මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි! -
ඉන්ද්‍රජිත් සුබසිංහ

Tuesday, January 8, 2013

ලොව සුන්දරම මරණයට ඔබටද හිමිකමක්‌ ඇත...

ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ.

තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක්‌ මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය' කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස්‌ කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා. 

මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ. 

වැරදි මාර්ගය ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක්‌ පිංවත් ඔබට මෙහි සටහන් තබනවා. 

මෙය සටහන් තබන භික්‍ෂුව හමුවට ධර්මය අහන්න එන ශ්‍රද්ධාවන්ත දරුවෙක්‌ ඉන්නවා. ඔහු විවාහකයෙක්‌. ළමා වයසේ දරුවන් කිහිපදෙනෙක්‌ ඉන්නවා. මේ මහත්මයා සද්ධර්මය නිසාම ජීවිතය නිවැරදි කරගත් අයෙක්‌. දිනක්‌ මේ මහත්තයා කියනවා 'දරුවන්ගේ අකීකරුකම් නිසා, මගේ බිරිඳට හරියට කේන්ති යනවා. එයාට කොච්චර කිව්වත් කේන්තිගන්න එපා කියලා, මොහොතකින් එය අමතක වෙනවා. හැබැයි මම කියලා කියලා දැන් හුඟක්‌ අඩුවෙනුයි කේන්ති ගන්නේ' කියලා. 

දවසක්‌ ඒ නෝනාට කේන්ති ගිය වෙලාවක මහත්තයා උපක්‍රමයක්‌ වශයෙන් කියලා තියෙනවා 'ඔයා කේන්ති ගන්න නිසා ඔයාගේ මුහුණ දැන් කැත වෙලා. ඒ නිසා ඔයා කේන්ති ගන්න එපා' කියලා. ඒත් මහත්තයා එහෙම කියපු වෙලාවේ ඉඳලා ඒ නෝනා කරන්නේ මිල ගණන් අධික, ලස්‌සන වෙනවාය කියන ක්‍රීම් වර්ග අරගෙන මුහුණේ ආලේප කරන කටයුත්තලු. 

බලන්න. වැරදි මාර්ගය ඔස්‌සේමයි අපි නිවැරදි වෙන්න හදන්නේ. 

ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක්‌ කරගෙන පිංවත් ඔබ නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න බැරි බව නුවණින් හඳුනාගෙනම....

එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.

'අනිච්ජාවත සංඛාරා' සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. ඔතැනම තිබෙනවා, ලෝකය නිවැරදි කරන්නට බැරි බවට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය. පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක්‌ වේවි. සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව තමයි ලෝකයේ තිබෙන සංකීර්ණභාවයට, අධිවේගීභාවයට හේතුව. පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න 'මම මැරෙණවා'ය කියන කාරණය. නැවත මැරිලා ඉපදෙනවාය කියන කාරණය. පාංශකූලය, හත්දවසේ, තුන්මාසේ පිංකම්.... සාම්ප්‍රදායික මළගෙදරක චාරිත්‍ර වෙනුවට මිය යැමට පෙරම ඔබ, මරණින් මතු සුරක්‍ෂිත පුද්ගලයකු වන්න. එවිටයි ඔබට අවස්‌ථාව ලැබෙන්නේ ඔබම රැස්‌කරපු සංස්‌කාර හේතුවෙන් ලබන භවය අනුන්ගේ පිං ගොටුවකින් යැපීමට අවශ්‍ය නොවන තැනට පත්කරගන්න. 

කෙනෙක්‌ මැරුණාට පසු ඔහුගේ මරණය ගැන කම්පා නොවී, ජීවත්ව සිටින විට තමාගේ මරණය ගැන සිතන්න. මරණයත් සමග ජීවත්වෙන්න. එය හරිම සුන්දර ඇත්දැකීමක්‌. මරණයේ සුන්දරම අත්දැකීම ලබන්නේ රහතන්වහන්සේය. මරණය උන්වහන්සේට ආශිර්වාදයකි. මංගල කාරණාවකි. උන්වහන්සේ අවිද්‍යාව අවසන් කර ඇත. ඒ උත්තමයා දුකත්, සැපත්, උපේක්‍ෂාවත් අනිත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ උත්තමයාගේ මරණය හුදු ක්‍රියාවක්‌ පමණක්‌මය. එය මේ ලෝකයේ ඇති සුන්දරම මරණයයි. මාර්ගඵලලාභී දෙව් බඹුන් සාධුකාර දෙන මරණයයි. අනෙකුත් දෙවිවරුන්ට ශෝක උපදවන මරණයයි. මාර පිරිස අත්පොළසන් දෙන මරණයයි. මහපොළොවට පස්‌වන ඇටකැබලිත් පූජණීයත්වයට පත්වෙන මරණයයි. 

බලන්නකෝ මරණයක තිබෙන වටිනාකම. අපි මරණය අඩු ලංසුවෙන්, අසුබ ලංසුවෙන් සැලකුවත්, බලන්න, මරණයක ඇති ගාම්භීරත්වය, ප්‍රෙෘඩත්වය. කොටින්ම එය මරණයක්‌ නොව නිවී යැමකි. ඔබට මට නොදැනුනාට, රහතන්වහන්සේගේ මරණය අභියස ලෝක ධාතුව කම්පා වෙයි. ලෝක ධාතුව කම්පාවන්නේ, රහතන්වහන්සේ අවබෝධ ඥාණයෙන් ලෝක ධාතුව කම්පාකළ අයෙකු හෙයිනි. අයෝමය සතරමහා ධාතුව විනිවිද දකිමින් අවබෝධ කළ හෙයිනි. මුළු ලෝක ධාතුවම අනිත්‍යාවබෝධයෙන් හෙළිකොට ගෙන, මුලාව විනිවිද අවබෝධය කරා ගිය හෙයිනි. ඔහුට ලෝකය තවත් හිස්‌ දෙයක්‌, ඵලයක්‌ නැති දෙයක්‌ පමණක්‌මය. 

මේ තරම් අර්ථවත් මරණයක්‌ ධර්මය තුළ තිබියදී, තුණ්‌ඩු කෑල්ලක නම ගම ලියා පරදත්තරූප ජීවී ප්‍රේත ප්‍රේතියන්ට පිංදෙමින් අපි මරණයට මොන තරම් අවනම්බුවක්‌ ද, අගෞරවයක්‌ ද කරන්නේ. හිතන්න. ඔය සාම්ප්‍රදායික තුණ්‌ඩු කැබැල්ල බිමින් තියලා 'මට නම් ඔය අනුන්ගෙන් පිං ගන්න මරණයක්‌ එපා'ය කියලා. ශ්‍රද්ධාව, වීර්යය මදභාවය නිසා එච්චර හිතන්න බෑ කියමුකෝ. ඉන් මෙහා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ශීලයෙන් පරිපූර්ණ පිංවතා, පිංවතිය මැරෙන්නේ සිහිනුවණින් සාධුකාර දෙමින්ය කියලා. කවුද මේ ශීලයෙන් පරිපූර්ණ පිංවතා? ඒ සතර අපායෙන් මිදුණ පිංවතායි. මරණින් මතු ඔහු ලබන උපත මොන තරම් ශ්‍රේෂ්ඨ උපතක්‌ වේවි ද? ඇයි අපි එවැනි මරණයකට සූදානම් නොවන්නේ. 

ලොකු හෝටලයක තිබෙන මඟුල් උත්සවයකට අඳින සාරිය ගැන හිතනතරම්වත් අපි මරණය ගැන හිතන්නේ නැහැ. ඒකෙන් අදහස්‌ වෙන්නේ, සාරිය ගැන ඔච්චර හිතන්නේ සාරිය දවටගන්න ඔය කය, මරණයට පත්වෙන කයක්‌ කියලා නොසිතනා එකමයි. පිංවත් ඔබට මරණය අමිහිරි අත්දැකීමක්‌. අනුන්ගේ මරණය ගැන කථාකරන අපි තමාගේ මරණය ගැන සිතීමටත් බිය වෙනවා. අසුන්දර මරණයක්‌ අභියස ඇති අසුන්දර කථන්දරය වගේම සුන්දර මරණයක්‌ අභියස ඇති සුන්දර නව ජීවිතය මොන තරම් චමත්කාරජනකද? ලෙඩ ඇඳේ ජීවත්වන අවුරුදු හැත්තෑපහේ මහළු පිංවතා ද යදින්නේ ජීවිතයයි. ඔහු තුළ ඇත්තේ ද ජරා, ව්‍යාධි, මරණ පමණක්‌මය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව ජීවීතයයි. ධර්මය සරණ කර නොගත් පුද්ගලයා නිරතුරුවම සැප - දුක පටලවාගනී. දුක, සැපයක්‌ කරගන්නා ඔහු සැබෑ සැපයට බියවෙයි. සැබෑ සැපයට අපතුළ බිය සකස්‌ කරන්නේ අකුසලයයි. 

පිංවත් ඔබ, මරණයට වටිනාකමක්‌ ලබාදීම උදෙසාම, මරණින් මතු හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වෙන නව ජීවිතයට වඩාත් හොඳ වටිනාකමක්‌ ලබාගැනීම පිණිසම මේ සටහන උපයෝගිS කරගන්න. මෙය කියවා ඔබ තුළ ජවයක්‌ සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න. රහතන් වහන්සේගේ, රහත් භික්‍ෂුණීන් වහන්සේ නමකගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකරගන්න. මාර්ගඵලලාභී උපාසක, උපාසිකාවගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න.

මේ සටහන් තබන වේලාව රාත්‍රී 1.30යි. නින්ද අහලකවත් නැහැ. පංච නීවරණ පළාගොසින්. සද්ධර්මයට ඇති හිරිඔතප් දෙක නිසා අදහස්‌ එනවා, දෝරෙගලාගෙන. භික්‍ෂුව ඒ අදහස්‌ ඉදිරියේ අනිත්‍ය සංඥාව තබන්නේ නැහැ. පිංවත් ඔබගේ යහපත උදෙසාම... පිංවත් ඔබලාට නොදන්නා යමක්‌ දැනගැනීම උදෙසාම.... මේ ගලා එන්නේ අදහස්‌ නොව කරුණාවයි. මේ කරන්නේ සටහනක්‌ තැබීම නොව ධර්මයේ සංදිට්‌ඨික ගුණයේ අර්ථයයි. මේ මධ්‍යම රාත්‍රිය ගෙවී උදාවන අලුයම ආකාශය සිසාරා සියුම් සංගීත රාවයක්‌ පැතිරෙනවා. හොඳින් අවධානය යොමු කරන විට ඒ දිව්‍ය සංගීතයයි. සංගීත හඬ, ජයමංගල ගාථාවල සංගීත ස්‌වරයයි. සංගීත ස්‌වරය බොහොම පැහැදිළියි. ඒ කියන්නේ දෙවියන් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා කියලා සිල්වත් ලෝකයාට ප්‍රර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. දෙවියන් ඒ ආකාරයට ආශිර්වාද කරනු ලබන දිව්‍ය සංගීත හඬ ඇසෙනවිට භික්‍ෂුවට හොඳටම විශ්වාසයි මේ මොහොතේ භික්‍ෂුව අපවත් නොවෙන බව. අතීත සංස්‌කාරයන් තව ගෙවීමට ඇති නිසයි මේ මොහොතේ ජීවත්වෙන්නේ. නමුත් මීළඟ නිමේශයේ දිව්‍ය තල වලින් ශෝකී සංගීත රාවයක්‌ භික්‍ෂුවගේ ශ්‍රොaත වලට ඇසුණහොත් භික්‍ෂුව අනිවාර්යයෙන්ම දන්නවා තමා දැන් මරණයට සූදානම් වෙන්නේ කියලා. 

බලන්නෘ මොනතරම් ආශ්චර්යමත් ධර්මයක්‌ද ඔබ ඉදිරියේ තිබෙන්නේ කියලා. මෙයයි ධර්මයේ සංදිට්‌ඨික ගුණය. තමා ජීවත්වන බවත්, තමා මැරෙන මොහොතත් දැනුවත්වයි ඔහු ජීවත්වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, දේවානුස්‌සතියෙන් පරිපූර්ණ නම් ඔබ මැරෙණ මොහොත දෙවියන් දන්නවා. දෙවියන් ඔබට පාවඩ එලනවා දිව්‍ය තලයකට. බලන්න. මොන තරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක්‌ද? මරණය කියන කාරණය මොන තරම් සුන්දර මංගල්‍යයක්‌ද? පිංවත් තරුණ ඔබ දෑඟිලි බැඳලා, අත්පැන් වත්කරලා, පෝරුවට නැගලා, ජයමංගල ගාථා කියවලා මංගල්‍යයක්‌ කරගතහොත් ඒ බැඳුණු මොහොතේ පටන් ඔබ මොන දුක්‌කන්දරාවක්‌ද විඳින්නේ. 'මම' කියන දුක වෙනුවට තව 'මගේ' කියන දුක්‌ කීයක්‌ කරගහගන්න සිද්ධවෙනවාද? පිංවත් ඔබ බැඳෙන සාම්ප්‍රදායික මෝහ මූලික බැඳීම් මංගල්‍යවලට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය ඔබේ සහකරු, සහකාරිය කරගතහොත් එයයි සැපයම ඉතිරිය කරගත් සැබෑම මංගල්‍යය. අපි 'මරණය මරණය' යෑයි අඳෝනා තැබුවද, ධර්මයට අනුව මෙතැන මරණයක්‌ නැහැ. පුද්ගලයෙක්‌ මැරෙණ නිමේශයේම ඊළඟ ප්‍රතිසන්ධිය සකස්‌කර ගන්නවා. රැස්‌කර ගන්නා වූ සංස්‌කාරයන්ට අනුරූපීව. අපි මෝහය නිසා කුණුවෙන මළකුණක්‌ එම්බාම් එකෙන් සරසවලා, ඒකට මඟුල් ඇඳුම අන්දවලා අඬනවා, වඳිනවා, විලාප තබනවා. අපි මේ විලාප තබන්නේ ඒ මොහොතේ භවයේ කොතැනක හෝ උපත ලබා ඇති සත්වයෙක්‌ වෙනුවෙන්. අන්න ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මළකුණකට වටිනාකමක්‌ නොදී මරණින් මතු ලබන භවය සැපවත්කර ගැනිSම උදෙසාම මාර්ගය කියා දෙන්නේ. මෙතැනදීත් අපිට පැහැදිළියි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මරණය ගැනම කථා කරන ධර්මයක්‌ නොව, මරණින් මතු සැපයටම මාර්ගය කථා කරන ධර්මයක්‌ කියලා. පිංවත් ඔබයි මෝහ මූලිකව මරණයක්‌ බදාගෙන ධර්මයේ නැති දුකක්‌ උපදවා ගන්නේ, තෘෂ්ණාවේ දැඩිභාවය නිසාම.... 

ශ්‍රද්ධාව අඩු පිංවතුන් නිරතුරුවම මැසිවිලි නගනවා, සද්ධර්මයට එරෙහිව. 'බුදුරජාණන් වහන්සේ දුක ගැනමයි කියන්නේ' කියන කාරණය 'ධර්මයට අනුව ගියොත් අපට අඹුදරුවන්, දේපල තනතුර අත්හරින්නයි වෙන්නේ' කියන කාරණය. නමුත් ගිහි පිංවතුන්ලාට ධර්ම මාර්ගයට අදාළව ඉහත කාරණා කිසිවක්‌ අතහරින්න යෑයි කොතනකවත් දේශනා කරලා නැහැ. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉහත සැප සම්පත් පරිහරණය කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ. නමුත් පිංවත් ඔබ අත්හැරීමට ගන්නා උත්සහයේ තරමටම දුක අඩු වෙනවා කියන කාරණය ප්‍රකාශ වෙනවා. පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේ මරණය ගැන නිතරම මෙනෙහි කරමින් ජීවත්වෙන්න කියලා කියන්නේ, පිංවත් ඔබට මරණය පෙර සඳහන් කළ පරිදි මංගල්‍යයක්‌ කරගන්න මිස හඬමින් විලාප තබමින් කරන අවමංගල්‍යයක්‌ තත්ත්වයට පත්කර ගැනීමට නොවේ. පිංවත් ඔබ මරණයට පෙර සූදානම් වුවහොත් පමණයි ඔබට මරණය මංගල්‍යයක්‌ කරගන්න අවකාශ ලැබෙන්නේ. එම මරණය නැමැති මංගල්‍යයේදී සශ්‍රික දිව්‍යතල වල දෙවියන්, දිව්‍යාංගනාවන් ජයමංගල ගාථා සංගීත ස්‌වරය නගමින්ම ඔබව දිව්‍ය තලවලට පිළිගන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ කුණු, ජරා, ව්‍යාධි මරණ සැපය වගේද පිංවතුනේ බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළින් ඔබට පෙන්වන ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ පංචඋපාදන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වන සැපය. ධර්මයෙන් පිංවත් ඔබට කථාකරන්නේ ඉහත මංගල්‍යයක්‌ වන මරණය නමුත් ශ්‍රද්ධාව අඩු පිංවතුන් 'මරණය' ලෙස දකින්නේ මොන තරම් මෝහ මූලික දෘෂ්ඨිගත මරණයක්‌ද?

ඉන්ද්‍රජිත් සුබසිංහ

මම' නැමැති කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න

රූපය දෙසත්, රූපය ඇසුරුකොට සකස්‌වෙන සිත දෙසත් ඔබ සතියෙන් සිහියෙන් යුක්‌තව බලා සිටින්න. ඇසේ අනිත්‍යභාවයත්, බාහිර රූපයන්ගේ අනිත්‍යභාවයත්, රූපයත් විඥානයත් ඵස්‌සය වීමෙන් සකස්‌වෙන වේදනා, හඳුනාගැනීම්, ෙච්තනා, විඥානයන්ගේ අනිත්‍යභාවයත් දකින්න. 'මේවා අනිත්‍යයයි නේද ' යන දැනීම ඔබ තුළ ඇති වෙන විට මමත්වයේ දැඩිභාවය කියන සක්‌කාය දිට්‌ඨියද ඔබගෙන් සිඳී යනු ඇත. සිල්පද ජීවිතය තුළින් ආරක්‍ෂා කරගැනීම නිසා ද ඔබ තුළ ඇති වන්නේ, ඔබ අතීතයේ කැමැති කළ මාරපාර්ශ්වික ධර්මයන්ගේ අතහැරීමකි. ශීලය තුළින් ඔබ තැන්පත්, නිහඬ චරිතයක්‌ බවට පත්වේ. ඒ නිහඬභාවය තුළ ද තිබෙන්නේ විඳීමේ සියුම්භාවයකි. මේවා ධර්මානුකූලව ගලපාගැනීමට ඔබ දක්‍ෂ වුවහොත් එය ඔබගේ භාග්‍යයකි. මන්ද, ඔබ ගන්නා වූ සෑම උත්සහයකදීම ඉහත මාරපාර්ශ්වික ධර්ම ඔබට මාරයාගේ සක්‌කාය දිට්‌ඨිය නැමැති කටුඔටුන්න පළන්දා ලෝකය තුළ අභිශේක කිරීමට උත්සහගන්නා හෙයිනි. එහෙයින් පිංවත් ඔබ මමත්වයේ දැඩිභාවය ක්‍ෂයවන ආකාරයට දන්දෙන්න. සිල් ආරක්‍ෂා කරන්න. මෛත්‍රිය වඩන්න. සද්ධර්මය ශ්‍රවණය කරන්න. ධර්ම මාර්ගයේ පෙරට යන්න. 

යම් තැනකදී ඉස්‌මතුවන්නේ 'මම' නම් වහාම අඩියක්‌ පසුපසට තබන්න. 'මම' කියන දෘෂ්ටියට හැම මොහොතකම පරාජයම අත්කරදෙන්න. ඒ ඔබ පරාජය කිරීමට උත්සහගන්නේ සක්‌කාය දිට්‌ඨියයි. ඒ කියන්නේ සතර අපායේ උපතයි. 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සතර අපායෙන් මිදීමේ මේ උතුම් මාර්ගය පිංවත් ගිහි පිංවතුන්ලා උදෙසාමයි දේශනා කරලා තිබෙන්නේ. මෙවැනි ගැඹුරු ලෝකාවබෝධයක්‌ ලබන සරල ධර්ම මාර්ගයක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කව්රුනම් දේශනා කරන්නද? පිංවත් ගිහි පිංවතුන්ලාට ගිහි වගකීම්වල යෙදෙන ගමන් මෙම ධර්ම මාර්ගය වඩන්නට පුළුවන්. ව්‍යාපාරයක්‌ , රැකියාවක්‌, ගොවිතැනක්‌, අධ්‍යාපන කටයුත්තක්‌ කරන ගමන් සතර අපායෙන් මිදෙන ධර්මතාවයන් වඩන්න පුළුවන්. විවාහ ජීවිතයක්‌ ගතකරන ගමන්, බිරිඳ දරුවන් නඩත්තුකරන ගමන් එම වගකීම්ද නිවැරදිව ඉටුකරමින් සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් ඔබට පුහුණු කරන්න පුළුවන්. ඔබට ඒ වගේ ලෞකික ආශ්වාදයන් ලබමින්ම, ඒවා ප්‍රතික්‍ෂ්ප නොකර සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් පුහුණුකරන්න පුළුවන්. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත්වන්න පුළුවන්. මොන තරම් සුන්දර ධර්මයක්‌ ද, අවස්‌ථාවක්‌ ද ලොව්තුරා සම්මා සම්බුදුගුණයෙන් අවබෝධකරගෙන පිංවත් ඔබට ගැලපෙන, ඔබව සැනසෙන ලෙසින් මේ සා සරල කර දේශනා කර තිබෙන්නෙ. මේ සරලභාවය නිසාම අපි වැනසෙන අවස්‌ථාවන් ද තිබෙනවා. එහෙම වෙන්නේ අප මේ ධර්ම මාර්ගය තවත් සරලකර ගැනීමට යැමෙන්. 

අපි එහෙම කරන්නේ අපේ තිබෙන්නා වූ අධිමානය නිසාමයි. මේ ගැඹුරු ලෝකාවබෝධයන් පිළිබඳව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමක්‌ දේශනා කර තිබෙනවා නම්, පහදා දියහැකි සරලම අර්ථයෙන් තමයි එම ධර්මය දේශනා කර තිබෙන්නේ. අපේ තිබෙන අධිමානය නිසා තෙරුවන් කෙරෙහි අශ්‍රද්ධාව නිසා ලොව්තුරා සද්ධර්මය අපේ දෘෂ්ටීන්ට අනුව තවත් සරළ කරගන්න හදනවා. මෙතැනදී ඔබත් ඔබගේ පිරිසත් සැනසීමක්‌ නෙවෙයි ලබන්නේ. මිත්‍යා දෘෂ්ටියක්‌මයි.

කෙටි කිරීමත්, දීර්ඝ කිරීමත් දෙකම අයිති මාරධර්මයන්ට. ඔබ මධ්‍යම ප්‍රතිපදාව ඔබේ මාර්ගය කරගන්න. ධර්මය සරල කරන්න අපිට බැහැ. වයසට යන ස්‌වභාවය සරල කරන්න පුළුවන්ද? ඉර, හඳ පායන එක සරල කරන්න පුළුවන්ද? සතර සතිපට්‌ඨානය, පටිච්ඡසමුප්පාදය, පංච උපාදානස්‌කන්ධය සරල කරන්න පුළුවන්ද? 

මේවා ලෝක ස්‌වභාවයන්. මේ ලෝක ස්‌වභාවයන් ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයෙන් අවබෝධකර සරල, සුගම ආකාරයෙනුයි ඔබට දේශනා කර තිබෙන්නේ. අපට තිබෙන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට මුල්තැන දීලා, මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරලා අවබෝධය ලබන එකයි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අවංකවම සතර අපායෙන් මිදෙන්න කැමති පිංවතුන්ලා, ධර්මය තුළින් ඔබට දීලා තිබෙන ප්‍රතිලාභය ගැන හොඳට හිතන්න ඕනේ. මේ සිතීම ඔබට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගැනීමට හේතුවක්‌ වෙනවා. උදාහරණයක්‌ වශයෙන් මෙහෙම සිතන්නකෝ. තරුණයෙක්‌ හෝ තරුණියක්‌ සිටිනවා, ඔහු හෝ ඇය අවංකවම ධර්ම මාර්ගයේ ගමන්කරලා, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගෙන, ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙලා, පංචඋපාදානස්‌කන්ධයේ, එහෙම නැතිනම් සිතේ අනිත්‍යභාවය දකිනවා. මේ ධර්මතාවයන් තුන සම්පූර්ණවීම නිසාම මොවුන් තුළින් සක්‌කාය දිට්‌ඨිය, විචිකිච්ජාව, සීලබ්බත පරාමාස කියන ධර්මතාවන් ප්‍රහීනය වෙලා, සතර අපායෙන් මිදෙන අයෙක්‌ බවට පත්වෙනවා. දැන් මේ තරුණයා හෝ තරුණිය සෝවාන් ඵලය, අවබෝධය ලැබූ කෙනෙක්‌. නමුත් ගිහි පිංවතෙක්‌. දැන් මොහු හිතනවා, මම විවාහයක්‌ වෙන්න ඕනේ කියලා. ඔහු විවාහවෙනවා, දරුවන් හදනවා, රැකියාවක්‌ ව්‍යාපාරයක්‌ කරනවා, දරුවන්වත් බිරිඳවත් ඔවුන් කැමතිනම් ධර්ම මාර්ගයට ගන්නවා. සෝවාන් ඵලයට පත්වූ ගිහි පිංවතා තුළ කාම, රාග, පටිඝ තිබෙනවා. නමුත් කිසිම අවස්‌ථාවක ඔහු ලොව්තුරා බුදුරාජාණන් වහන්සේගේ වචනය ඉක්‌මවා යන්නේ නැහැ. සිල්පද බිඳගන්නේ නැහැ. ඇසුරු කරන හැමදෙයක්‌ම අනිත්‍යය කියන දැක්‌ම තුළ හිඳිමින්, හැම දෙයක්‌ම ඇසුරු කරනවා. මොහු රැකෙන්නේ පංච ශීලයෙන්, ආජීව අශ්ඨමක ශීලයෙන්. එම නිසා විවාහයක්‌ වී කම්සැප විඳීම, මිල මුදල් රන් රිදී පරිහරණය කිරීම වැනි දේවල් වලින් මිදෙන්න ඔහුට අවශ්‍ය නැහැ. ඔහු ගිහියෙක්‌ විසින් සමාදන් වියයුතු පංච ශීලයෙන්, පරිපූර්ණභාවයට පත්වෙලා. බලන්න පිංවත් ඔබට මොන තරම් සංවරයකින් යුතුව, කම්සැප විඳිමින්ම, මේ සතර අපායෙන් මිදීමේ ධර්මය අත්විඳින්න පුළුවන්ද. මෙය ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාව නිසාම ඔබගේත් කැමැත්තටත් ලෝක සත්‍යයට අනුකූලවත් එකිනෙක ගැලපෙන ආකාරයට දේශනා කළ ධර්මයක්‌ නේද? බුදුරජාණන් වහන්සේ ගැන සිතලා නොවේ, පිංවත් ඔබ ගැන සිතලාමයි මේ ධර්මය දේශනා කරලා තිබෙන්නේ. 

කම්සැප විඳින්නත් පුළුවන්, විකාලයේ ආහාර ගන්නත් පුළුවන්, නැටුම්, ගැයුම්, වැයුම්, ශරීරය ලස්‌සන කරන්නත්, සැප පහසුකම් දෙන්නත් පුළුවන්. මේ සියල්ල අවබෝධයෙන් කරමින්, ගිහි පිංවතුන්ට ශීලයෙන් පරිපූර්ණභාවයට, ආර්යකාන්ත ශීලය තුළ පිහිටීමට මාර්ගයකුයි මෙතැනදී ඔබට බුදුසමිඳුන් දේශනා කර තිබෙන්නේ. බලන්න මෙවැනි සරල අවස්‌ථාවක්‌, ධර්මයක්‌ ඔබට මට ලබා දීලත්, සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ගෙවී යන තුරුම අපි මේ අවස්‌ථාව ප්‍රයෝජනයට අරගෙන නැහැ. නමුත් පිංවත් ගිහි පිංවතුන් එක දෙයක්‌ මතක තබාගන්න. අතීතයේ පැවැති ශාසනවලදී, අධිමානය නිසාම 'මම සෝවාන්' කියන මිත්‍යාවබෝධය තුළනම් අප්‍රමාන වාරයක්‌ ඔබත් මමත් ඉඳලා තිබෙනවා. එය තේරුම්ගන්න ඔබ නිහතමානී වෙන්න. මේ ධර්මමාර්ගයේදී ඔබට මුණගැහෙන පළමු කළ්‍යාණමිත්‍රයා ඒ නිහතමානීභාවය කියන එක හොඳින් තේරුම් ගන්න. එම කල්‍යාණමිත්‍රයාව මුණගැසුනොත් පමණයි, ඔබට ලොව්තුරා ධර්මය කල්‍යාණමිත්‍රයෙක්‌ බවට පත්කරගන්න අවස්‌ථාව ලැබෙන්නේ. මේ ස්‌වභාවය ගලපාගැනීමට අදක්‍ෂවීම නිසාම, මෙතෙක්‌ අපේ කල්‍යාණමිත්‍රයා වී සිටියේ මාරයාම බව තර්කයකින් තොරව තේරුම්ගැනීම ඔබගේම ජයග්‍රහණයකි. පිංවත් ඔබ ඔබගේ අධ්‍යාපනය, රැකියාව, ව්‍යාපාරය, ඥාතීන්, ගේදොර උදෙසා ඔබ තුළ ඇති කැමැත්ත, මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීම උදෙසාද ඔබ ඇතිකරගන්න. ඔබ ලබන මේ අවබෝධය ඔබට ඉහත සැපයන් අර්ථවත් ලෙස විඳීමේ අවස්‌ථාවද සලසාදෙනු ඇත. මේ කරුණු කියවනකොට ඔබට දැන් දැනෙනවාද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ඔබව මේ මාරග්‍රහණයෙන් ගලවා, නිවන් මාර්ගයට යොමුකරන්න මොනතරම් උවමනාවක්‌ තිබුණාද කියලා. 

අම්මා, තාත්තා, බිරිඳ, දරුවා, ඥාතියා ඔබට පාර කියන්නේ භවයටමයි. භවයට පාර කියන එම ඥාතීන් ඔබෙන් දුරස්‌ නොකොට, භව නිරෝධය දෙසට පාර පෙන්වන මේ උතුම් ධර්ම මාර්ගය ඔබ ඔබේ පරම ඥාතියා කරගත්තොත් ඔබත්, ඔබේ ඥාතීනුත් මෙලොව ලබන පරම සැනසීම එය වනු ඇත. 

මෙය කියවා ඔබ ඉක්‌මන් නොවන්න. කලබල නොවන්න. අවිශ්වාසයක්‌ ඇතිකර නොගන්න. ඔබ නිහඬව සිතන්න. බැහැය කියන අවිශ්වාසය බැහැර කරන්න. විශ්වාසය ඔබ කෙරෙහි නොව, පළමුවෙන්ම තෙරුවන් කෙරෙහි ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේට අංක එක දෙන්න. ඔබ හැකිතාක්‌ පසුපසට යන්න. බුදුරජාණන්වහන්සේත් ඔබත් අතර ඇති පරතරය හැකිතාක්‌ දුරස්‌කරන්න. එම දුරස්‌භාවය බුදුරජාණන්වහන්සේගේ ඥානාවබෝධයත්, ඔබගේ දැනීමේත් පරතරය බව දකින්න. ඒ දුරස්‌භාවය තුළින් ඔබ ඔබට බොහෝ ඉදිරියෙන් සිටිනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව ඇතිකරගන්න. ඔබ සම්බුදු ගුණම සිතන්න. ආශ්චර්යවත් සම්බුදු ඥානයන්ම මනසින් දකින්න. බුදුරජාණන්වහන්සේලාට පමණක්‌ සාධාරණවූ මහාකරුණා සමාපත්ති ඥානය, එයින් සැනසුණු ලෝකය ගැන සිතන්න. දැන් ඔබට දැනෙනවාද, ඔබ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල ධර්ම මාර්ගයට කොපමණ ඈතින්ද සිටින්නේ කියලා. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාල ධර්මයේ ගමන්කොට විමුක්‌තිය සාක්‍ෂාත් කරගත් සැරියුත් මහෝත්තමයන් වහන්සේ, මුගලන් මහෝත්තමයන් වහන්සේගේ ගුණයන්ට ඥානයන්ට ඔබ තව කොතෙක්‌ දුරින්ද සිටින්නේ කියලා. මුලින්ම මෙම පරතරය හොඳින් සිහිනුවනින් දැකලා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්න. මේ ශ්‍රද්ධාව ඔබතුළ ඇතිවන්නේ තෙරුවන්ගේ අයෝමය ගුණයත්, ඥාණයත්, ආශ්චර්යත් දැකලා, අහලා, ඔබගේ ජීවිතය සමග සසඳලා. පිංවත් ඔබ නිරවුල්ව ඔබත්, ධර්ම මාර්ගයත් අතර තිබෙන පරතරයේ තරම දැකලා, එම පරතරය අවම කරගැනීමට, පුරවාගැනීමට දැන් උත්සහගන්න අවශ්‍යයි. මේ පරතරය ඔබ පුරවන්නේ ශීලයෙන්, දානයෙන්, මෛත්‍රියෙන්. සතර අපයෙන් මිදීමට අවශ්‍ය ඉහත සාධක ඔබ අවංකව ජීවිතයෙන් ක්‍රියාත්මක කරනවිට, ඔබත් ධර්ම මාර්ගයත් අතර ඇති පරතරය අවම වෙනවා. ඉහත සත්පුරුෂධර්මයන් ඔබතුළින් වැඩෙනවිට ඔබව ධර්මයෙන් දුරස්‌කළ, ලෝභ, ද්වේශ, මෝහ, අකුසල මූලයන් ඔබට ක්‍රමානුකූලව අතහැරෙනවා. මේ අතහැරෙන්නේ අතීතයේ ඔබ කැමති කළ දේවල්. ඔබ මේවා ප්‍රයෝජනයට ගත්තේ ඔබේ මමත්වයේ දැඩිභාවය ශක්‌තිමත් කරගැනීමටයි. ලෝභකම ඔබ තුළ තිබුණේ වැඩි වැඩියෙන් සැප අයිතිකරගන්න රැස්‌කරගන්න. ද්වේෂය ඔබ තුළ වැඩුනේ මමත්වයට හිමි ආත්මගරුත්වය ඇති කරගන්න. මෝහය ඔබ තුළින් වැඩුනේ සැප නිත්‍යයි කියන මුලාව පෝෂණය කරන්න. මේ විෂම ධර්මයන් ඔබට අතහැරෙනවා කියන්නේ මමත්වයේ දැඩිභාවය ඔබ තුළින් සියුම් වෙනවා කියන කාරණයයි. පිංවත් ඔබ මේ ක්‍රියාන්විතයේ දිගින් දිගටම යෙදෙන්නේ අනුන් උදෙසා නොවේ. ඔබ උදෙසා. ඔබ තවම ලෝකයේ ස්‌වභාවය ඉගෙනගෙන නැති නිසා අනුන්ට ඉගැන්වීමට නොයන්න. නිදහසේ, සුවසේ, නිහඬව ඔබ සතර අපායෙන් මිදෙමි යන අරමුණ ජයගන්න. ලෝකයා අඬබෙරගසමින් ධර්මය සොයා වෙහෙසෙද්දී ඔබ නිවසේම හුදකලාව අදාළ ප්‍රතිපදාවේ යෙදෙමින් ධර්මය දකින්න. නිරතුරුවම සිත දෙස විමසිලිමත් වන්න. ''මම'' දැඩිවෙන ''මම'' ඉස්‌මතුවෙන සෑම අවස්‌ථාවකදීම එම කැමැත්ත ඔබ දන්දෙන්න. සතරඅපායේ බිය දකිමින්ම. ආහාර ටොන් එකක්‌ දන්දෙනවාට වඩා 'මම දානපතියෙක්‌ය' යන ඔබට ඇති වූ මමත්වයේ සිත දන්දීමෙන් එසේත් නැතිනම් අතහැරීමෙන් ඔබට විශාල අර්ථයක්‌ වන බව දකින්න. ''මම'' කියන කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න. 

ඇස නැමති කුණු බඳුන ඉපදීම නිසා සකස්‌වුණාවූ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නැමති කුණුකන්දරාව වගේම අනෙකුත් ආයතන පහෙන් ඉපදෙන කුණුද උපකාරී වූයේ මමත්වයේ දැඩිභාවය ඔබ තුළ තීව්ර කිරීම සඳහාමය. සලායතනත් කුණුත් එකතුව ඔබට පැළ» මාරයාගේ කටු ඔටුන්න වන සක්‌කායදිට්‌ඨිය සියුම්වන ස්‌වභාවයට නිරතුරුවම කටයුතු කරමින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ගිහිපිංවතුන් උදෙසාම දේශණා කර වදාල සතර අපායෙන් මිදීමේ ධර්ම ප්‍රතිපදාව පිංවත් ඔබගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබ ඔබේ යුතුකම ඉටුqකරන්න. මේ ශාසන පරිහානිsයක්‌ ගැන ඉඟි ඇසෙන කාලයක උතුම් මනුෂ්‍යයෙක්‌ව මේ ධර්මද්වීපයේ ඔබ උපත ලැබුවේද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබේ යුතුකම ඉටුකිරීමට, මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ ලැබෙන අවසාන අවස්‌ථාව ලබාගනිමින්ය. එම උතුම් අවස්‌ථාව ඔබ මගහැරියා යනු සැපය ඔබෙන් මගහැරුනාය යන්න ඔබ තේරුම් ගත යුතුය. හෙමින් උදාවෙන අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලය මිනිසුන්ගේ කාලයක්‌ නොව ධර්මයෙන් තොර මිනිස්‌ තිරිසනුන්ගේ කාලයක්‌ වනු ඒකාන්තය. එදාට මිනිසාද තිරිසන් සතාද ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට නොව එකම ආකාරයටය. මේ කටුක අභියෝගයෙන් ඔබට මිදිය හැකිවන්නේ නායකයෙක්‌, පාලකයෙක්‌, කෝටිපතියෙක්‌, උගතෙක්‌ ලෙස මියයාමෙන් නොව සතර අපායෙන් මිදුනු මනුෂ්‍යයෙක්‌ ලෙස මියයාමෙන් බව ඔබ නිහතමානීව සිතිය යුතුව ඇත.

Saturday, November 10, 2012

මාරයා තවත් මුහුණකින්...

ඉකුත් ලිපියේ සටහන් කළා මාරයා කුළුමීමකු ලෙසින් සමාධිය තුළ සිටින භික්‍ෂුව ඉදිරියට පැමිණි ආකාරය. මෙම සටහන් කියවා ඔබ සෙවිය යුත්තේ මේ අත්දැකීම ලද භික්‍ෂුව නොව, එම අත්දැකීම උරුමකර දුන් ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ඔබ භික්‍ෂුව සොයන්නේ නම් ඒ ඔබ සොයන්නේ මාරයාමය. මන්ද සෙවීම යනු මාර ධර්මයකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීම රූපයේ ස්‌වභාවයයි. රූපය අනිත්‍යභාවයට පත්වේ නම් එහි ඔබට සෙවීමට දෙයක්‌ නැත. ඔබ කළ යුත්තේ රූපයත් රූපය ඇසුරෙන් සකස්‌ වෙන 'සොයන්න'යෑයි කියන සිතත් අවබෝධ කරගැනීමය. එසේ අවබෝධ කර ගැනීමේදී ඔබ ද පරාජය කරන්නේ මාරයාම ය. එම භික්‍ෂුවගේ භික්‍ෂූ ජීවිතය තුළදී මීට පෙර අවස්‌ථා දෙකක කලු පැහැති ගොනෙක්‌, රතුපැහැති ගොනෙක්‌ වශයෙන් ද මාරයා භික්‍ෂුව ඉදිරියට සමාධිය තුළදී වියරු ස්‌වභාවයෙන් පැමිණියේය. මෙම ගොනුන්ගේ ස්‌වභාවය හරියට විදේශීය ගොන් පොර තරගවලදී තරගවදින ගොනුන්සේ පෘෂ්ඨිමත් ජවසම්පන්න වියරු ගතියක්‌ විය. මේ කරුණු භික්‍ෂුව ඔබට සඳහන් කරන්නේ ඔබ තුළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවෙන බාධක බැඳීම්වලට එරෙහිව ඔබට වීර්ය ඇති කරගැනීමේ අරුත පැහැදිලි කරදෙන්ටය. මාරයාගේ ඉහත ස්‌වභාවයන් ගැන අපි පුqදුමවිය යුතු නැත. අපි පුදුම වියයුත්තේ මෙවැනි ධර්මයට එරෙහිව වියරුවෙන් මාරයාට අපි කැමැත්තෙන්ම වසඟවීම ගැනයි. මාරයාගේ වගකීම වන්නේ යමෙක්‌ ධර්මය අවබෝධය කරා යයි ද ඔහුව එම ගමනින් ඉවත් කිරීමයි. යමෙක්‌ ධර්මය අවබෝධකර ගනියි ද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්‌ථාව අහිමි කිරීමයි. මේවා ජන්ම ගතිය. ඔබට මේවා වෙනස්‌ කළ නොහැක. කළ හැක්‌කේ ඔබ මේ මාර්ගයෙන් වෙනස්‌වීමය. 

ඉහත සටහනින් ඔබට වැටහෙනවා ඇති මාරයා යනු සංකල්පයක්‌ යෑයි කියන මතය මොන තරම් අවිද්‍යාවෙන් පිරුණු එකක්‌ ද කියලා. මාරයා යනු මේ ලෝකයේ ක්‍රියාත්මක චරිතයකි. මොහු දෙවියෙකි. මොහුගේ සේනාව ද දෙවියෝ ය. මොවුන් ඔබට පියවි ඇසෙන් දැකිය නොහැකිය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණව සමාධියෙන් පරිපූර්ණව ප්‍රඥාව දෙසට ගමන් කිරීමේ දී උතුම් සමාධියෙන් පමණක්‌ දැක ගත හැක්‌කකි. පරිපූර්ණ වූ සමාධියේ ඇසෙන් මාරයා සහ පිරිවර ඔබට ද මුණගැසෙනු ඇත. ඔබ අවංකව මාරයාට එරෙහිව ප්‍රඥාව අවබෝධය කරා යන්නේ නම් පමණක්‌..

මෙම සිද්ධියෙදී වසවර්ති දිව්‍යපුත්‍රයා කුළුහරක්‌ වේශයක්‌ මවාගෙන තම ආධිපත්‍යය රැකගැනීමට පෙන්වීමට පැමිණෙන්නේය. වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ කාමය තුළ ඇලීගැලී ඉන්න දෙවියෙක්‌. ඔහුට හිරිඔතප් කියන දෙයක්‌ නැහැ. ඔය දේම නේද සමහර මනුෂ්‍යයන් කරන්නේ. බොහෝම සුපිරි පංතියේ මනුෂ්‍යයෝ තම බලය, සැපය, ආධිපත්‍ය රැකගැනීම සඳහා මොන මොන වේශයන් මවාගන්නවාද? මිනීමැරීමට, වංචාකාරී ක්‍රියාවන් කිරීමට පැවිදි වේශයන් ගත් අය අතීතයේ නොසිටිය ද, වර්තමානයේ නැති ද? අහිංසක තරුණියන් මුලා කරගැනීමට ධර්මය නොදන්නාකම නිසාම මොන මොන ආකාරයේ වේශයන් මවාගන්නා අය සමාජයේ සිටිනවාද? කාමයන්ගෙන් අන්ධ වුණ තැනදී දෙවියෝ මනුෂ්‍යයෝ කියලා වෙනසක්‌ නැහැ. මේ ආකාරයට හේතුඵල ධර්මයන්ට අනුව මේ ධර්මය ගලපාගන්න උත්සහගන්න. එසේ නොවුනහොත් නොයෙක්‌ මතවාදයන් ඇති වේවි. එය ඔබට දුක පිණිසම තමයි හේතුවෙන්නේ. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගන්න. කුමක්‌ නිසාද? මේ වියරු ලෝක ස්‌වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට. 

භවයකරා දිවෙන කාලසටහන් ඔබ හකුලාදමන්න. භවය අයිති මාරයාට. එහෙයින් ලැබුණු ජීවිතයෙන් ධර්ම මාර්ගයේ උපරිම දුරක්‌ යන්න. මහාකරුණා සමාපත්ති ගුණයෙන් යුතුව පිරිනිවී යන මොහොත දක්‌වාම ලෝකයාට දුකෙන් මිදෙන මාර්ගයම මහාකරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, වචනයෙන් කිව නොහැකි, අකුරකින් ලිවිය නොහැකි මහාසයුර වැනි අපිරිමිත ගුණ කදම්බයත්, පංචකාමයටම ලොල්වූ නීච මාරයාගේ ගුණමකුභාවයත්, පිංවත් ඔබව දුකටම හෙළීම සඳහා මාරයාගේ පවිටු ක්‍රියාවනුත් සතියෙන් සිහියෙන් යුතුව දකින්න. එවිට ඔබට දැනේවි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන ගුණකන්දක්‌ ද, මොන ගුණ සයුරක්‌ ද කියලා. ඔබ දක්‍ෂනම් මෙම අර්ථවත් අවබෝධයම ප්‍රමාණවත්, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ සතර අපායෙන් මිදීමට අවශ්‍ය එක සුදුසුකමක්‌. මාරයාගේ පවිටුභාවය ගැන හිතලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. 

භික්‍ෂුව මේ සටහන ද්වේෂය සහ මාරයා ගැන සඳහන් කිරීමටයි සටහන් කළේ. මාරයා ගැන ඉහත සඳහන් කළා. ද්වේෂය ගැන මේ කරුණු පිංවත් ඔබට සඳහන් කළේ බස්‌රථයක වඩින විට මහත්මයෙක්‌ සඳහන් කළ අදහසක්‌ නිසා. භික්‍ෂුව කතරගම ප්‍රදේශයට වඩින්න කොළඹ ප්‍රධාන බස්‌නැවතුමෙන් කතරගම බසයට ගොඩවුණා. රත්මලාන ප්‍රදේශයේදී සුදු සරමක්‌ හා සුදු කමිසයක්‌ ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක්‌ බසයට නැග බසයේ ඉතිරිවී තිබූ එකම ආසනය වූ භික්‍ෂුව අසලම ආසනයේ වාඩිවුණා. මේ මහත්මයා භික්‍ෂුව ළඟ වාඩි වුණ වේලාවේ පටන්ම පාපුවරුව දෙස බලාගෙනමයි සිටියේ. මුහුණ ඉදිරිපසට කරගෙන සිටියේම නැහැ. භික්‍ෂුවට මුහුණ හංගාගෙන වගේ අහකබලාගෙනම සිටියා. බස්‌රථය තේ පානය සඳහා අතරමග නතර කළා. මගීන් බසයෙන් බැස්‌සට පස්‌සේ මේ අහක බලාගෙන සිටි මහත්මයා භික්‍ෂුවගෙන් අහනවා හාමුදුරුවනේ ගිලන්පස එකක්‌ ගෙනත් දෙන්නද කියලා. ඔහු කතා කරන විටම ඔහුගේ මුවින් අරක්‌කු ගඳ හොඳින් වහනය වුණා. ඒ වෙලාවේ තමයි භික්‍ෂුව දැනගත්තේ මෙතෙක්‌ වෙලා මේ මනුෂ්‍යයා අහකබලාගෙන සිටියේ ඇයි ද කියලා. අරක්‌කු ගඳ භික්‍ෂුවට දැනෙයි කියලා තමයි මොහු මුහුණ සඟවාගෙන මෙතෙක්‌ ඉඳලා තිබෙන්නේ. භික්‍ෂුව කීවා 'ගිලන්පස අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයෝ' කියලා. නමුත් මේ මහත්මයා බස්‌රථයෙන් බැහැලා ගිහිල්ලා සිසිල්බීම බෝතලයක්‌ ගෙනත් පූජා කළා. භික්‍ෂුව පිංදීල එය වැළඳුවා. තේ පානය අවසන් කරලා නැවතත් බසය ගමන් ආරම්භ කළා. ඒත් මේ මහත්මයා අහක බලාගෙන සිටියේ. එකවරම මොහු භික්‍ෂුව දෙසට හැරී බොහෝම ගෞරවයෙන් 'මම ටිකක්‌ බීලා නිසයි මේ විදියට ඔබ වහන්සේට පිටුපාල වාඩිවෙලා ඉන්නේ' කියලා බොහෝම බැගෑපත්ව කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව විමසුවා මොකද මේ උදේ පාන්දරම අරක්‌කු බීල කියලා. එවිට මේ මහත්මයා 'හාමුදුරුවනේ මම මාතර ප්‍රදේශයේ පදිංචි අයෙක්‌. මගේ රැකියාව කට්‌ටඬිකම්, ගුරුකම් කරන එක. මම රත්මලානට ඊයේ පැමිණියා කෙනෙකුට වැඩක්‌ කරලා දෙන්න. දැන් වැඩේ ඉවරවෙලා ගෙදර යන ගමන්. හාමුදුරුවනේ මම පුරුද්දක්‌ වශයෙන් වැඩක්‌ භාරගන්නකොටම මගේ ගණුදෙනුකරුට මම කියනවා වැඩේ ඉවර වුණාම මට බොන්න අරක්‌කු අවශ්‍යයි කියලා. ඒ නිසා ගුරුකම් වැඩේ ඉවර වුණ ගමන් ගාස්‌තුවත් අරක්‌කුත් දෙකම ලැබෙනවා' කීවා. භික්‍ෂුව මොහුගෙන් ඇහුවා 'මහත්තයෝ ඔය ගුරුකම්වලින් ප්‍රතිඵලයක්‌ තිබෙනවද?' කියලා. මොහු බොහෝම උජාරුවෙන් ඔහුගේ දක්‍ෂකම් ප්‍රකාශ කළා. 'හාමුදුරුවනේ මට අවශ්‍යනම් මනුෂ්‍යයෙක්‌ව ජීවිතක්‍ෂයට පත්කරන්න අවශ්‍ය ගුරුකම් මා ළඟ තිබෙනවා. ඒවා මම කරලත් තිබෙනවා කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට කීවා 'මහත්තයෝ ඔය රැකියාව මහා පව්කාර වැඩක්‌නේ' කියලා. ඒ අවස්‌ථාවේ මේ මනුෂ්‍යයා කියනවා හාමුදුරුවනේ මම ගුරුකම් කරලා මනුෂ්‍යයෙක්‌ නැති කරන්නේ තවත් මනුෂ්‍යයෙකුට කරන උපකාරයක්‌ වශයෙන්ය කියලා. බලන්න මේ මනුෂ්‍යයා අදහස්‌ කරන්නේ මනුෂ්‍යයෙක්‌ විනාශකර දමන්නේ තවත් මනුෂ්‍යයෙකුට උපකාරයක්‌ වශයෙන්ය කියලා. මොහු මේ ගැන උදම් අනනවා. බලන්න මේ මනුෂ්‍යයා මනුෂ්‍ය ඝාතනයක්‌ සිද්ධකරන්න තරම් ද්වේෂයක්‌ සිත තුළ සකස්‌කරගෙන, එම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවක්‌ හැටියටත් දකිනවා. මොහු කට්‌ටඬි ක්‍රියාවන් හරහා මනුෂ්‍යයෙක්‌ව විනාශ කරන්නේ, දුකට පත්කරන්නේ, පිළිගන්නේ රැකියාවක්‌ වශයෙන්, ආත්ම තෘප්තියක්‌ ලබාගැනීමක්‌ වශයෙන්. මේ කටයුත්තේදී මොහු පමණක්‌ නොවේ, මොහුගේ සේවාදායකයාද ඉහත ක්‍රියාවන් සිදුකරන්නේ පළිගැනීමක්‌ වශයෙන්, තමාගේ ආත්ම තෘප්තිය සඳහා. එතකොට බලන්න ඉහත ගුරුකම් වැඩ සිදුකරන අප්‍රමාණ පිරිස්‌ සහ ඔවුනගේ සේවාදායකයන් ධර්මානුකූලව කුසල්, අකුසල් ද්වේෂය සහ මෛත්‍රිය ගලපා ගැනීමට නොහැකිවීම නිසා මොනතරම් අකුසල් මේ ජීවිත තුළින් සිදුකරගන්නවාද? අන්‍යයන්ගේ ජීවිතවලට ද අකුසල් අයිතිකර දෙනවා ද? ද්වේශයත් මෛත්‍රියත් හඳුනාගැනීමට නොදන්නා මිනිසුන් කුසල් අකුසල් කෙසේනම් හදුනාගන්න ද? නමුත් මේ ගැන හිතන විට භික්‍ෂුවට දැනෙන්නේ අනේ මොනතරම් පහසුවෙන් මේ දෙක හඳුනාගන්න පුළුවන්ද කියලා. මේ බස්‌ රථයේ භික්‍ෂුව ළඟ අසුන්ගෙන පැමිණි අදාළ මහත්මයා තුළ සංඝයා කෙරෙහි ගෞරවයක්‌ තිබෙනවා. ඒ නිසාමයි අරක්‌කු ගඳ හාමුදුරුවන්ට දැනෙයි කියලා මුහුණ වම් පැත්තට හරවාගෙන සිටියේ ගිලන්පසක්‌ අවශ්‍ය ද කියලා විමසුවා. හාමුදුරුවෝ අවශ්‍ය නැහැයි කියත්දිත් ඔහු සිසිල් බීම බෝතලයක්‌ බොහෝම ගෞරවයෙන් පුජා කළා. පිංදෙනවිට දෑත් එක්‌කර සාදු කිව්වා. බලන්නකෝ කොච්චරනම් තෙරුවන් කෙරෙහි ගෞරවයක්‌ද ඔහු තුළ තිබුණේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මොහු තුළින් අනුනට විනාශය අත්කොට දෙන නිසා එම පව්වලින් ගැලවෙන්න සංඝයාට ගෞරවය දක්‌වනවාය කියලා. 

ඉහත කරුණු සියල්ල කැටි කොට ගනිද්දී පිංවත් ඔබට මෙහෙම චරිතයක්‌ පෙනෙනවා. රැකියාවක්‌ වශයෙන් ගුරුකම්, කට්‌ටඬිකම් කරනවා. ඒවා කිරීමේදී සේවාදායකයාට ඇති මෛත්‍රිය නිසා ඔහුගේ විරුද්ධවාදියාව විනාශ කරනවා. රෝගිS කරනවා. මරණීය දුකට පත්කරනවා. එවැනි ෙච්තනා සකස්‌ කර ගන්නවා. එම ෙච්තනාම සේවාදායකයා තුළත් ඇති කරනවා. දෙවැනුව, එම පුද්ගලයාම, තමන්ගේ මෛත්‍රියට ලක්‌වූ සේවාදායකයා අතින්ම අරක්‌කු ඉල්ලාගෙන පානය කරනවා. තෙවැනුව එම පුද්ගලයාම බස්‌ රථයේදී හාමුදුරුවන්ට අරක්‌කු ගඳ දැනෙයි කියලා, හාමුදුරුවන්ට අපහසුවක්‌ දැනෙයි කියලා මුහුණ සඟවාගෙන සිටිනවා. ගිලන්පස අවශ්‍යද කියලා බොහොම ගෞරවයෙන් විමසනවා. අවශ්‍ය නැතැයි කියද්දිත් බොහොම ගෞරවයෙන් ගිලන්පස පූජා කරනවා. පිං දෙනකොට දෑත් එක්‌කර සාදුකාර දී අනුමෝදන් වෙනවා. මොහුම සුදු සරමක්‌, සුදු කමිසයක්‌ පැළඳ උපාසක ලීලාවෙන් ජීවත්වෙනවා. දැන් බලන්න මෙම චරිතය තුළ සකස්‌වුණා වූ සිත් මොන තරම් විවිධද. එකිනෙකට පරස්‌පරද, මේ පරස්‌පරතාව සකස්‌ වෙන්නේ අවිද්‍යාව නිසාමයි. රූප විඳීමට ඇති තෘෂ්ණාව නිසාම, හොඳ නරක තේරුණත් මොහු හොඳ නරක සොයන්නේ අඳුරේ. ඒ නිසා මොහු හොඳ කියලා නරක අතට ගන්නා අතරම නරක කියලා අතට ගන්නා හොඳ ද නරක ගොඩටම දමාගන්නවා. ඒ නිසා අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නා වූ සිතට ද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මාරයා කියලා දේශනා කරනවා. 

පිංවත් ඔබ ඉහත ගුරුකම් මහත්මයාගේ ක්‍රියාකාරකම් තුළ දැක්‌කේ එකිනෙකට පරස්‌පර ක්‍රියාවන්නේ.... ඒ කිසිවක අර්ථයක්‌ නැහැ. සියල්ල මුලාව තුළමයි තිබෙන්නේ. මේ මාර ක්‍රියාකාරකම් මොහුට නිරයට හැර වෙන කොහෙට නම් පාර පෙන්වන්නද? දුකට පාර පෙන්වන සිතට ද 'මාරයා' කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද මේ නිසාමය. එසේනම් දුකට පාර පෙන්වන සිත සකස්‌වීමට හේතු වූයේ රූපයක්‌මය. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් හේතුවෙන් දුකට පාර පෙන්වන සිත සකස්‌වන නිසා රූපයද මාරයා යෑයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළහ. මේවා සංකල්ප නොව, ඇසට පෙනෙන්නා වූ, සත්වයා නිරතුරුවම අත්විඳින්නා වූ ලෝක ස්‌වභාවයන්ය. පැහැදිළිව ලෙහෙසියෙන් කුසල් යනු මොනවා ද, අකුසල් යනු මොනවා ද, ද්වේෂය මෛත්‍රියේ වෙනස යනු කුමක්‌ ද යන්න හඳුනාගැනීමට මෙතරම් සද්ධර්මය ඇසෙන රටේ අවකාශ තිබුණ ද ඔබව පරස්‌පර මතවාදයන් තුළ කොටුකර තබන්නේ මාරයාගේ ග්‍රහණය තුළ සකස්‌වෙන සිත නිසාමය. මෙහිදී සිත යනු ඵසේස, වේදනා, සංඥා, සංස්‌කාර, විඥාන වශයෙන් ඔබ දැනගත යුතුය. මේ පස්‌දෙනාම මාරයාගේ ග්‍රහණයට නතුව ක්‍රියාත්මක වනුයේ ඔබ රූපයේ යථා ස්‌වභාවය හඳුනානොගන්නා නිසාමය. රූපය අවබෝධකර ගත්තා යනු මාරයා අවබෝධයෙන් හඳුනාගත්තා යනුය. මෙතැනදී රූපයත් සිතත් මාරයාගේ අවබෝධයෙන් හෙළිකරගැනීමට පිංවත් ඔබට හැකිය. මේ තැනට පැමිණීමට පෙරාතුව පිංවත් ඔබ මේ උතුම් ධර්මය අවබෝධයෙන් දේශනාකර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. ධර්ම රත්නය සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. මාරපාර්ශ්වික ධර්මයන් අවබෝධයෙන් හඳුනාගැනීම සඳහා තෙරුවන්ගේ මාර්ගෝපදේශකත්වය හැර අන්කුමන සරණක්‌ ද පිහිටක්‌ ද යන විශ්වාසය තුළින් සතර අපායෙන් ඔබව මිදීම වලක්‌වන තෙරුවන් කෙරෙහි ඇති විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘතයන් කෙරෙහි ඇති විශ්වාසය කියන මාර බැඳීම් අවබෝධයෙන් මුළිනුපුටා ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Wednesday, November 7, 2012

මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය

මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක්‌ පමණයි. මාරයා කියලා කෙනෙක්‌ නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්‌, අරක්‌කුයි..... ඔය වගේ අවිද්‍යාව නිසා සකස්‌වෙන ප්‍රාථමික අදහස්‌ සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස්‌ ඇතිවන සිතටත් එම සිත සකස්‌වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස්‌ අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි. 

ප්‍රකාශකයා ඔබ වුවත් එම ප්‍රකාශය ඔබට සංස්‌කරණය කර දෙන්නේ මාරයාගේ පෞද්ගලික සහකාරියන් තුන්දෙනාය. ඒ තන්හා, රතී, රාගා යන මාර දූවරුන් තුන්දෙනාය. මේ තිදෙනා දිව්‍යාංගනාවන්ය. නිරතුරුවම කැමති වේශයක්‌ මාවාගැනීමේ හැකියාව ඇත. ස්‌වභාවයෙන්ම ප්‍රභාෂ්වරය. සියුමැලිය. රිද්මය, ලාලිත්‍යය එම දිව්‍ය ශරීරයේ ස්‌වභාවයයි. ඉදුණු ජම්බෝල ගෙඩියක මදය යම්සේ රෝස පැහැතිද, සුසිනිදු මල් පෙත්තක්‌සේ මටසිළුටු, රෝස පැහැති ශරීරයකි. මේ දිව්‍ය මාර රූමතියන්ගේ කාර්යභාරය මාරයාගේ ග්‍රහණය තුළ සිටින ඔබ තුළ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නැමති අකුසල් ඇතිකිරීමය. මේ මාරධර්ම තුන ඔබ තුළ ඇතිවන්න, වර්ධනය වන්න වර්ධනය වන්න ඔබට දැනෙන්නේ මහත් ආශ්වාදයකි. මේ මාරධර්ම නිසා ඔබ දිට්‌ඨිකාන්තාරයක අතරමංවී සිටියත් ඔබට දැනෙන්නේ ඔබ දිව්‍ය විමානයක සුරසැප විඳින බවකි. ඔබ ලබන මේ අවිද්‍යාවේ සැපය ඔබට ලබාදෙන්නේ මේ මාරදූවරුන් තිදෙනාය. සුරූපී මාර දූතියන්ගේ ඇඟිලි තුඩුවල පහසින් ඔබ මෝහනයට පත්වී ඇත. ඔබ එම පහසට ඇති ලොල්භාවය නිසා මාරදූතියෝ සංස්‌කරණය කර දෙන ඕනෑම අවිද්‍යාසහගත ප්‍රකාශයක්‌ තළු මරමරා ප්‍රකාශ කිරීමට කැමතිය. වර්තමානයේ ඇසෙන 'මාරයා කියල කෙනෙක්‌ ලෝකයේ නැහැ. මාරයා සංකල්පයක්‌' වැනි අදහස්‌ මාරදූතියන්ගේ ග්‍රහණයට නතුවීම නිසාම ප්‍රකාශවන අදහස්‌ය. මාර දූතියන් විසින් සංස්‌කරණය කර දෙන එම අවිද්‍යාසහගත ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කිරීම වෙනුවෙන් පිංවත් ඔබට ලැබෙන ගෙවීම තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියයි. පිංවත් ඔබ මෙම තුන් කාරණයෙන් පොහොසතෙක්‌ කිරීම මාර දූතියන්ගේ අරමුණයි. පොහොසත් වෙන්න ඔබට නිරයේ අති දීර්ඝ කාලයක්‌ පදිංචි වීමේ වරප්‍රසාදය කිසිදු අඩුවකින් තොරව ලැබෙනු ඇත. 

එහෙයින් පිංවත් ඔබ කුමන අදහස්‌ සමාජයෙන් ඇසුණද එය නිතරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගළපා බලන්න පුරුදුවෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට පටහැනිව එම අදහස දුක පිණිසම හේතුවෙන කරුණක්‌ බව අවබෝධ කරගෙන බැහැර කරන්න. තර්ක කරන්න, ගැටෙන්න යන්න එපා. එවිට ඔබත් නොදැනුවත්ම වැටෙන්නේ එම ගොඩටමය. තව තව නිහඩ වෙන්න. නිහඬතාවය තුළින් දිට්‌ඨි කාන්තාරයක්‌වූ මේ සිත ගැන අවබෝධය ලබන්න. ඔබ ලබන අවබෝධය සක්‌කාය දිට්‌ඨිය සිඳලීම සදහාම මෙහෙයවන්න. ලෝකයට ලෝකයේ ස්‌වභාවයෙන් සිටීමට ඉඩහැර ඔබ ලෝකයෙන් මිදෙන ස්‌වභාවයට පැමිණෙන්න. පිරිස මගහැර ඔබ තනිවන්න. තනිවූ සිතට නොඇලෙන්න. ඇලීමට තරම් නිත්‍යවූ සිතක්‌ නැති බව අනිත්‍යවූ සිත දෙස බලමින් තේරුම්ගන්න. මෙවිට ඔබව තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නමැති මාර දූතියන්ගේ සියුමැලි ඇඟිලි තුඩුවලින් කුල්මත් කරනු ඇත. කිතිකවනු ඇත. සුරතල් කරනු ඇත. පිංවත් ඔබ ගන්නාවූ උත්සාහය තන්හාව, මාන්නය, දිට්‌ඨිය නැමති දුකට අයිති ධර්මතාවයන්ගෙන් කිලිටිවීමට නොහැකි වනසේ දිවි දෙවැනි කොට වීර්යය වඩන්න. ලෝකයට, ලෝකයාට යන්නට හැර ඔබ නවතින්න. යමෙක්‌ නැවතුනා යනු සිත හඳුනාගත්තා යනුය. 

සමාජය තුළ මාරයා ගැන මොන මතවාද තිබුණද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකර දේශනා කළ වදාළ ධර්මයේ සඳහන් මාරයා ගැන දක්‌වන ලද අර්ථයන් ඔබට වර්තමානයේදීද ඒ උතුම් ධර්ම මාර්ගයේ අවංකභාවයෙන්, වීර්යයයෙන් යුතුව ගමන් කළහොත් අත්දැකීමට හැකිය. ඔබ එවැනි අත්දැකීමක්‌ ලබද්දී ඔබ තුළ ජනිතවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැඩි වීර්යයෙන් යුතුව මාර පරාජය සිදුකර අවබෝධකර වදාළ අති උත්තම ශ්‍රී සද්ධර්මයේ ශක්‌තියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළ නොවන්නට ලෝකයා කෙසේ නම් මේ පාපකාරී, මිසදුටු, අධර්මය ආහාරය ප්‍රීතිය කර ගත් මාරයා හඳුනාගන්ටද? මාරයාට ගොදුරුවීම හැර අන් මොන පිළිසරණක්‌ද? ලොව්තුරා බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේට ධර්මය ගරුකරන තුන්ලෝකයාගේම උත්මතම නමස්‌කාරය වේවාෘ මේ විෂම මාරධර්මය අවබෝධකර පරාජයකර දේශනා කළාට.

මෙවන් උතුම් ධර්මයක්‌ සරණයන්නට අපි මොනතරම් භාග්‍යවන්තද? ශාසන පරිහානිය යනු, අබුද්ධෝත්පාද කාලයක්‌ යනු සත්වයාට මොනතරම් අඳුරු බියකරු විෂම කාලපරිච්ෙච්දයක්‌ වේවිද? ධර්මය ගොදුරුකර ගැනීමට බලාසිටින අධර්මයේ මාර සේනාව ලෝකයේ තනි බලය සියතට ගැනීමට පෙරාතුව ඔබට මුණගැසුණ ධර්මයෙන් ඔබ සනාථවෙන්න. දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ ලබන ඊළඟ උපත මාර්ග ඵලලාභී දෙවියෙක්‌ම වෙන්න.

දැන් භික්‍ෂුව මෙහි සදහන්a කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිප්‍රදාව තුළ එනම් තුන් සිවුරත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් එක්‌තරා භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙද්දී අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්‍ෂුව රාත්‍රි 11.00 ට පමණ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක්‌ රංචුවක්‌ පැමිණියහ. මෙම වියරු කුළුහරක්‌ රංචුව භික්‍ෂුවට මීටර් 25ක්‌ පමණ ඉදිරියෙන් ක්‌ෂණයකින් පහළවී භික්‍ෂුqවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්‌ම ඉතාමත් ජව සම්පන්න හැඩිදැඩි සතුන්ය. මෙසේ වේගයෙන් පිඹිමින් භික්‍ෂුව ඉදිරියට දිව එමින් භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ තිබියදී මේ වියරු කුළුහරක්‌ රංචුව දකුණු පැත්තට හැරී පලා ගියහ. මෙම රංචුවේ අවසාන මීහරකාත් භික්‍ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්‌ෂණයකින්ම භික්‍ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළුහරකෙක්‌ පහළ විය. ඒ කුළු හරකෙක්‌ නොව හරක්‌ රජෙකි. උස අඩි පහක්‌ පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළුහරකෙකි. මොහුට අං පිහිටියේ නැත. මෙම කුළු හරකාගේ සම වෙල්වට්‌ සමකි. එම සතාගේ සම දිලිසෙන ග්‍රීස්‌වල ඇති කළු පැහැයක්‌ ගෙන තිබිණි. මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිවුරක්‌සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්‌කඩ සිවුරක්‌සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක්‌ පමණ වට රවුමකින් යුත් වළල්ලක්‌ දමා තිබිණි. එය මාපට ඇඟිල්ලක්‌ තරම් මහතය. දැන් ඔබ මොහොතක්‌ සිතන්න. නාසයට රිදී වළල්ලක්‌ දැමූ දහස්‌කඩ චීවරයක්‌ බදු වෙල්වට්‌ සමක්‌ සහිත මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ ස්‌වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්‌වභාවයේ ප්‍රතාපවත් මේ කුළුහරකා භික්‍ෂුවට මීටර් 25 ක්‌ ඉදිරියෙන් පහළ වූ තැනදීම වේගයෙන් හිස වරක්‌ කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්‍ෂුව දෙස බලා සිටියා. ඔබ දැකලා ඇති මල්ලව පොර තරගවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙනකොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක්‌ ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බියගන්වන්න. ඉහත කුළුහරකාද පහළවූ නිමේෂයේම ගාම්භිර ලෙස නාසයේ රිදී වළල්ලක්‌ පැළඳි, හිස කරකවා තේජස්‌බව තව දැඩිකර ගෙන සමාධියෙන් පසුවෙන භික්‍ෂුව දෙසට වියරු බැල්මක්‌ හෙළා නාසයේ කුහර දෙකෙන් දුවිලි පැහැ දුමක්‌ පිටකරමින් වියරුවෙන් මෙන් භික්‍ෂුව ඉදිරියට හඹා පැමිණියේය. 

හරියටම භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ ඉදිරියෙන් මෙම කුළුහරක්‌ රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්‍ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිමවූ පසුව භික්‍ෂුව සමාධියෙන් අවදි විය. භික්‍ෂුවගේ මුහුණට සිහින් සිනාවක්‌ නැගිණි. සිහින් සිනාවත් සමග මේ සිතුවිල්ල භික්‍ෂුවතුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්‍ෂුව ඉදිරියේ කුළුහරකෙක්‌ වීමට තරම් දීන වූවා නේද යන සිතුවිල්ල භික්‍ෂුවට පහළ විය. භික්‍ෂුව බියගැන්වීම සදහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේදී භික්‍ෂුව බියගැන් වීමට මාරයාට අවශ්‍ය විය. මාර දිව්‍යපුත්‍රයාගේ නිවටභාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බිය ගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්‍ෂුව බියගැන්වූවේ සමහරවිට භික්‍ෂුව අවබෝධ කළ යම් ධර්මයක්‌වේද එම ධර්මය ලෝකයාට දේශනාකිරීම වැලැක්‌වීමටය. බියගැන්වීමටය. එම අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටියේ ලොකු ප්‍රපාතයක්‌ අසලම තිබූණු කදු බෑවුමක කුටියකය. භික්‍ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්‍ෂුව භාග බිත්ති බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකියෑයි සිතුවාද විය හැකියි. එසේ වූවානම් මේ සටහන ඔබ අතට පත්නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූවේ එහි අනෙක්‌ පැත්තය. භික්‍ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක්‌ කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්‍ෂුවගේ සමාධිමත් ස්‌වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්‌තිය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව ධර්මයේ ආශ්චර්යයයි. ඔබද දක්‍ෂනම් මෙම ආශ්චර්ය ඔබගේත් උරුමයයි. උතුම් සමාධිය තුළදී බිය යනු ශූන්‍ය දෙයක්‌ යන ධර්මතාවයේ සත්‍යයයි. විචාර විතර්කයන්ගෙන් තොර සන්සිදුණු සිතේ උපේක්‍ෂාසහගත ස්‌වභාවය ඔබව ඇලීම් ගැටීම්වලින් මුදවාලනවාය යන ධර්මයයි. මෙම කථාවේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලය අයිති වසවර්ති දිව්‍යපුත්‍රයාය. මොහු ධර්මයට අකමැතිය. පංචකාමයටම නැඹුරු දිව්‍ය රජෙකි. සමාධිමත් භික්‍ෂුව ඉදිරියට මුලින්ම වියරුවෙන් දිවඑන කුළුහරක්‌ රංචුව මාර සේනාවයි. වසවර්ති දිව්‍යපුත්‍රයා මුලින්ම භික්‍ෂුව බියගැන්වීමට එව්වේ මාර සේනාවයි. මේ අයද දෙවිවරුය. ඔවුනට අවශ්‍ය ආකාරයේ වේශයක්‌ මවාගැනීමට හැකිය. භික්‍ෂුව බියගැන්වීමේ මේ මෙහෙයුමට ඔවුන් කුළුහරක්‌ වේශයෙන් පැමිණියහ. සමාධිමත් භික්‍ෂුවට මීටර් පහක්‌ තබා ඔවුන් දකුණට හැරී පලාගියේ සමාධිය තුළ සකස්‌වෙන නික්‌ලේශී ධර්ම ශක්‌තියට ළංවීමට ඔවුනට නොහැකි නිසාය. තම මාර සේනාව භික්‍ෂුව අබියසට පැමිණ පලායනවිට එම කටයුත්ත වසවර්ති මාරපුත්‍රයා භාරගත්හ. දෙවනුව පහළවූ තේජස්‌ සහිත ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පරිපූර්ණ දිලිසෙන ස්‌වභාවයේ ලොම් සහිත කුඵහරක්‌ රජු වසවර්ති දිව්‍යපුත්‍රයාය. මාර සේනාවට නොහැකිවූ තැන මාරයා ඉදිරිපත් විය. මේ තේජස්‌ සහිත කුළුහරක්‌ වේශය ගත් කුළුහරකා දකිනවිටම මොහු දිව්‍ය ඕජාවෙන් පරිපූර්ණ අයකු බව අවබෝධ වේ. දහස්‌කඩ සිවුරක්‌සේ කැටයම් වූ ඔහුගේ සමේ ප්‍රභාෂ්වර ස්‌වභාවය දෙවියකුට හැර වෙනකාට තිබෙන්නද? භික්‍ෂුවක්‌ සතු පරිපූර්ණ ශිලයේත් සමාධියේත් මෙම මාර පිරිවර සහ මාරයාට මුහුණදෙන අතර මොවුන් මාරයා සහ මාරපිරිවර බව හදුනාගන්නේ ප්‍රඥාව විසින්මය. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් එකතුවුණ තැනදී ඇතිවන අයෝමය ශක්‌තිය තුන් ලෝකයම තම ආධිපත්‍යය තුළ රඳවාගෙන තිබෙන මාරයාටද අභියෝග කළහැකි බවට, මාරයා පරාජය කළ හැකි බවට මීට වඩා උදාහරණ කුමකටද? ඔබ මේ දකින්නේ ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ධර්මයේ අකාලික ගුණයයි. ඔබ මෙම සටහන කියවා මුල්තැන දිය යුත්තේ මාරයාට නොව ධර්මයේ සන්දිට්‌ඨික ගුණයටය.

Sunday, October 21, 2012

හිංසාවේ ආදීනව තවදුරටත්..

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක්‌ 75 ක පමණ රංචුවක්‌ තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්‍ෂුවට පෙනෙන්නේ මාරසේනාවක්‌ හැටියට. නමුත් මේ මීහරක්‌ රංචුවේ හිමිකරු මේ සතුන් දකින්නේ සෞභාග්‍යයේ උල්පතක්‌ හැටියට. මේ සතුන්ගෙන් කිරි දොවන්නෙ නැහැ. පැටවුනට කිරිබොන්න දෙනවා. වේගයෙන් පැටියා ලොකුවීමට. මේ අය වැඩෙන්නේ මස්‌ සඳහාමයි. මේ සතුන් රැළ නිසා කීදෙනෙක්‌ නම් අපාගතවෙනවාද? පරම්පරා කීයක්‌ අපාගත වෙන්න ඇතිද? තව පරම්පරා කීයක්‌ අපාගත කරයිද? පරිස්‌සමින්¾ තිරිසන් ලෝකය ඔබව සතර අපායට ඇද දමන මාරදූතයන්මයි. 

ඒ වගේමයි සමාජයේදී ඔබ දැකලා ඇති සමහර පිංවත් සත්ව කරුණාව තිබෙන මනුෂ්‍යයො සිටිනවා. සතුනට හරිම ආදරෙයි. ගොනෙක්‌ කරත්තයෙ බැඳල තමයි ජීවත්වෙන්නේ. සතා කරන්නේ බර අදින එකයි. සවසට ගෙදර ගිහිල්ල සතාගේ දණහිසේ තෙල්ගාන මනුෂ්‍යයෝ ඉන්නවා. බරපටවාගෙන කන්දක්‌ නගිනවිට තමාගේ ශක්‌තිය යොදලා කරත්තේ තල්ලු කරල සහයෝගය දෙන මනුෂ්‍යයෝ ඉන්නවා. තමන් බෙදාගන්න බත්පිඟානෙන් බත් කටක්‌ සතාට දෙන මනුෂ්‍යයෝ ඉන්නවා. එවැනි අයටත් සත්ව හිංසාව අදාළයි. ඒත් ඔවුන් තුළ කරුණාව, මෛත්‍රිය සහගත ක්‍රියාකාරකම් නිසා ඒවා විපාකදීමේ ස්‌වභාවය බරපතළ නැහැ. කෙසේ වෙතත් සතුන්ගෙන් ඈත්වී ජීවත්වන එක ඔබට හුඟාක්‌ යහපත්.

මනුෂ්‍යයා අතින් පමණක්‌ නොවෙයි සත්ව හිංසාව සිදුවෙන්නේ. තිරිසන් සතා අතින් තිරිසන් සතාව හිංසාවට ලක්‌වෙනවා. ප්‍රේතයා විසින් ප්‍රේතයාව හිංසාවට ලක්‌කරනවා. යක්‍ෂයින් විසින් අමණුෂ්‍යයින්ව හිංසාවට ලක්‌කරනවා. දෙවියන් විසින්ද දෙවියන්ව මානසික හිංසාවට ලක්‌කරනවා. රාගය, ද්වේෂය, මෝහය ප්‍රහීන නොකළ සත්වයා අතින් අනෙකා හිංසාවට ලක්‌වීම අරුමයක්‌ නොවේ. අමුනුෂ්‍යයින් අතින් හිංසනය සිදුවන අවස්‌ථාවක්‌ ඔබගේ අවබෝධය සදහා මෙහි සටහන් කරනවා.

භික්‍ෂුවක්‌ උතුරුමැද පළාතේ ආරණ්‍යයක වැඩසිටින අවස්‌ථාවක රාත්‍රී දහයට පමණ සමාධියෙන් පසුවෙන විටක භික්‍ෂුවට පෙනෙනවා කුටියේ පසුපස කෙළවරේ සුදු සායක්‌ සුදු හැට්‌ටයක්‌ හැඳි ප්‍රාථමික මට්‌ටමේ දිව්‍යස්‌වභාවයක්‌. වයස අවුරුදු 45 වගේ වයස්‌ මට්‌ටමක කාන්තා ස්‌වභාවයක්‌ ඇයට තිබුණා. සමහරවිටක ඇය පරදත්තරූපජීවී ප්‍රේතයෙක්‌ වීමටද හැකියි. කොහොමහරි ඇය පින්වත් තැනත්තියක්‌. හැබයි ඇගේ සම නම් තලඑලළු පැහැයක්‌ තිබුණේ. එයින් අනුමාන කරන්න පුළුවන් ඇය ක්‍රෝධ සහිත චරිතයක්‌ බව. ඇය කුටිය කෙළවරට වෙලා බොහෝම සන්සුන් ඉරියව්වෙන් භික්‍ෂුව දෙස බලාසිටිනවා. ඇය භික්‍ෂුව දෙස බලමින් යම් ආස්‌වාදයක්‌ ලබනවා. ඔබ දැකලා ඇති තරුණ, මධ්‍යම, මහළු වයසේ උපාසක මහත්වරු ඉන්නවා දායිකාවන් ඉන්නවා ස්‌වාමීන් වහන්සේලාගේ ඉරියව් චර්යාවන් ප්‍රියකරන, කැමති කරන, ඒවා දැකලා යම් අහිංසක ආශ්වාදයක්‌ ලබන. වින්දනයක්‌ ලබන. ඇය මෙවැනි ස්‌වභාවයේ උපාදානයක්‌ සකස්‌ කරගෙන මියගිය මැදිවියේ උපාසිකාවක්‌ වෙන්න පුළුවන් ගිය ජීවිතයේදී. මේ ජීවිතයේදී ප්‍රාථමික දිව්‍ය හෝ ඉහළ ප්‍රේත ජීවිතයක්‌ ලබලා ආරණ්‍යය තුළම ජීවත්වෙමින් ස්‌වාමීන්වහන්සේලා උපාදානය කරගෙන සිටිනවා. භික්‍ෂුව වැඩසිටිය කුටිය කෙලවරට වී බලාසිටි සුදු ඇඳුම ඇදගත් මේ තැනැත්තිය බෝහෝම සංවරයි. රාගය ද්වේශය පෙනෙන්නට නැහැ ඇයගේ ස්‌වභාවයේ. මේ විදියට ඇය භික්‍ෂුව දෙස නිවිසැනසිල්ලේ බලාසිටිනවිට තවත් ප්‍රේතයෙක්‌ ඇයට බොහෝම සමීපව ඇය ඉදිරියෙන් ගමන් කළා. ඒ ප්‍රේතයා කෙට්‌ටු හීන්දෑරි ප්‍රේතයෙක්‌. මේ ප්‍රේතයා අර ප්‍රේත කාන්තාව ඉදිරියෙන් ගමන් කරනවිටම අර සුදු ඇඳුම් ඇඳගෙන භික්‍ෂුව දෙස බලා සිටි ප්‍රේතියගේ අවදානය බිඳුණා. ඇය ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වුණා. ඔබ දැකලා තිබෙනවාද නිවෙස්‌වල ස්‌වාමිපුරුෂයා අතින් බරපතළ වැරැද්දක්‌ වුණාම බිරිඳට කේන්ති යනවා. එහෙම කේන්ති ගියාහම බිරිඳ අත්දෙක මිටි මොලවලා වේගයෙන් ස්‌වාමිපුරුෂයාගේ පපු පෙදෙසට පහර දෙනවා. කාන්තාවෝ හුඟක්‌ වෙලාවට තව කෙනෙකුට ක්‍ෂණික ආවේගයකදී පහර දෙන්නෙ ඔය ඉරියව්වෙන්. මෙන්න මේ ඉරියව්වෙන්ම අර ප්‍රේතිය තමාගේ ඉදිරියෙන් ගමන් කළ තමාගේ අවධානය කැඩුව ප්‍රේතයාට පහර දුන්නා. තමන් කැමති ආශ්වාදයට බාධා කළ සැනින් කේන්තිය සකස්‌ වුණා. ඒ ආවේගයෙන්ම ප්‍රේතයාට නොසෑහෙන්න ගැහුවා. එතැනින් මේ දෙදෙනාම නොපෙනී ගියා. හැබැයි ඉතින් සුදු ඇඳුම ඇඳගෙන සිටිය ප්‍රේතියගෙන් ප්‍රේතයා නොසෑහෙන්න ගුටිකෑවා. මේ දෙදෙනාම ප්‍රේතයෑයි හැඳින්වුවද පෙර ජීවිතයේ ආරණ්‍ය, පන්සල් ඇසුරේ සිටි උපාසක උපාසිකාවන්. නමුත් තමන් කළ පිංකම් වලට වඩා තමන් ප්‍රියකළ වෙනත් දේවල් කෙරෙහි චන්දරාගය සකස්‌ කරගත් නිසා ආරණ්‍යය පන්සල් ආශ්‍රිතව ජීවත්වන ඉහළ තලයේ ප්‍රේත කොටසක්‌ බවට පත්වුණා වෙන්න පුළුවන්. 

පිංවත් ඔබලා මේ සතර අපායේ චරිත හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම හොඳින් මෙම අමනුෂ්‍ය චරිත ගැන අවධානය යොමු කළොත්, හේතුඵල ධර්මයන් ගලපා බැලුවොත් පිංවත් ඔබ තුළ යම් අඩුපාඩු තියෙනවානම් ඒවා නිවැරැදි කරගන්න පුළුවන්. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ස්‌වාමීන් වහන්සේලා පන්සලේ වේවා, ආරණ්‍යය වේවා තමන්ගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරන ධර්ම ප්‍රතිපදාව නිසාම උන්වහන්සේලා බොහෝම ප්‍රිය මනාපයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කරන ඕනෑම ගෞරවණීය ස්‌වාමීන් වහන්සේනමක්‌ව දැකීමම ප්‍රියයි. ඇවතුම් පැවතුම් සංවරයි. දෙවිවරුවගේ පැහැපත් ප්‍රභාශ්වර ස්‌වාමීන්වහන්සේලා වර්තමාන සමාජයේ වැඩසිටිනවා. එම ස්‌වභාවය කුසල් විපාකයන් නිසා ඇතිවන්නක්‌. එම නිසා පිංවත් දාකය දායිකවන් නිරතුරුවම උත්සහවන්ත වෙන්න ඕනේ එම ස්‌වාමින් වහන්සේලාගේ ශීල, සමාධි ප්‍රඥා ගුණයන්ට ගරුකරන්න කැමතිවන්න. එම ගුණයන් සිහිකරන්න. එසේ නැතිව එම පිංවත් ස්‌වාමීන්වහන්සේලාගේ රූපය කෙරෙහි, කටහඬ කෙරෙහි, ප්‍රසන්නභාවය කෙරෙහි චන්ද රාගයක්‌ ඇතිකරගතහොත් එය දුක පිණිසයි හේතුවෙන්නේ. පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ හමුවට ඔබ යායුත්තේ ධර්මයක්‌ අසා දැනගෙන සතුටුවෙන්න. පන්සලට යන්නේ දාන, ශීල, භාවනා මාර්ගයේ ගමන් කර සතුටුවෙන්න. එසේ නොමැතිව වෙනත් රූපයන්, ශබ්දයන්, ගන්ධයන්, ස්‌පර්ෂයන් කෙරෙහි චන්දරාගයක්‌ සකස්‌ කරගන්න ඔබේ සිතට ඉඩදෙන්න එපා. එහෙම උනොත් එය හරියට අසනීපයකට බෙහෙත් ගන්න රෝහලට ගිහිල්ලා තිබුණ අසනීපයට වඩා භයානක රෝගයක්‌ හදාගෙන ගෙදර පැමිණි කෙනෙක්‌ බවට පත්වෙනවා. ඉහත ප්‍රේතයත් ප්‍රේතියත් පෙර ජීවිතයේදී පන්සලට ආරණ්‍යයට ගිහිල්ල අවශ්‍ය දෙය කෙරෙහි නොව අනවශ්‍ය අවදානම් සහිත දෙය කෙරෙහි චන්දරාගය සකස්‌ කරගත් දෙදෙනෙක්‌. ඒ කැමත්ත නිසාම මේ ජීවිතයේදී භික්‍ෂුන්වහන්සේලා දෙස බලාසිටිමින් ආශ්වාදය ලබනවා. මෙම කථාව භික්‍ෂුව ඔබට මතක්‌ කළේ අමනුෂ්‍ය ලෝකයේ සත්ව හිංසනය ගැන ඔබව දැනුවත් කරන්න. ප්‍රේතලෝකයේ ජීවිතවල රාගය ද්වේශය මෝහය අධික නිසා හිංසනයත් අධික බව සිහිතබා ගත යුතුයි. ඇය සුදු ඇඳුමක්‌ ඇඳගෙන සිටියත් ඔබ සිහිකරන්න. ඉහත ප්‍රේතියගේ සිතේ සැඟවී තිබුණ ද්වේශය. ඒ ද්වේශය වේගවත් වන්නේ රාගය නිසා. මේ කරුණු දෙකම සකස්‌ වෙන්නේ මෝහය නිසාමයි. රාගයේ හා ද්වේශයේ තීව්‍ර බව තමයි ඇයගේ වේගවත් පහරදීම තුළ දර්ශණයවූයේ. නිවරැදි දෙය නිවරැදි ආකාරයට ගලපාගතහොත් අත්වන ඉරණම ගැන ඔබතුළ බියක්‌ සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අමූලිකාසද්ධාව වශයෙන් දේශණා කරන්නේ ඉහත ස්‌වභාවයයි. මේ ස්‌වභාවය වර්තමාන සමාජයේ බහුල වශයෙන් පවතින්න පුළුවන්. අනිත්‍ය සංඥා නොමැති බව නිසාමයි රූපය කෙරෙහි මෙවැනි චන්දරාගය සකස්‌ වෙන්නේ. මෙය ගිහි පැවිදි පිංවත් හැමෝම දෙවරක්‌ සිතිය යුතු ප්‍රශ්නයක්‌ බවට පත්කරගතහොත් එය යහපත පිණිසමයි හේතු වෙන්නේ. අද වැනි සංකීර්ණ සමාජයක අනිත්‍ය සංඥා වැඩෙනවා කියන එකත් දුර්ලභ දෙයක්‌. ලෝකය සකස්‌ වෙන්නේ රූපයට වටිනාකම් වැඩිකරමින්මයි. සැපයට තව නමක්‌ කියන්න කීවොත් ලෝකයාගේ පිළිතුර ''රූපයක්‌මයි''. රූපයේ නිරෝධය තුළයි සැපය තිබෙන්නේ කියලා ලැබෙන පිළිතුර දුර්ලභ දෙයක්‌. 

දැන් නැවතත් මාතෘකාව සත්ව හිංසාව දෙසට හැරෙමු. සත්ව හිංසාව ගැන කථාකරන විට අකුසල් බලවත්ව සකස්‌ වෙන්නේ මනුෂ්‍යයා මනුෂ්‍යයාට කරන හිංසාවන්ට. මනුෂ්‍ය ජීවිතයක්‌ මොන අඩුපාඩුකම් යටතේ වුවද යමෙක්‌ ලබන්නේ පෙර ජීවිතයේ කරගන්නා ලද පිංකම් නිසාමය. විශේෂයෙන් අදවැනි බුද්ධෝද්පාද කාලයක බෞද්ධයෙක්‌ ලෙස ලබන මනුෂ්‍ය ජීවිතය ආශ්චර්යමත් දෙයක්‌මයි. මේ මනුෂ්‍ය ජීවිතය යමෙක්‌ ලබන්නේ අති විශාල සතර අපාය අභිබවා ගිහින්. ඔහු සතර අපායට නොවැටුනේ සතර අපායේ උපතකට අදාළව සකස්‌ වෙන ලෝභය, ද්වේශය, මෝහය යම් ප්‍රමාණයකට අවම වීම නිසාමය. ඒ නිසා මනුෂ්‍යයෙකුට හිංසා කිරීම තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක්‌ සිද්ධවෙනවා. මොකද ඔබ හිංසනයට ලක්‌කරන්නේ සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවාගැනීමට ශක්‌තිය තිබූ පෙර පිනැති මනුෂ්‍යයෙකුට වීමයි. සමාජයේ මොන අංශයකින් බැලුවත් මනුෂ්‍යයා මනුෂ්‍යයාට හිංසා කිරීමේ වර්ධනයක්‌මයි පෙනෙන්නේ. අවිද්‍යාව නිසා සකස්‌වෙන 'ලෝකය සැපයි' කියන මතය අයිති කරගැනීමට යාම නිසාමයි ඔබ අතින් මනුෂ්‍ය හිංසනය සිදුවෙන්නේ. හිංසනය කියන්නේ ආදායම් මාර්ගයක්‌. රැකියාවක්‌. උසස්‌වීමක්‌. ඉතිරියක්‌. හීනමානයක්‌. තාවකාලික ආරක්‍ෂාවක්‌. කොටින්ම ඔබේ පැවත්ම උදෙසා අන්‍යයන් හිංසනයට ලක්‌කරනවා. 

වර්තමානයේ උපත ලබන මනුෂ්‍යයාගේ අකුසල් ස්‌වභාවය වැඩි නිසාමදෝ හිංසා කිරීමත් හිංසාවට ලක්‌වීමත් ජීවිතයේ කොටසක්‌ බවට පත්වෙලා. මෙතනදී හිංසනය ලෙස ගැනෙන්නේ පහරදීම තුවාල සිදුකිරීම වැනි කායික හිංසනයන් පමණක්‌ නොවේ. මානසිකව හිංසාවට පත්කිරීමත් ඔබට බලවත් අකුසල් පිණිස හේතුවෙනවා. රටේ පොදු ප්‍රවාහන සේවය උදාහරණයට ගන්න. එක දිනකට කොන්දොස්‌තර මහතා රියදුරු මහතා අතින් මොනතරම් මනුෂ්‍ය හිංසාවක්‌ සිදුවෙනවාද? අධිකව මගීන් පැටවීම නිසා, අධික වේගය, හීන වේගය, මගීන්ට බැනවැදීම්.... ඇයි මෙහෙම වෙන්නේ? වැඩිපුර ආදායම් ලබන්න. හවසට පිංවත් බස්‌ මුදලාලිව සතුටුකරන්න. තමනුත් වැඩිපුර කීයක්‌ හරි තමාගේ පැවත්ම, දරුපැටවුනගේ පැවත්ම සඳහා ගෙදර අරගෙන යන්න. තමාගේ සතුට උදෙසා අනුන්ව පීඩනයට ලක්‌කරනවා. මේවා එකිනෙකට බැඳිල තිබෙන්නේ මාර බන්ධනයෙන්. බස්‌ හිමිකරුට ඔබ ආදායම දුන්නොත් තමයි ඔබගේ රැකියාව ආරක්‍ෂා වෙන්නේ. හැම ක්‍ෂේත්‍රයකම ස්‌වභාවය ඔහොමයි. හිරගෙදරක්‌, පාසලක්‌, විශ්වවිද්‍යාලයක්‌, රෝහලක්‌, ආරක්‍ෂක අංශ, පරිපාලන අංශ, ගෘහසේවකයින්...මේ හැම තැනකම ඉහත ස්‌වභාවය තියෙනවා. මේවා නිවරැදි කරන්න, අවම කරන්න පුළුවන් දේවල් නොවේ. මේවායේ වර්ධනයක්‌මයි දිනෙන් දින සිද්ධවෙන්නේ. මෙතැනදි පිංවත් ඔබ දකින්න ඕනේ, අයෙක්‌ අකුසල් කර්ම විපාකයක්‌ ගෙවන විට තව කෙනෙක්‌ අකුසල් කර්ම සකස්‌ කරගන්න ආකාරය. වර්තමානයේ හිංසනයට ලක්‌වෙන්නේ පෙර ජීවිත වලදී අන්‍යයන්ව හිංසනයට ලක්‌කළ පිරිස්‌මයි. එම නිසා ඔබ මේවා නිවරැදි කරන්න යන්න එපා. ඒවා නිශ්ඵල දේවල්. හිංසාව ගැන සඳහන් මේ සති කිහිපයේ පළවූ සටහන් මාලාවේ මුලදි සඳහන් කළා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුභමානවකයාට දේශණා කරනවා සුභ යමෙක්‌ මේ මනුෂ්‍ය ජීවිතයේදී රෝගීව ඉපදේනම්, නිරතුරුව රෝගවලට ගොදුරු වෙමින් ජීවත්වෙයිනම් ඊට හේතුව පෙර ජීවිතයේදී සත්ව හිංසාව සිදු කිරීමය කියලා. බලන්න වර්තමානයේ මනුෂ්‍යයෝ හැමෝම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිල, වසංගත රෝග පැතිරෙනවා. මේ අපි දකින්නේ අප පෙර ජීවිතවලදී කරන ලද සත්ව හිංසාවේ ඵලයත් හේතුවත් තමයි . මනුෂ්‍යයා අතින් සත්ව හිංසාව වැඩිවෙන්න වැඩිවෙන්න අනාගත ලෝකයේ රෝග සහ රෝගීන් තව තව බහුල වෙනවා. මේවා ලෝක ධර්මයන්. වලක්‌වන්න බැහැ. දක්‍ෂයාට තිබෙන්නේ අවබෝධය තුළින් ලෝකයෙන් මිදීමට උත්සහ කිරීමයි. 

පිංවත් ඔබ රෝගීභාවයන්ගෙන් තොර නිරෝගී ජීවිතයක්‌ ගතකරන අයෙක්‌ නම්, සංසාරික පුරුද්ද නිසාම ඔබ මේ ජීවිතයේදීත් සත්ව හිංසාවට අකමැති කෙනෙක්‌. ඔබ මනුෂ්‍යයෙකු තබා තිරිසන් සතෙකුටවත් හිංසා කිරීමට නොපෙළඹෙන කෙනෙක්‌. එහෙම අය ඕනේ තරම් සමාජයේ සිටිනවා. ජාති ආගම් බේදයකින් තොරව නිරෝගීභාවය නිසාම ඔබ ඒ ලබන කායික මානසික තෘප්තිය හේතු ඵලධර්මයන් සමග හොඳින් ගලපලා එම උතුම් ගුණයන් තව තව ශක්‌තිමත් කරගෙන අනුනට හිංසා නොකර ශීලයෙන් පරිපූර්ණ පිංවත් මනුෂ්‍යයෙක්‌ වන්න ඔබත් නිරතුරුවම උත්සහවන්ත වන්න. ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙත්ම ඉහත ලෝකස්‌වභාවයන් හඳුනාගත හැකි සමාධියක්‌ ඔබ තුළ ඇති වේවි. ඔබ කලබල විය යුතු නැහැ එම තැනට එන්නට. මන්ද ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙත්දී ඉන්ද්‍රිය සංවරය ඉබේම ඇතිවෙන නිසා ලෝකයාට නොදැනීම ඔබ ලෝකය ගැන සිතන්නට පටන් ගනිවී. ඔබ හිතනකොට ප්‍රවේසම් වෙන්න ඕනේ සමාජයේ පවතින දෘෂ්ඨියට යට නොවී මේවා ගැන හිතන්නට. මේ වගේ ප්‍රශ්ණයක්‌ තමයි සත්ව කරුණාවේ නාමයෙන් සමාජයේ තිබෙන මාංශ නිර්මාංශ ප්‍රශ්ණය. මේ ප්‍රශ්ණයේදී හේතුඵල ධර්මයන් නිවරැදිව ගලපා නොගත් පිංවතුන් තිරිසන් සතුනට කරුණාව දක්‌වමින් මනුෂ්‍යයා කෙරෙහි ව්‍යපාදය සකස්‌කර ගන්නවා. පිංවත් දායක පිරිස්‌ විසින් සංඝයා උදෙසා කැප ආකාරයට දානයට මාංශයක්‌ පූජා කළත් එය ප්‍රත්‍යවේක්‍ෂ කොට වළඳන ස්‌වාමීන් වහන්සේලාවත් සමහර පිංවතුන්ලා විවේචනයන් එල්ල කරනවා අපිට ඇහෙනවා. එම නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාළ ධර්මයන්ට පටහැනි ආකාරයේ ක්‍රියාවන්ට පෙලඹෙන්න එපා. එහෙම උනොත් ඔබ ධර්මයේ නාමයෙන් අධර්මය ක්‍රියාත්මක කරන කෙනෙක්‌ වෙන්න පුළුවන්a. මෙය හරිම අභාග්‍යයක්‌. මේ පුංචි ජීවිත කාලයේදී ඔබ අප හැමෝම හිතන්න ඕනේ අපි දන්න දේ හුඟාක්‌ අඩුබව. එවිට අපිට පුළුවන් ලෝකයේ සියල්ල අවබෝධයෙන් අභිබවාගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය නිහතමානීව නිවරැදිව ජීවිතයට ගලපා ගන්න. එහෙමනම් ඔබ තනිතනිවම සත්ව හිංසාවෙන් වැලකෙන්න. එවිට එහි ඵලය වන නිරෝගීබව අත්විඳින්නේ ඔබමය. ලෝකයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යයේ ස්‌වභාවය වේගයයි. මේ වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන ලෝකය ඔබ අවබෝධකර ගැනීමට නම් ඔබ වේගයෙන් තොර විය යුතුයි. ඔබද වේගවත් වුවහොත් ලෝකය ඔබට සංකීර්ණ වෙයි. ඔබ මෙහෙම හිතන්නකෝ... වේගයෙන් ක්‍රියාත්මකවන යන්ත්‍රයක්‌ ක්‍රියාත්මකවන ස්‌වභාවය ඔබට නිරීක්‍ෂණය කිරීමට අවශ්‍යනම් ඔබ නිසෝලමනේ එම යන්ත්‍රය දෙස බලාසිටිය යුතුය. එවිට ඔබට දැනගන්නට පුළුවන් යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය. එහි තිබෙන දෝෂ. නමුත් ඔබ කලබල වුණොත් ඔබට එම කටයුත්ත කරගන්න පුළුවන් වෙන්නෙ නැහැ. සමහරවිට ඔබගේ කලබලකාරී ස්‌වභාවය නිසා ඔබට අනතුරක්‌ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ලෝකය නැමති නාමරූප දෙක දෙස, මේවා අනිත්‍යභාවයට පත්වෙන වේගය දෙස, ඔබද විවේකීව බලාසිටින්න. ඔබ ඔබ දෙස බලා සිටිය ස්‌වභාවයෙන්ම අන්‍යයන් දෙසත් බලන්න. සතා සිව්පාවා දෙසත් බලන්න. සතරමහාධාතුවෙන් සැදුන රූපයත්, රූපය ඇසුරු කොට සකස්‌ වෙන නාමධර්මයනුත් දකින්න. ඔබට වෙනසක්‌ පෙනෙනවාද? ඔබය අනුන්ය, තිරිසන් සතාය කියලා තිබෙනවා පුංචි වෙනසක්‌. එම වෙනස තමයි ෙච්තනාව හේතුවෙන් සකස්‌ වුණ විඤ්ඤාණයේ වෙනස. ඔබ තුළ සකස්‌වෙන එක සිතක්‌ ධර්මානුකූලව ගලපාගැනීමට අදක්‍ෂවීම නිසාමයි මේ වෙනස සකස්‌ වෙන්නේ. මෙන්න මේ පුංචි වෙනස තමයි සුගතිය, දුගතිය කියලා සත්වයාව වර්ග කරන්නේ. මේ වෙනස සකස්‌ වෙන්න හේතුවුනේ ශිල්වත්භාවයත්, දුස්‌ශීලභාවයත් නිසාමය. මේ ධර්මතාවය නුවනින් තේරුම්ගෙන ශිල්පද ආරක්‍ෂා කරගන්න. සතර අපායෙන් මිදුන පිංවතෙක්‌ බවට ඔබ පත්වීමට නම් ඒ අවශ්‍ය ධර්මතාවයන් සපුරාගන්න. 

නිරෝගීබව අත්‍යඅවශ්‍ය දෙයක්‌. රෝගීවූවොත් කොහොමද මේ ජීවිතේදීවත් ශිල්පද ආරක්‍ෂා කර ගන්නේ. ඒ නිසා පිංවත් ඔබ අනුන් ගැන නොසිතා තමතමන් සතර අපායේ දුක දකිමින් සතර අපායෙන් මිදීම අරමුණු කරමින්, එතෙක්‌ නිරෝගී ජීවිතයක්‌ ලබමින් සැනසීම පිණිස සත්ව හිංසාවෙන් වලකින්න. සශ්‍රික සෞභාග්‍යවත් නිරෝගී මිනිසෙකු, දෙවියෙකු ලබන කායික මානසික සැපය අනිත්‍ය වූවද එම සැපය ශිල්පදයක්‌ තුළ සැඟවී තිබූ දෙයක්‌ බව සිහිකරමින් ශීලයෙන් පරිපූර්ණ වෙන්න. දුස්‌ශීලභාවය තුළ සැඟවුන දුගතියේ අඳුරු දුක විනිවිද ශීලයේ අලෝකය ලබන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

ගොනා පසු පස නඟුල එන්නා සේ....

සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, මෝස්‌තරයක්‌ හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක්‌ සිටිනවා. බොහෝම ඉහළ ශේ්‍රණියේ සමහරක්‌ බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්‌සේ බලුපැටියට සතියක්‌ වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්‌තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා දමනවා. ඌරු ගොවිපොළවල්වල ඊරිය පැටව් ගැසුවම පස්‌සේ ඌරු පැටවුන්ගේ දත් ගලවා දමනවා. ඊරියගේ තනපුඩු ආසාදනය වෙන නිසා. මේවා මහාපරිමානයෙන් සිද්ධවෙන්නාවූ සත්ව හිංසාවන්. මෙතනදී හිංසාවට ලක්‌වෙන්නේ කුඩා වයසේ සතුන්. මේ තිරිසන් සතුන් කුඩා වයසේම හිංසාවට ලක්‌වෙන්නේත් එම සතුන්ගේ කර්ම විපාකයක්‌ නිසා. කෙනෙක්‌ අකුසල් විපාකයන් අත්විඳින විට තව කෙනෙක්‌ අකුසල කර්මයන්

රැස්‌කරනවා. මේක තමයි මාරයාගේ ආර්ථීක විද්‍යාව. ඉල්ලුම, සැපයුම බොහෝම සමතුලිතව සිදුවෙනවා. මෙවැනි ළදරු වයසේ සතුනට හිංසා කරන උදවිය මරණින් මතු මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් ළදරු කාලයේදීම රෝගීන් බවට පත්වෙනවා. උපතින්ම ළදරු ශරීරයේ අඟපසඟ, ඉන්ද්‍රිsයන් අඩුයි, විකෘතියි. කුසල් වගේම අකුසල්ද විපාකදීමේදී බොහෝම සාධාරණවයි ඒවා සිද්ධවෙන්නේ. මේක අසාධාරණයි කියලා ඇෆිල් (අභියාචනා) කරන්න අවශ්‍ය නැහැ. ඒ තරමට ලෝකධර්මය සාධාරණයි. හැබැයි ඔබ ධර්මය නොදන්නා නිසා හැම වෙලාවේම මෙම තීන්දු අසාධාරණ හැටියටයි දකින්නේ. දෙවියන් අප දිහා බලන්නෙ නැහැ. ධර්මයේ පිළිසරණක්‌ අපිට නැහැ කියලයි ඔබ දකින්නේ. ධර්මය කියන්නෙ කුමක්‌ද? අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ස්‌වභාවය. මේ ස්‌වභාවයට පුළුවන්ද ඔබට පිළිසරණ වෙන්න. මෙතැන නිත්‍ය වූ, සැපවූ, ආත්මවූ ස්‌වභාවයක්‌ තිබෙනවාද. ධර්මයට බැහැ ඔබට පිළිසරණ වෙන්න. ඔබ ධර්මය පිළිසරණ කොට ගන්න. කොහොමද ඔබ ධර්මය පිළිසරණ කර ගන්නේ. ධර්මයේ ස්‌වභාවය වූ අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ස්‌වභාවය අවබෝධකොට ගැනීම උදෙසා ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයට අවතීරණ වෙන්න. මෙතැනදියි සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමේ චතුරාර්ය සත්‍ය ධර්මයම නුවනින් දකින්නේ. එහෙම නුවනින් දකින කෙනා දුකට ශාපකරන්නේ නැහැ. දෙවියන්ට දොස්‌තබන්නේ නැහැ. ධර්මයට නිගරුකරන්නේ නැහැ. දුකත්, දුකට හේතුවත්, දුකින් මිදීමත් අරමුණු කොට ගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයම සිය එකම මාර්ගය කොට ගන්නවා. දුකට එකම හේතුව අලියාවත්, බලුපැටියාවත්, රෝගී දරුවාවත් නොව තෘෂ්ණාවම බව අවබෝධකර ගන්නවා. 

සත්ව හිංසාව ගැන කථා කරන විට ගෘහ ආශ්‍රිතව ඇති දැඩිවෙන ගවයන්, බල්ලන්, බළලුන්, පක්‍ෂීන් වැනි සතුනුත් ගෘහය තුළ ජීවත්වෙන කෘමීන් වැනි සතුන් මනුෂ්‍යයන් අතින් අනන්තවත් පීඩාවට ලක්‌වෙනවා. තිරිසන් සතෙක්‌ යනු සතර අපායේ සාමාජිකයෙක්‌. ඒ කියන්නේ මාරයාගේ වසඟයේ ජීවත්වන්නෙක්‌. පිංවත් ඔබ තුළ අකුසල් මූලයන් රෝපනය කිරීමට මාරයා මෙම තිරිසන් සතුන්ව තමයි උපයෝගී කරගන්නේ. තිරිසන් සතා යනු මාරයාගේ සුරතලායි. පිංවත් ඔබව සතර අපායට බිලිබාගැනීම සඳහා මාර බිලි කටුවට අමුණන ඇම වන්නේ තිරිසන් සත්වයායි. එහෙයින් ගින්දරෙන් යම් සේද ඔබ පරිස්‌සම් වන්නේ, තිරිසන් සතුන්ගෙන් ඔබ ඊටද වඩා පරිස්‌සම් වෙන්න ඕනේ. 

ගින්දරට පිච්චුනත් පිච්චිච්ච වේදනාව පමණයි. සතුනට හිංසා කළොත් සතර අපායේම දුක ඔබට උරුම වෙනවා. මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් රෝගී පුද්ගලයෙක්‌ වශයෙනුයි ඔබට ජීවත්වෙන්න ලැබෙන්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගයේ ඔබ ගමන් කළොත් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රීයෙන් පරිපූර්ණ මනුෂ්‍යයෙක්‌ බවට ඔබ පත්වුවහොත් ඔබට හැකියාව තිබෙනවා තිරිසන් සතාව උපයොගී කරගෙන කුසල් මූලයන් වැඩෙන ස්‌වභාවයට ඔබේ ජීවිතය ගෙන යන්න. ඔබේ ගෙදර දොරකඩට බල්ලෙක්‌ එනවා. දෙමාපියන් දරුවට කියනවා පුතේ ඔය බල්ලව හිරිහැර නොකර එලවලදමන්න කියලා. එතනදී ඔබ තුළ මෛත්‍රී සිතිවිල්ලකුත් ඇතිවෙලා. එහෙමත් නැතිනම් ඔබ කියනවා පුතේ ඔය බල්ලට කෑම ටිකක්‌ කන්න දීල කෑම කෑවට පස්‌සේ හිරිහැර නොකර එලවලා දමන්න කියළා. එතනදි මෛත්‍රී සිතුවිල්ලක්‌ වගේම ත්‍යාග සිතුවිල්ලකුත් ඇති වුණා. සතුන් සම්බන්ධව ක්‍රියාත්මකවීමට පෙරාතුව ඔබ ඉවසිලිමත් වෙන්න සත්ව හිංසාවට හිරිඔතප් දෙක ඇතිකරගන්න. 

සත්ව හිංසාව කියන දෙය පිංවත් ඔබ හිතනවාට වඩා බොහෝම සියුම් දෙයක්‌. මේ සියුම් බව මනුෂ්‍යයාට තේරුම් ගන්න බැරි නිසාමයි රෝගීභාවයෙන් තොර මනුෂ්‍යයෙක්‌ වර්තමාන ලෝකයේ සොයාගැනීමට විරල. නිරෝගී පිංවතුන්ලා සමාජයේ ඉන්නවා. ඒ අය අත්විඳින්නේ සංසාරයේ තමන්ම කරගත්ත කුසල් විපාකයන්a. සත්ව හිංසාව නිසා සත්වයාට විඳින්නට සිදුවන කර්ම විපාකයන්ගේ සියුම්භාවය ඉතාමත් මැනවින් ප්‍රකට වෙන කථාවක්‌ භික්‍ෂුව දැන් ඔබගේ අවබෝධය සඳහා මෙහි සටහන් කරනවා. මේ කථාව කියවලා ඔබම තීරණය කරන්න කරන්න සත්ව හිංසාව යනු මොනතරම් සියුම්ව ඔබ අතින් සිදුවිය හැක්‌කක්‌ද ඒවායේ අකුසල විපාකයන් මොනතරම් සියුම් ගුප්ත ආකාරයට ඔබට විපාක පිණිස සකස්‌වෙනවාද කියලා. මේ කථාව කියවලා ඔබ සත්වහිංසාවන් සිදුකිරීමෙන් අත්විඳින්නට වන අකුසල් විපාකයන් හොඳින් හඳුනාගෙන ඔබද මින් මතුවට සතුන් ඇතිකරනවා නම් එම සතුනට හිංසාවක්‌ පීඩාවක්‌ ඇති නොවන ආකාරයට එය කරන්න. සතුන්ගෙන් හරිහම්බ කරගන්න. ආදායම් ලබාගන්න. සතුන්ව හොඳින් පෝෂණය කරමින්, මෛත්‍රිය කරුණාව දක්‌වමින්ම.

ධර්මයට බොහොම ලැදි මැදිවියේ විවාහක යුවලක්‌ ජීවත්වෙනවා. මේ දෙපළට දරුවන් නැහැ. ඒ නිසා බොහොම නිදහස්‌ ජීවිතයක්‌ තමයි ගතකරන්නේ. ප්‍රධාන නගරයක ව්‍යාපාරික ස්‌ථානයක්‌ පවත්වාගෙන යමින් ආදායම් ලබනවා. මේ ව්‍යාපාරික ස්‌ථානය පවත්වාගෙන යන්නේ බිරිඳ විසින්. සැමියා අත්‍යවශ්‍ය අවස්‌ථාවකදී තමයි ව්‍යාපාර කටයුතු වලට හවුල් වෙන්නේ. ඒ කියන්නේ ඇය සහජයෙන්ම ව්‍යාපාරික හැකියාව තිබෙන කාන්තාවක්‌. 

නමුත් මේ පිංවත් කාන්තාවගේ ජීවිතයට බලපාන එක්‌තරා ප්‍රශ්නයක්‌ තිබෙනවා. එය ගුප්ත ස්‌වභාවයේ ප්‍රශ්නයක්‌. ඇය සමහරක්‌ අවස්‌ථාවල තැතිගත් අයුරක්‌ පෙන්වනවා. සමහර අවස්‌ථාවල ඇයගේ පසුපස අමනුෂ්‍ය බලවේගයක්‌ තිබෙන බව ඇය පවසනවා. මේ හේතුවෙන් ඇය පීඩා විඳිනවා. ව්‍යාපාරය කරන අවස්‌ථාවේ බොහෝම හොඳින් කටයුතු කරන ඇය ගෙදර පැමිණිවෙලේ පටන් කේන්ති ගන්නවා. සැමියා පන්සලකට යැමට, භික්‍ෂුවක්‌ හමුවීමට යන්න හදනවිට ඇය අකමැති වෙනවා. බියවෙනවා. බිරිඳගේ මෙම ස්‌වභාවය හොඳින් දන්න ස්‌වාමිපුරුෂයා ඇයත් සමඟ බොහෝම අවබෝධයෙනුයි කටයුතු කරන්නේ. ඇය සිතනවා තමන්ගේ මියගිය පියා ඇය කෙරෙහි ආදරයෙන් ඇය පසුපස සිටින බව. මේ හේතුව නිසාම ඇය පීඩනයට පත්වෙලා. සමහර අවස්‌ථාවල තැතිගත්, ගුප්ත ස්‌වභාවයක්‌ ඇය තුළින් දර්ශනය වෙනවා. නමුත් ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. ශිල්පද ආරක්‍ෂා කරගැනීමට උත්සහගන්නවා. පොත පත කියවීමෙන් ධර්මය ගැන හොඳ දැනීමක්‌ තිබෙනවා. මේ ගුණාංගයන් තිබුණත් ඉහත ප්‍රශ්නයෙන් ඇය පීඩා විඳිනවා. මෙම දෙපළ ඉදිරි කාලයේදී සිය ගෙවල් ව්‍යාපාර විකුණා දමා අනගාරිකව ජීවත්වීමටද බලාපොරොත්තුවෙන් පසුවනවා. මේ පසුබිමේ සිදුවීම් හොඳින් ගලපා බලනකොට බොහොම ශ්‍රද්ධාසම්පන්න යුවලක්‌ ලෙසයි මේ දෙපල පෙනෙන්නේ.

නමුත් ඇයට ස්‌ථීරව සිතාගන්න බැරි පීඩනයක්‌ ඇය තුළ තිබෙනවා. ඒ පීඩනය නිසා ඇය මානසිකව සමහර අවස්‌ථාවල දුකට පත්වෙනවා. ඇය මේ පීඩනයට පත්වෙන්නේ ඇය පසුපස අමනුෂ්‍ය බලවේගයක්‌ සිටින නිසාවත්, ඇයගේ ශරීරය තුළ අමනුෂ්‍ය බලවේගයක්‌ සිටින නිසාවත් නොවේ. ඇයගේ දුර්වල මනෝභාවය නිසයි. ඇය දක්‍ෂ නැහැ මම තෙරුවන් සරණ ගිය, ශීලයක හික්‌මෙන, නිරතුරුව දන්දෙන අයෙක්‌ හැටියට දකින්න. එම දැක්‌ම විශ්වාසයක්‌ බවට පෙරළාගන්න. මේ විශ්වාසය තුළින් ඇය ශක්‌තිමත් මනොභාවයක්‌ ගොඩනගාගත් සැනින් ඇයට හැකියාව තිබෙනවා මෙ දුර්වලතාවයෙන් අත්මිදෙන්න. ඇයට මේ නිවැරදි මනෝභාවය සකස්‌කර ගැනීමට මඟ අහුරන්නේ පෙර ජීවිතයේදී ඇය විසින් කරන ලද කර්ම විපාකයක්‌.

එක්‌තරා භික්‍ෂුවක්‌ මේ සිද්ධියට අදාළ කාන්තාවගේ පෙර ජීවිතය සමාධියෙන් අරමුණුකර බලනවා. උතුම් සමාධිය තුළදී ඇයගේ පෙර ජීවිතයත්, වර්තමාන කර්ම විපාකයට අදාළ පෙර ජීවිතයේදී කරන ලද කර්මයත් භික්‍ෂුවට දර්ශනය වෙනවා. 

භික්‍ෂුවට දර්ශනය වෙන්නේ මීහරක්‌ කිහිපදෙනෙක්‌ සහ කාන්තාවක්‌. එම කාන්තාවගේ හඬ මේ විදිහට ඇසෙනවා. 

'මගේ වැඩ කරපු සල්ලි දෙන්න'

ඔතැනින් දර්ශනය නිමයි. 

දැන් භික්‍ෂුව මෙම දර්ශනය ඇයගේ පෙර ජීවිතයට ගලපනවා, ඇය පෙර ජීවිතයේ කවරෙක්‌ද? ඇය කළ අකුසල් විපාකය කුමක්‌ද යන්න දැනගැනීමට. මෙන්න මේ ගැලපීම ඔබට ගොඩාක්‌ වටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් දේශනා කොටවදාළ 'කර්මය ඔබ දායාදකොට පවතීය' යන ධර්මය නැවත නැවත ශ්‍රද්ධාවෙන් යුතුව ආවර්ජනය කිරීමට.

පෙර ජීවිතයේදී ඇය මනුෂ්‍ය කන්තාවක්‌. ඇයගේ ආදායම් මාර්ගය වූයේ මීහරකුන්ව කුඹුරු වැඩ සඳහා කුළියට දීම. ඒ කුඹුරු වැඩට යෙදවූ මීහරකුන්ගේ ගාස්‌තුව තමයි කුඹුරු හිමිකරුගෙන් ඉල්ලන්නේ. දැන් මෙම සිද්ධිය පැති කිහිපයකින් බලමු.

පළමු කරුණ පෙර ජීවිතයේදී ද ඇය ව්‍යාපාරික කාන්තාවක්‌. පෙර ජීවිතය කියන්නේ මීට අවුරුදු 50 කට පෙරාතුව. අඩසියවසකට පෙරාතුව වර්තමානය වගේ විවිධ ව්‍යාපාර තිබුණේ නැහැ. වර්තමාන සමාජයේ තිබෙන සංකීර්ණභාවය තිබුණේ නැහැ. ප්‍රධාන ව්‍යාපාරය, ආදයම් මාර්ගය තමයි කෘෂිකර්මය. එය අතීතයේ ගෞරවණීය ව්‍යාපාරයක්‌. පෙර ජීවිතයෙදී මෙම කාන්තාව මීහරකුන්ව කෘෂිකර්ම කටයුතු වලට දීමෙන් ආදයම ලැබුවා. මේ ජීවිතයේදීත් ඇයට පෙර සංසාරික පුරුද්ද නිසාම නවීන තාක්‍ෂණික ආම්පන්න විකිණීමේ ව්‍යාපාරයක්‌ තනියම කරගෙන යැමට ශක්‌තිය ලැබුණා. සමාජයේදී ඔබ දැකලා ඇති සමහර කාන්තාවෝ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේදී ඉතාමත් දක්‍ෂ ආකාරයට කටයුතු කරනවා. මේවා පිංවතුනි සංසාරික පුරුදු. එවැනි පුරුදු නැති අය කඩේකට ගිහින් බඩුවක්‌ ගන්නෙත් බොහොම ලැඡ්ජාවෙන්. ඔබලාගේ ජීවන ක්‍රියාකාරකම් සමග මේවා ඔබවිසින්ම ගලපාගන්න ඕනා. 

දෙවැනි කාරණය තමයි ඇය පෙර ජීවිතයේදී කළ ව්‍යාපාරය නිසා ඇතිකරගත් අකුසලයේ ස්‌වභාවය. ඇය මීහරකුන්ව කුඹුරු වැඩට යොදවා ආදායම ලබාගත්තත් ඇය සත්ත්ව ඝාතනයට නම් යොමුවෙලා නැහැ. ඒක අතීතයේ මනුෂ්‍යයා තුළ තිබූ සත්ව කරුණාව. වර්තමානයේ මීහරකුන්ව කුඹුරු වැඩට යොදාගන්නවා ඉතාම අඩුයි. නමුත් මෙයට වසර 50කට පෙර සමාජයේ කෘෂිකර්මයේ ප්‍රධානම බලවේගය තමයි මීහරකා. කුඹුර, පස පෙරලන මොහොතේ පටන් අස්‌වැන්න කමතේ පාගන මොහොත දක්‌වාම මීහරකා තමයි ගොවිතැනට උදව්වෙන්නේ. මෙම සතුනගෙන් මිනිස්‌සු වැඩ ගන්නේ හුඟක්‌ම අකාරුණික විදිහට. උදේ ඉඳලා සවස්‌වෙනකම් නගු=ලක මීහරක්‌ දෙදෙනෙක්‌ බැඳලා ගන්න වැඩ ප්‍රමාණය කොපමණක්‌ද? හරියට යන්ත්‍රයක්‌ වගේ. ගොවි මහත්තයා ආහාර ගන්න වෙලාවට පමණයි මීහරකාට නිදහසක්‌ ලැබෙන්නේ. ඒත් නගුලෙන් එම සතාව ලිහන්නේ නැහැ. නගුල කරේ තියාගෙනම මීහරකා විවේක ගන්නවා. මහ පොළොවේ පස පෙරළාගෙන, කඩාබිඳදමාගෙන යන්න මොන තරම් ජවයකින් මීහරකා විසින් නගුල අදින්න ඕනේද? පොඩ්ඩ බැරිවුණොත් වැදෙන කෝටු පහර, එහි ශබ්දය භික්‍ෂුවට මේ සටහන ලියන මොහොතේත් දැනෙනවා. 'අනේ මට සනීප නැහැ. මගේ දණිස්‌ රිදෙනවා. මගේ හිස කකියනවා. දැන් අවුරශ්මිය වැඩියි. මට බඩගිනියි. පිපාසයි.......' මී හරකට පුළුවන් ද මොනතරම් වුවමනා වුණත් මේවා කියන්න. දවස පුරාවට තම ශරීර ශක්‌තියෙන් නගුල ඇදලා පොළොවේ පස පෙරළලා සවස්‌ වරුවේ ඕවිටේ තණකොල ටික කාලා නිදාගන්නවා. හෙට උදයේ නැවතත් සුපුරුදු රාජකාරියමයි...

මීහරක්‌ හිමියා ආදායම ලබනවා. 

අපි හිතනවා මේක ධාර්මික රැකියාවක්‌ කියලා. ඔබම හිතන්න, මනුෂ්‍යයෝ දෙදෙනෙක්‌ නගුලක බැඳලා කුඹුරට දැම්මොත් පස පෙරළන්න එම දෙදෙනා විඳින්නා වූ මානසික, කායික හිංසනය ගණනය කළ හැකිද? මේ අනුසාරයෙන් මී හරකා අත්විඳින්නා වූ හිංසනය ඔබම තීරණය කරන්න. මෙන්න මේ සත්ව හිංසාව නිසා මීහරකා ගෙල මත තබා බැඳි නගුල මී හරකා පසුපසින් ගමන් කරන්නේ මොනතරමක්‌ ද එම සතාව කායිකව, මානසිකව හිංසාවට ලක්‌කළේ කොපමණක්‌ ද ඒ තරමටම එම හරක්‌ අයිතිකාර කාන්තාවට ආදායම ලැබුණි. ඇය එම සත්ව හිංසනයෙන් ඉපයෙන ආදායමෙන් සතුටු වූවාය. එහි කර්ම විපාකය හැටියට කාන්තාවක්‌ ලෙසට උපත ලැබූ මෙම ජීවිතයේදී ඇය අමනුෂ්‍යයෙක්‌ යෑයි සිතා සිටින මානසිකත්වය ඇය පසුපස පැමිණෙමින් ඇයට අකුසල් විපාක විඳීමට සලස්‌වනවා. බලන්න ලෝක ධර්මය මොනතරම් සාධාරණද කියලා. මීහරකාගේ ගෙලේ බැඳි නගුල එම සතා පසුපස පැමිණෙමින් එම සතුන්ව කායික, මානසික හිංසාවට ලක්‌කළේ යම්සේද, එහි කර්ම විපාකය හැටියට මේ මනුෂ්‍ය ජීවිතයේදී අදාළ කාන්තාවට තමා විසින්ම මනසින් අරමුණු කරගත්තා වූ අමනුෂ්‍ය හැඟීමක්‌ ඇය පසුපස පැමිණෙමින් ඇයව කායිකව, මානසිකව පීඩාවට පත්කරනවා. දැන් ඔබට තේරෙනවා ඇති සත්ව හිංසාව කියන අකුසලය මොන තරම් සියුම් ආකාරයෙන් ඔබ අතින් සිදුවිය හැකිද කියලා. ඒ වගේම එම සත්ව හිංසාවන්ගේ අකුසල් ස්‌වභාවය එම හිංසනයේ ස්‌වභාවයට අනුරූපී ආකාරයටමයි විපාක දීමට සලස්‌වන්නේ කියලා.

Wednesday, October 3, 2012

දානය මහත්ඵල මහානිසංශ වීමට

ඔබව දන්දීමෙන් වළක්‌වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක්‌ වේවා ඔහු ඔබගේ ඥාතියෙක්‌ හෝ හිතවතෙක්‌ නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න. එවැනි අයගෙන් දුරස්‌වන්න. යමෙක්‌ තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන,දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ළඟම ඥාතියා කරගන්න. සිදුකරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික සම්මා දිට්‌ටියට අනුව සිදුකරගන්න. ඔබ නිරතුරුවම තැන්පත් කළ දෙය නොව පරිත්‍යාග කළ දෙය ගැන මෙනෙහි කරන්න. විශාඛා උපාසිකාව වරක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් වර අටක්‌ ඉල්ලා සිටිනවා. ඒ අනුව දිවි ඇති තුරා සංඝයා හට වැසි සළුදෙන්නට, ආගන්තුක බත් දෙන්නට, ගමික බත් දෙන්නට, ගිලන් භික්‍ෂුවට බත් දෙන්නට, ගිලානෝපස්‌ථායක බත් දෙන්නට, ගිලන් බෙහෙත් දෙන්නට, නිති කැඳ දෙන්නට, මෙහෙණ සඟනට දියසළු දෙන්නට කැමත්තෙමියි විශාඛාව එම වර අට ඉල්ලා සිටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් විශාඛා උපසිකාවගේ මේ ඉල්ලීමට කැමත්ත දෙනවා. බලන්න විශාඛා උපාසිකාව උතුම් සෝවාන් ඵලයට පත් උපාසිකාවක්‌. පිංවත් ඔබත් එම අවබෝධයට පැමිණීමට නම් ඔබ කාවද අනුගමනය කළ යුත්තේ? ආදර්ශයට ගත යුත්තේ? විශාඛා උපාසිකාව ගැන අනේපිඬු සිටුතුමා ගැන නකුලමතා, නකුල පිතා ගැන නිරතුරුවම ඔබ සිතන්න, මනසින් දකින්න. එම උතුමන් දානයට ලබාදුන් වටිනාකම් කොතෙක්‌ද කියලා.

විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක්‌ සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක්‌ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්‌වත්... අවුරුද්දට වතාවක්‌..... ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්‌ද? වැසිසළුවක්‌ පූජාකරන කෙනෙක්‌ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්‌ථානයන් සිදුකරන කෙනෙක්‌ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්‌ටුකරල අහන්න. පිළිතුර 'ඔව්' වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ඔබ තවමත් ප්‍රමාද බව දකින්න. අප්‍රමාදී වීමට ඔබ උත්සාහ ගන්න. බැංකුපොතේ ඔබ රැස්‌කොට තබන දෙය අනුන්ගේ කෙටි ලාමක කෙටි සැපයන් උදෙසා බවත්, රැස්‌ නොකොට දන්දෙන දෙය ඔබට ආශ්චර්යමත් සැපයක්‌ උදෙසාම බවත් දකින්න. සශ්‍රික දේවානුස්‌සතිය වඩන්න. ඉහත පිංකම් නිතිපතා, සතිපතා, මාස්‌පතා ඔබගේ ආදායමට ගැළපෙන ආකාරයට කිරීමට උත්සාහ ගන්න. ලැබෙන සෑම අවස්‌ථාවක්‌ම අපතේ නොහරින්න. අනුන්ගේ ශීලය, සමාධිය ගැන නොසොයන්න. සෑම විටම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිස වශයෙන්ම දකින්න. මේවා පිං උල්පත් බව දකින්න. උල්පතේ ගැඹුර නොගැඹුර උස්‌පහත් බව නොසොයා ඔබගේ සංසාරික දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය ජලය ගැන පමණක්‌ සිතන්න. ඔබගේ දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට ජලය ලැබෙනවා නම් උල්පත ගැන සෙවීම මෝහය නිසාම සිදුවන්නකි. දෘෂ්ටීන්ගෙන් මිදී හේතුඵල ධර්මයන්ට විවෘත වන්න. අතීතයේ වැඩ සිටියා වු අනන්ත වූ ගුණයෙන් ඥානයෙන් යුත් භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සමූහයම අරමුණු කරගන්න. 

මසකට එක වතාවක්‌ එළඹෙන පසළොස්‌වක පෝය දිනය ඔබ ඔබගේත්, ඔබගේ පවුලේත් පිංකම් දිනය බවට පත්කරගන්න. පන්සල වේවා, ඔබගේ නිවස වේවා, එදින සතර අපායෙන් එතෙරවීමම අරමුණුකොට දාන, ශීල, භාවනා කටයුතු සිදුකරගන්න. දරුවන් බිරිඳ දැසි දස්‌සන්වත් හවුල්කරගන්න. ඒ අය අකමැති නම් ඔබ තනිවම මේ ව්‍යායාමයේ නිරතවන්න. සතර අපාය යනු කුමක්‌ද? එහි සත්වයා විඳින දුක කුමක්‌ද? එහි ආයුෂ මොනතරම් දීර්ඝද? සතර අපායට වැටුණ කෙනාට එයින් මිදීම මොනතරම් අපහසුද.......? මේවා සකච්ඡා කරන්න. ඔබ ලැ-ජාවෙන්න එපා. මාන්නයට පත්වෙන්නත් එපා 'අනේ අපි ආයෙත් තිරිසනෙක්‌, ප්‍රේතයෙක්‌, නිරිසතෙක්‌ වෙන්නේ නැහැ' කියලා. එහෙම කියන සිතමයි ඔබව සතර අපායට ඇදදමන්න අවශ්‍ය පාර කපන්නේ. අනේ මම තවම සතර අපායෙන් මිදිල නැතැයි කියලා දකින්න නිහතමානී වෙන්න. සැබවින්ම ඔබ සතර අපායෙන් මිදිලා නොමැතිනම් සක්‌කාය දිට්‌ටිය ඉහ වහා ගිය, සතියෙන් නැතිනම් මාසයෙන් මාර්ගඵල ලාභීන් බවට පත්කරන ක්‍රමවේදයන් සිහිබුද්ධියෙන් හඳුනාගනිමින් මඟහරින්න. හේතුඵල ධර්මයන් ගළපමින් ඔබ, ඔබ ගැනම විමසා බලන්න. මෝහයෙන් මිදෙන්න. අවබෝධය යනු අනුන් දෙන දෙයක්‌ නොව තමා තමා තුළින්ම දැනුවත්භාවයෙන් ලබන්නක්‌ බව හොඳින් සිහිතබා ගන්න. පසළොස්‌වක පොහොය දවසේ ඔබ පවුලේ සියලුදෙනාම, එසේත් නැතිනම් පන්සලේ සිල්සමාදන් වෙන සියලුදෙනාම සතර අපායේ බියකරුභාවයත් එයින් මිදීමේ මාර්ගයත් සාකච්ජා කළොත්, ඒ ගැන අවධානය යොමුකළොත් ඔබට පුළුවන් මාසේ ඉතිරි දවස්‌ විසිනවයේම එම ශක්‌තිය තුළ, මාර්ගය තුළ ජීවත්වෙන්න. 

මේ සටහන පුරාවට සතර අපායෙන් මිදීම සඳහා ඔබට ත්‍යාගානුස්‌සතිය වැඩීම ගැනයි සඳහන් කරන්නේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා හෝ දුගී මගී යාචක, බලූ කපුටු එසේත් නැතිනම් දෙවියන්, අමනුෂ්‍යයින් මේ කවුරුන් විෂයෙහි වේවා ලෝභකම අතහැරීම උදෙසාම දන්දෙන්න. තෘෂ්ණාව ක්‌ෂය කිරීම උදෙසාම දන්දෙන්න. දන්දීමට කාලසටහන් සාදා නොගන්න. පාරේ ගමනක්‌ යන විට පිණ්‌ඩපාතේ වඩින භික්‍ෂුවක්‌ දැක්‌කොත් සද්ධාවෙන් යමක්‌ පූජාකරන්න. දුර ගමනක්‌ ඔබ යන විට බසයේදී මඟ තොටේදී හමුවන භික්‍ෂුවකට අවශ්‍ය බිස්‌කට්‌ එකක්‌, ගිලන්පස එකක්‌ ගැන විමසීමට සිතක්‌ ඇතිකරගන්න. අනුන් කරනවාද නොකරනවාද යන්න ඔබ නොසිතන්න. ලැබෙන පුංචි අවස්‌ථාවකින් පවා උපරිම ත්‍යාගානුස්‌සතිය වැඩීමේ අවස්‌ථාව ලබාගැනීමට දක්‍ෂවෙන්න. දන්දෙන්නේ අනුන් සඳහා නොව, අනුන්ගේ කුස පිරවීම සඳහා නොව, තමාගේම සැපය සඳහාය යන්න සිතන්න. ඔබ ප්‍රාර්ථනා කරන්න, වීර්යයෙන් අවස්‌ථාව උදාකරගන්න. කළ පිංකම්, දුන් දානයන් නැවත නැවත දෙන්න, නැවත නැවත මෙනෙහි කරන්න. මට දානය පූජාකර ගැනීම සඳහා තව තව ස්‌වාමීන් වහන්සේලා මුණ ගැසේවා. උපාසක උපාසිකාවන් මුණ ගැසේවා. තව තව පන්සල් ආරණ්‍ය විහාරාංග ඉදිවේවා. තව තව පිංකම් සිදුවේවා. කියා ප්‍රාර්ථනා කරන්න. කුමක්‌ සඳහාද? ඒවා උදෙසා පරිත්‍යාගයන් සිදුකර ත්‍යාගානුස්‌සතිය වැඩීම පිණිස. මේ සැම ඔබ ඔබේ සතුට කරගන්න. මේ සැම යනු දේවානුස්‌සතිය හැර වෙන කුමක්‌ද? දන් දීම තුළින් ඔබ ඇතිකරගන්නා අතහැරීමේ ශක්‌තිය සක්‌කායදිට්‌ටිය ක්‍ෂය කිරීමේ මාර්ගයම මිස වෙන කුමක්‌ද? බිරිඳගෙන්, සැමියාගෙන්, දූ පුතුන්ගෙන්, වස්‌තුව දේපලවලින් ඔබ ලබන බැඳීම, සක්‌කායදිට්‌ටිය තව තව ඝනභාවයට පත්කිරීම සඳහාම බව ඔබම දකින්න. 

සතර අපායෙන් මිදීම උදෙසා ගිහි බැඳීම්වලට යටත්ව ජීවත්වන ගිහි පිංවතුන් උදෙසා දානයේ ඇති වටිනාකම සටහන් කිරීමයි මේ ලිපියේ අරමුණ වුණේ. ගිහි ජීවිතය තුළදී හොඳින් දන් දුන්නත් එම දානමය පිංකම් ලොව්තුරා සම්මාසම්බුද්ධ දේශනාවන්ට අනුකූලව ගළපා ගැනීමට අදක්‍ෂ නම් පරලොව දුකට පත්වීම වැළැක්‌විය නොහැක.

ඒ ගැන උදාහරණයක්‌ වශයෙන් වැදගත් මහත්මයෙකුගේ කථාවක්‌ දැන් මෙහි සටහන් තබනවා. මෙම කථා ප්‍රවෘත්තිය ඔබට වැදගත් වේවි. පහත කථාවෙන් කියවෙන්නේ ඔබ අදක්‍ෂනම් දන් දුන්නා, පිංකම් සිදුකරගත්තාය කියලා ඊළඟ ප්‍රතිසන්ධිය සුගතියක්‌ වෙනවාමයෑයි ඔබට සහතිකයක්‌ ලැබෙන්නෙ නැතිය කියන කාරණයයි . 

එක මහත්තයෙක්‌ සිටියා. ඔහු දක්‍ෂ ව්‍යාපාරිකයෙක්‌. බොහෝම පුංචි තැනකින් පටන් ගත්තේ. අවසානයේදී කෝටිපතියෙක්‌ වුණා. ඉඩකඩම්, ව්‍යපාර ඔහු සතුවුණා. බොහෝම හොඳ බිරිඳක්‌ දරු මුණුපුරන් සිටියා. කවදාකවත් සිල් සමාදන් වෙන්න පන්සලකට ගියේ නැහැ. නමුත් හොඳින් සිල් පද ආරාක්‍ෂා කරගෙන ජීවත් වුණා. තමා විසින් සදාගත්තාවූ කාලසටහනකට අනුව හොඳින් වියදම් කර භික්‍ෂුන්වහන්සේලාට, උපාසක උපාසිකාවන්ට දන් දුන්නා. එම කාලසටහනෙන් පිට දන් දෙන්න ගියේ නැහැ. කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය බොහෝම අඩුවෙනුයි ඔහුට ලැබුණේ. එහෙම අඩු වුණත් හොඳින් දන් දුන්නා. පන්සල් ආරණ්‍ය සඳහා මුදල් පරිත්‍යාග කළා. අවශ්‍ය විහාරාංග ඉදිකළා. මොහු තමන්ගේ ව්‍යපාරයට ඉඩකඩම්වලට ගොඩාක්‌ බැඳිලයි සිටියේ. මොකද මේ හැම දෙයක්‌ම අසාධාරණයෙන් නොව තමන්ගේම දහදිය මහන්සියෙන්මයි හම්බකරගත්තේ. මේ පිංවත් මහත්මයා හැමෝටම ප්‍රිය කාටවත් කරදරයක්‌ නැති හුදකලා වැදගත් ජීවිතයක්‌ ගත කරලා වයස අවුරුදු හැත්තෑවේ සීමාවට පැමිණීමට පෙර මිය ගියා. දුක්‌විඳලා, රෝග පිඩාදියට ලක්‌වෙලා නොවේ. ඔහුට හිමිවුණේ ක්‍ෂණික මරණයක්‌. මේ මරණය ගැන ඔහුගේ බිරිඳට, දරුවන්ට, ඥාතීන්ට, හිතමිතුරන්ට කිසිම විදිහක බියක්‌ තිබුණෙ නැහැ. කුහුඹියෙකුටවත් වරදක්‌ නොකළ මොහුට සුගතියේ දොර හැර, වෙන දොරක්‌ නොඇරෙන බව පාංශකූලයට පැමිණි ගෞවරණීය සංඝරත්නය අනුශාසනා කළා. ඉහත සියලුදෙනාම තමන් ධර්මය දන්නා ආකාරයට හේතුඵල ගළපමින් මියගිය පිංවත් මහත්මයාව සුගතියටම නම් කළා. මියගිය පිංවතාට පිං පිණිස හත් දවසේ, තුන්මාසේ අවුරුද්දේ සාංඝික දානමය පිංකම් බොහෝම සශ්‍රික ආකාරයට පුජාකළා. තව තව පිංකම් සිදුකරනු ලැබුවා. අපේ මිය ගිය ඥාතියා දෙවියෙක්‌ය කියන සංඥාව හැර වෙන සංඥාවක්‌ කිසිවෙකුට තිබුණේ නැහැ. 

මෙහෙම කාලයක්‌ ගියාට පස්‌සේ දිනක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට මේ මියගිය පිංවත් මහත්මයාව අරමුණුවෙනවා. ඒ අරමුණු වෙන්නේ ප්‍රේත ලෝකයෙදි. මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටියදී තිබූ ශරීර ප්‍රමාණය සහිතවමයි. මනුෂ්‍ය ජීවිතයේ සිටියදී ඔහු ප්‍රිය කළ ඇඳුමක්‌ තිබුණා. විශේෂ ගමනකදී පළඳින එම ඇඳුම් කට්‌ටලය සහිතවයි මොහු හිටියේ. මෙම මියගිය මහත්තයාට අයිතිව තිබුණා කෝටි පහක පමණ ඉඩමක්‌. මේ ඉඩමේ මොහු එහාට මෙහාට ඇවිදිනවා. මොහු ඇවිදින්නේ බොහොම දුක්‌මුසු විලාසයකින්. ටිකක්‌ කුදු ගැහිලා, හිස පහතට හෙලාගෙන, අත් දෙක පහළට දමාගෙන 'අනේ මේවට මොකද වුණෙ' කියන්න වගේ හැඟීමක්‌, ඉරියව්වක්‌ සහිතව තමයි ඇවිදින්නේ. 

ශරීරය දුර්වල නැහැ. ඇඳුම බොහොම පිරිසිදුයි. නමුත් සිත දුකට පත්වෙලා. තෘෂ්ණාව නිසාම. මොහු ඉන්න ඉරියව්වෙන් පෙනෙන්නේ, මොහු තුළ බියක්‌ තියෙනවා මේ දේපළ නැතිවෙයි, විනාශවෙයි, වෙන කාටහරි අයිතිවෙයි කියලා. බලන්න පෙර ආත්මයේදි කොච්චර දන් දුන්න, මොන තරම් පිං කරගත්ත මනුෂ්‍යයෙක්‌ද, මොනතරම් සිල්වත් ජීවිතයක්‌ ගතකරපු මනුෂ්‍යයෙක්‌ද. ඒත් ඒවායින් ඔහු ප්‍රයෝජනයක්‌ ගත්තද? 

මියයන වෙලාවේ මේ පිංවත් මනුෂ්‍යයා තමා දුන්න දානයක්‌, තමාගේ සිල්වත් ජීවිතය, ඒ ජීවිතය තුළින් කළ පිංකම් සිහියට නගාගත්තා නම්, ඒ පිංකම් අරමුණු කරගත්තා නම්, ඒ පිංකම් සිදුකරගැනීමට මාර්ගය දේශනා කර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ ගුණයන් සිහියට ගත්තා නම්, එසේ කිරීමට දක්‍ෂභාවය ඔහු තුළ තිබුණා නම්, ඇතිකරගත් කැමත්තට අනුව. මොහු සශ්‍රීක දිව්‍ය තලයක, මහේශාඛ්‍ය දෙවියෙක්‌ වශයෙන්මයි, එසේත් නැතිනම් සශ්‍රීක මනුෂ්‍ය ජීවිතයක්‌මයි නැවතත් ලබන්නේ. නමුත් මේ අවාසනාවන්ත මනුෂ්‍යයා සද්ධර්ම ශ්‍රවණය අඩුවෙන් කළ නිසාත්, කල්‍යාණ මිත්‍ර සේවනය හිඟ වු නිසාත් මියයන මොහොතේ තමන් කළ පිංකම්, ගත කළ සිල්වත් ජීවිතය යටපත්වී මතකයට පැමිණියේ ඉඩකඩම් දේපල. දේපල කෙරෙහි තිsබූ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා සැනසීමට හේතුවන දේවල් නොව වැනසීමට හේතුවෙන ධර්මතාවයත් තමයි මතුවෙලා පැමිණියේ. ඒ නිසාම මොහු ප්‍රේත ජීවිතයකට වැටුණා. නමුත් බලන්න දේපල කෙරෙහි ඇතිකරගත් දැඩි ජන්ද රාගය නිසා ප්‍රේත ජීවිතයකට වැටුණත් මොහු මනුෂ්‍ය ජීවිතයේදී දුන්න දානයන්ගේ ආනිසංස එම ප්‍රේත ජීවිතයේදීත් මොහුට සැප විපාකයන් ලබාදුන්නා. ප්‍රේත ජීවිතයේදීත් මොහුට හොඳ පිරිසිදු වස්‌ත්‍ර ලැබිලා තිබෙනවා. හොඳ නිරෝගි ස්‌වභාවයේ ශරීරයක්‌ ලැබිලා තිබෙනවා. ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාව නිසා ඔහුගේ සිතට නම් දැනෙන්නේ දැඩි පීඩාවක්‌, දුකක්‌. ඒ නිසා මොහුගේ ඉරියව්වල තිබෙන්නේ දැඩි අතෘප්තිමත් ස්‌වභාවයක්‌. එම පිංවත් ව්‍යාපාරික මහත්මයා මනුෂ්‍යයෙක්‌ වශයෙන් ජීවත්ව සිටියදී සමාජය ඔහුව හැඳින්වූයේ සිල්වත් මනුෂ්‍යයෙක්‌ හැටියටයි. දානපතියෙක්‌ හැටියටයි. වෙහෙස මහන්සි වී ධනය ඉපයු ව්‍යපාරිකයෙක්‌ හැටියටයි. නමුත් ඔහුගේ බාහිර ස්‌වරූපය, ඇවතුම් පැවතුම් තුළින් ලෝකයා ඔහුව එසේ හඳුනාගත්තත් ඔහුගේ සිත වැඩී තිබුණේ ඉන් ඔබ්බට ගිය දිශාවකට. ඒ තමයි දේපල කෙරෙහි තිබූ අසීමිත ජන්ද රාගය. එයට අදාලව ප්‍රතිසන්ධිය සකස්‌ වුණා. සුගතියක සැප විඳීමට අවශ්‍ය පරිසරය ඔහු ජීවිතය තුළින් ගොඩනගාගෙන තිබුණත්, සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර සේවනය, බහුශ්‍රැතභාවය නොමැති වීම හේතුවෙන්ම සැපක්‌ ලෙස අල්ලා ගත්තේ දුකක්‌මයි. 

දැන් මේ අමනුෂ්‍ය ලෝකයේ ප්‍රේතයෙක්‌ ලෙස ජීවත්වන මොහු පරදත්තරුප ජීවි ස්‌වභාවයට අයත් ප්‍රේතයෙක්‌. ඔහුට අවශ්‍ය නම් පුළුවන් පිං ලබාගන්න. නමුත් මොහු පිං ගන්නේ නැහැ. මොකද උපාදානය කරගත් දෙය කෙරෙහි තිබෙන දැඩි තෘෂ්ණාව නිසා. මෙවැනි අයෙක්‌ අරමුණු කර ඔබ මෝනතරම් සශ්‍රික ආකාරයට සාංඝිකදානමය පිංකම් සිදුකළත් මේ ප්‍රේත සත්වයා පිං ගන්නේ නැහැ. ඔබ අනුමොදන් කරන පින සුදුසු වෙනත් අමනුෂ්‍යයෙක්‌ වෙතොත් ඔවුන් එය අනුමෝදන්වේවි. එසේ නොවුන හොත් ඔබලාට සැප පිණිස එම පිං හේතුවේවි. 

මෙවැනි උපාදානය බලවත්කොට ගත් පරදත්තරූප ජීවි සත්ව කොටස්‌ වලටද එම උපාදානය බිඳ පින් අනුමෝදන් කිරීමට ඔබට හැකියාව තිබෙනවා ඔබද දක්‍ෂ නම්. මොකද ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු වඩපු ගුණධර්ම තිබෙනවා ඒ අය තුළ යටපත් වෙලා. ඔබ දක්‍ෂ වෙන්න ඕනෙ ඒවා මතුකර ගන්න පුළුවන් ආකාරයට පිංකම් සිදුකරන්න. ඒ අයට අනිත්‍ය සංඥාවක්‌ වැටහෙන ආකාරයට පිංකම් සිදුකරන්න. භික්‍ෂුව මේ ටික සඳහන් කළේ මියගිය අයගේ ස්‌වභාවයන් අපි අපේ කරගත යුතුනිසා නොවේ. මියගිය අයකු= ගැන සිත සිතා ජීවත්විය යුතු නිසාද නොවේ. එවැනි විෂයන් ඔබ අදාළ කරගත යුතු නැහැ. නමුත් ඔබ මේ ධර්ම මාර්ගයේ නිවරැදිව ගමන් නොකළොත් ඔබට මුණ ගැසෙන අනතුරු ගැන අවබෝධය ලබාදීමටයි මෙම කරුණු සටහන් තැබුවේ. ඒ වගේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබලාට දේශනාකරනවා මියගිය ඥාතීන් උදෙසා ජීවත්ව සිටින ඔබ පිංපෙත් අනුමෝදන් කිරීම යුතුකමක්‌ය කියලා. මේ කථාව ඔබ කියවන විට ඔබට වැටහෙන්න ඇති ඔබ දන්දිය යුත්තේ තන්හාව, මාන්නය, දිට්‌ටිය නොවැඩෙන ආකාරයට, ඒවා ක්‍ෂයවෙන ආකාරයට බව. දන්දීම තුළින් ඉහත අකුසල ධර්මයන් වැඩෙනවා නම් එම දානය අර්ථවත් වෙන්නෙ නැහැ. නමුත් එය අපතේ නොයන බව ඔබ ඉහත කථාව අනුසාරයෙන් ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. 

ගිහි ජීවිත ගතකරන පිංවත් ඔබලා මූලිකත්වය දෙන්නේ තමාගේ ව්‍යාපාරයට, ගේදොර වතුපිටිවලට, දරුවන්ට, බිරිඳට. ඒවාට නිසි තැන දෙන්න. නමුත් ඔබ ප්‍රධානත්වය දෙන්න අවශ්‍ය සතර අපායෙන් මිදෙමි කියන අරමුණට. තිරිසන් ප්‍රේත ජීවිතයක්‌ ලැබුණත් ඔබට දරුවෙක්‌ බිරිඳක්‌ ලැබෙයි. එහෙත් ධර්මය දැකීමේ අයිතිය ඔබට එහිදී අහිමිවෙනවා. ධර්මය දැකීමේ වරම ඔබට ලැබෙන්නේ මේ ජීවිතයේදීමයි. ධර්මය දැකීම යනු සතර අපායෙන් එතෙර වීමයි.
Free HTML Blog 4u