුව භාග බිත්ති බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකියෑයි සිතුවාද විය හැකියි. එසේ වූවානම් මේ සටහන ඔබ අතට පත්නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූවේ එහි අනෙක්‌ පැත්තය. භික්‍ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක්‌ කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්‍ෂුවගේ සමාධිමත් ස්‌වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්‌තිය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව ධර්මයේ ආශ්චර්යයයි. ඔබද දක්‍ෂනම් මෙම ආශ්චර්ය ඔබගේත් උරුමයයි. උතුම් සමාධිය තුළදී බිය යනු ශූන්‍ය දෙයක්‌ යන ධර්මතාවයේ සත්‍යයයි. විචාර විතර්කයන්ගෙන් තොර සන්සිදුණු සිතේ උපේක්‍ෂාසහගත ස්‌වභාවය ඔබව ඇලීම් ගැටීම්වලින් මුදවාලනවාය යන ධර්මයයි. මෙම කථාවේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලය අයිති වසවර්ති දිව්‍යපුත්‍රයාය. මොහු ධර්මයට අකමැතිය. පංචකාමයටම නැඹුරු දිව්‍ය රජෙකි. සමාධිමත් භික්‍ෂුව ඉදිරියට මුලින්ම වියරුවෙන් දිවඑන කුළුහරක්‌ රංචුව මාර සේනාවයි. වසවර්ති දිව්‍යපුත්‍රයා මුලින්ම භික්‍ෂුව බියගැන්වීමට එව්වේ මාර සේනාවයි. මේ අයද දෙවිවරුය. ඔවුනට අවශ්‍ය ආකාරයේ වේශයක්‌ මවාගැනීමට හැකිය. භික්‍ෂුව බියගැන්වීමේ මේ මෙහෙයුමට ඔවුන් කුළුහරක්‌ වේශයෙන් පැමිණියහ. සමාධිමත් භික්‍ෂුවට මීටර් පහක්‌ තබා ඔවුන් දකුණට හැරී පලාගියේ සමාධිය තුළ සකස්‌වෙන නික්‌ලේශී ධර්ම ශක්‌තියට ළංවීමට ඔවුනට නොහැකි නිසාය. තම මාර සේනාව භික්‍ෂුව අබියසට පැමිණ පලායනවිට එම කටයුත්ත වසවර්ති මාරපුත්‍රයා භාරගත්හ. දෙවනුව පහළවූ තේජස්‌ සහිත ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පරිපූර්ණ දිලිසෙන ස්‌වභාවයේ ලොම් සහිත කුඵහරක්‌ රජු වසවර්ති දිව්‍යපුත්‍රයාය. මාර සේනාවට නොහැකිවූ තැන මාරයා ඉදිරිපත් විය. මේ තේජස්‌ සහිත කුළුහරක්‌ වේශය ගත් කුළුහරකා දකිනවිටම මොහු දිව්‍ය ඕජාවෙන් පරිපූර්ණ අයකු බව අවබෝධ වේ. දහස්‌කඩ සිවුරක්‌සේ කැටයම් වූ ඔහුගේ සමේ ප්‍රභාෂ්වර ස්‌වභාවය දෙවියකුට හැර වෙනකාට තිබෙන්නද? භික්‍ෂුවක්‌ සතු පරිපූර්ණ ශිලයේත් සමාධියේත් මෙම මාර පිරිවර සහ මාරයාට මුහුණදෙන අතර මොවුන් මාරයා සහ මාරපිරිවර බව හදුනාගන්නේ ප්‍රඥාව විසින්මය. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් එකතුවුණ තැනදී ඇතිවන අයෝමය ශක්‌තිය තුන් ලෝකයම තම ආධිපත්‍යය තුළ රඳවාගෙන තිබෙන මාරයාටද අභියෝග කළහැකි බවට, මාරයා පරාජය කළ හැකි බවට මීට වඩා උදාහරණ කුමකටද? ඔබ මේ දකින්නේ ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ධර්මයේ අකාලික ගුණයයි. ඔබ මෙම සටහන කියවා මුල්තැන දිය යුත්තේ මාරයාට නොව ධර්මයේ සන්දිට්‌ඨික ගුණයටය.
Free HTML Blog 4u